මුදල නමැති සර්පයා සහ දේශපාලනය

96

“දූෂණය සහ දේශපාලනය නිවුන් සොහොයුරන් දෙදෙනකු බවට පත්වී ඇත” යන්න ඉතාම ජනප්‍රිය කතාවක්. ඊටම සමාන තවත් කතාවක් තිබෙනවා. ඒ, “මුදල් සහ දේශපාලනය”. ඒ තරමටම මුදල් සහ දේශපාලනය එකකට එකක් බැඳී පවතිනවා.

20 වැනි ශත වර්ෂයේ වඩාත්ම මතභේදාත්මක නායකයා ලෙස සැලකෙන්නේ පිලිපීනයේ මාකෝස්. ඔහුගේ පාලනය දූෂණය ඉහවහා ගිය, වියදම් ඉහවහා ගිය, ම්ලේච්ඡත්වය රජ කළ එකක් වුණා. මාර්කෝස්ගේ බිරිඳ ඉමෙල්ඩා මාකෝස්. ඇයට බොහෝ දෙනා කීවේ ‘යකඩ සමනලිය’ කියලා.

“අපේ රටේ උන් ලස්සනට කැමතියි. මං තරුවක් වෙලා ලස්සනට හිටියොත්, හිඟන රටවැසියෝ උන්ගෙ මුඩුක්කුවල ඉඳන් බලලා සතුටු වෙයි. මිනිස්සුන්ට සතුට ගේන එක මොනතරම් හොඳද, ඔය සමහරුන්ගේ චෝදනා වැරදියි. සත්තකින්ම මට සපත්තු කුට්ටම් තුන් දාහක් තිබුණේ නෑ. මට තිබ්බේ එක් දාස් හැටක් පමණයි. කොහොම වුණත් දිනුවත් – පැරදුණත්, ඡන්දෙන් පස්සෙ අපි සාප්පු සවාරි යනවා”

මාකෝස්ගේ බිරිඳ වරක් එහෙම කීවා. රාජ්‍ය නායකයකු සහ බිරිඳ එක් වී සිදු කළ විශාලතම සොරකම එසේත් නැතිනම් මහජන මුදල් කොල්ලය සම්බන්ධයෙන් ගිනස් ලෝක වාර්තා අතරට එක් වී සිටින්නේ ද මාකෝස් සහ ඉමෙල්ඩා.

අවසානයේදීම මාකෝස්ට ජනතා අරගලය ඉදිරියේ පරාජය බාර ගන්නට සිදු වුණා. කෝටි ප්‍රකෝටි ගණන් මූල්‍ය වංචා ඔහුට එරෙහිව ඉදිරිපත් වී තිබුණා. ඒ නිසාම කලක් මාකෝස්ලට පිලිපීනය තහනම් දේශයක් බවට පත්වුණා.

ඔස්ට්‍රියානු රජ කුමරියකු වූ මාරි 16 වන ලුවී රජුගේ රැජන බවට පත්ව සිටියහ. එකල පීඩාව දරාගන්න බැරිව ගොවීන් සහ ජනතාව වීදි බැස ආණ්ඩුවට විරෝධතාවය දැක්වූවා. ගොවියන් පාන් ඉල්ලා කෑ ගසන බව ඇසූ මාරි අන්තුවනෙත් “කිල් මොන්ෂ් ද ල බ්රියාශ්” යැයි කීවා. ඒ කියන්නේ “පාන් නැත්නම් කේක් කාපල්ලා” යනුවෙන්.

ඇයගේ එම ප්‍රකාශයෙන් දෙවසරකට පසු, ලුවී රජුගේ අත්තනෝමතික පාලනයට එරෙහිව පැන නැඟණු ප්‍රංශ විප්ලවය 1789 දී ජය ගත්තා. අත්අඩංගුවෙන් පැන ඔස්ට්‍රියාවට පැන යෑමට උත්සාහ කළ 16 වන ලුවී රජුද මාරි අන්තුවනෙක් රැජිනද දේශද්‍රෝහී චෝදනා මත ගිලටීනයට හසුවුණා.

ලෝකයේ බොහෝ පාලකයන් ශිෂ්ටසම්පන්න අරමුණු ප්‍රදර්ශනය කරමින් දේශපාලනයට ප්‍රවිෂ්ටව, සිය දේශපාලන අරමුණ ජයග්‍රහණය කිරීමෙන් පසු ඉතාමත්ම අභාග්‍ය අභාග්‍ය සම්පන්න ලෙස මුදල් මත ස්වකීය ආත්මය පාවා දුන් අවස්ථා බොහෝ හමු වනවා.

වෝටර්ගේට් සිදුවීම ඇතුළු සිය ගණනක් එවැනි කුප්‍රකට සිදුවීම් අපට නිදසුන් ලෙස හමු වෙනවා.

ලෝක නායකයන්, දේශපාලකයන්, ප්‍රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන්ගේ බොහෝ දෙනකුගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් අනාවරණයක් ‘පැන්ඩෝරා පේපර්ස්‘ හරහා සිදුවෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට, අසර්බයිජානයේ ජනාධිපති ඉලාම් අලියෙෆ් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට, චෙක් අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස්, කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, වැනි නායකයින් සම්බන්ධයෙන් තියෙන්නේ ඉතාමත් කළුපාට චිත්‍රයක්.

මේ අන්දමට ලෝකය පුරා විශාල ප්‍රමාණයක් දේශපාලඥයින්ට එරෙහිව බරපතළ මූල්‍ය චෝදනා එල්ලවීම තුළින් ගම්‍ය වන්නේ කුමක්ද?. මුදල් සමග ඔවුන් සෙල්ලම් කොට ඇති අන්දමයි. අපේ රටේත් බොහොමයක් දේශපාලඥයන් ඉලක්ක කර ගනිමින් මූල්‍ය සහ දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. ඒ වගේම,තමන්ට ජීවත් වන්නට කුඩා විශ්‍රාම වැටුපක් ලබා දෙන ලෙස ඉල්ලන්නට සිදුවුණු “අහිංසක” දේශපාලන නායකයන් පවා අපේ රටේ ජීවත් වී තිබෙනවා.

ඉන්දීය නිදහස් සටන අතට ගත් මහත්මා ගාන්ධි වරක් ආපහු හැරුණා. කෙලවරක් නැතිව කැප වී අවිහිංසාවාදයෙන් යුතුව නිදහස් සටන දිනන්නට ඔහු ගත් වෑයමට එරෙහි බලවේග ගාන්ධිගේ වෑයම තුට්ටුවකට මායිම් කළේ නෑ..

සියල්ල අතැර ඔහු බලවත් කම්පාවෙන් යුතුව ‘නිදහස් සටනින් ඉවත් වෙන්නට තීරණය කළා. එහෙම සිතා නිවෙසට ගොස් ඉන්න අතරේ ගාන්ධිගේ සිත වෙනස් කළේ එක්තරා ගීතයක පද වැලක්.

එය 1905 රවීන්ද්‍රනාත් තාගෝර් ලියූ ‘එක්ලා චෝලො රේ’ නම් බෙංගාල ගීතය. ඉන් කියැවෙන්නේ අපූරු කතාවක්.

‘ඔවුන් ඔබට ප්‍රතිචාර නොදක්වන්නේනම්,

තනිවම ඔබ ඔබේ ගමන යන්න.

ඔවුන් බියනම්, බියෙන් හැකිලෙනවානම්,

ඔවුන් අවාසනාවන්තයෝය.

ඔබේ මනස විවෘත කරන්න-තනිවම හඬ නගන්න

ඔබ දුෂ්කර වන ගහන පසුකරනවිට

ඔවුන් ඔබව අතැර ඈත් වෙනවානම්

ඔවුන් අවාසනාවන්තයෝය…

ඔබේ අඩිපාරේ ඇති කටි පාගා දමා යන්න..

රුධිර පැල්ලම් පිරි මඟ දිගේ තනිවම යන්න…

ඔවුන් දොර වසා ඔබට ආලෝකය නොදුන්නොත්

ඔවුන් අවාසනාවන්තයෝය

වේදනාව නමැති අකුණෙහි ගිනි දැල්ලෙන් දැල්වුණු

හදවත ඇතිව එයට තනිවම දැවෙන්න ඉඩ දෙන්න‘

ගීතය ඇසුණු ගාන්ධි ආපසු හැරුණේය. වෙනදාටත් වඩා ජවයකින් ‘නිදහස් සටනට’ පණ පෙවුවා.

දූෂණයට එරෙහිව වෙනසක් උදෙසා කරන අරගලය ශක්ති ප්‍රමාණයෙන් දිගටම කරගෙන යෑම කළ යුතුව තිබෙනවා.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment