මුදලිගේ හා සිරිධම්ම හිමි නිදහස් කරනු: අන්තරේ පා ගමනට කඳුළු ගෑස් ජල ප්‍රහාර

140

විරෝධතාකරුවෝ පිරිසක් බස්වල නැගී පිටවෙති
කඳුළු ගෑස් ගහලා අපිව වට්ටන්න බෑ – අන්තරේ වැඩ බලන කැඳවුම්කරු

රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනට කොළඹ ස්ථාන කීපයකදීම පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග ඊයේ (18 දා) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.

එක් ස්ථානයකදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල වූයේ කොළඹ මල් පාර ප්‍රදේශයේදීය. අනෙක් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල වූයේ කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදීය.

මුදලිගේ හා සිරිධම්ම හිමි නිදහස් කරනු: අන්තරේ පා ගමනට කඳුළු ගෑස් ජල ප්‍රහාර

මුලින්ම අන්තරේ සාමාජිකයන් කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසලට පැමිණීමත් සමග පොලිසිය, පිරිස විසුරුවාහරින්නට විය. පසුව පිරිස මල් පාර දෙසින් ගමන් කරන්නට වූහ. එහිදී පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන්නට වූහ. එහිදී පිරිස සීසීකඩ දිවයන්නට වූහ.

අන්තරේ තවත් පිරිසක් කොළඹ නෙළුම් පොකුණ අසලට රැස්වී විරෝධතාවයේ නිරත වන්නට වීමත් සමග පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.

තවත් පිරිසක් යළි කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය දෙසට පැමිණීමට තුම්මුල්ල හන්දියේ රැඳී සිටියදී පොලිස් කැරලි මර්දන ඒකකය, පොලිසිය ඔවුන් පසුපස හඹායෑමත් සමග අන්තරේ සාමාජිකයන් මාර්ග අංක 138 පිටකොටුව බස්රථවල හා 138 හෝමාගම, මහරගම බස්රථවල නැගී යන ආකාරය දක්නට ලැබිණි.

මුදලිගේ හා සිරිධම්ම හිමි නිදහස් කරනු: අන්තරේ පා ගමනට කඳුළු ගෑස් ජල ප්‍රහාර

බොහෝ දෙනකු තම සෙරේප්පු, විරෝධතා පුවරු ද බිම දමා ගොස් තිබෙන ආකාරය ද දක්නට ලැබිණි.

තවත් විරෝධතා කරුවෝ විශාල පිරිසක් බොරැල්ල කනත්ත වටරවුමේ සිට කොළඹ ලිප්ටන් වටරවුම දෙසට පැමිණෙන්ට වූහ. අන්තරේ මෙම විරෝධතා පා ගමන් හේතුවෙන් කොළඹ මාර්ග කීපයක දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබිණි.

පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර හේතුවෙන් වාහනවල ගමන් ගත් හා මාර්ගයේ ගමන් ගනිමින් සිටි සාමාන්‍ය ජනතාව ද දැඩි අපහසුතාවට පත් වූහ.

මුදලිගේ හා සිරිධම්ම හිමි නිදහස් කරනු: අන්තරේ පා ගමනට කඳුළු ගෑස් ජල ප්‍රහාර

මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු ටෙරන්ස් රුද්‍රිගු මෙසේ කියා සිටියේය.

අපි කියන්නේ වසන්ත මුදලිගේ අපේ සහෝදරයා හා ගල්වැව සිරිධම්ම හාමුදුරුවෝ නිදහස් කරන්න කියලයි. ඒ වගේම බඩු මිල පහත හෙළන්න ඕනේ. බදු බර පහත හෙළන්න ඕනෑ. රටේ ජනතාවට නිදහසේ ජීවත්වෙන්න ඉඩ දියව් කියන ඉල්ලීම අපි කරන්නේ. අද අපේ සාමාජිකයන්ට තැන් කීපයකදී පොලිසිය කඳුළු ගෑස් ජල ප්‍රහාර එල්ල කළා. අපි ඒවාට සැලෙන්නේ නැහැ. අපේ සටන දිනන තුරු අපි අරගලය දිගටම කරගෙන යනවා. අපි හැම වෙලාවෙම රටේ ජනතාවගේ පැත්තේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
ඡායාරූප නිශාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment