මුද්ද උකස් කර ගොඩට ගත්  කිඹුළාගේ කැළෑ මාරුවට  තෙල් හරස් වෙලා

683

මැදවච්චිය, බෙල්ලන්කඩවල ගම්මානය හරහා ගමන්ගන්නා යෝධ ඇළේ සිට එළුවන් කෑමට නිවස වෙතට පැමිණි කිඹුලෙකු නිවසක් පහළ පිහිටි ළිඳට වැටී තිබේ. ගෙහිමියා දින දෙකක් තිස්සේ ළිඳේ ජලය ඉවත් කර එම කිඹුලා නිරුපද්දිතව ගොඩට ගෙන ඇත. කිඹුලා ගැන වනජීවියට දැනුම් දුන්නත් මේ වනතුරුත් ඔවුන් නොපැමිණි බව නිවසේ හිමිකරු ඩබ්ලිව්. කේ. එස්. ජයවර්ධන මහතා පැවැසීය.

එලෙස කටයුතු කරන වන ජීවි නිලධාරින් කිඹුලාගේ ජීවිතයට අනතුරක් සිදු වුවහොත් වගකිව යුතු බව ද ඒ මහතා සදහන් කළේය.

පසුගිය 04 වනිදා උදෑසන ගේ හිමියාගේ බිරිද නිවස පිටුපස පිහිටි ළිඳෙන් ජලය රැගෙන ඒමට ගොස් ඇත. එම අවස්ථාවේ ළිඳේ කිඹුලෙකු වැටී සිටින බව දැක ගෙහිමියා දැනුවත් කර ඇත. අනතුරුව කිඹුලා ගොඩට ගැනීමට ළිඳේ ජලය ඉසීමට සිදු විය. පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැතිව මෙම ගෙහිමියා තම බිරිඳගේ මුද්දක් රුපියල් 7000 ට උකස් කර එයින් ඉන්ධන රැගෙන විත් ළිඳේ ජලය දින දෙකක් ඉසිමින් අනතුරුව කිඹුලා ගොඩට ගෙන ඇත. ඒ පිළිබඳ මැදවච්චිය වන ජීවි නිලධාරින් දැනුවත් කළ බවත් කිඹුලා ළිඳෙන් ගොඩට ගෙන දින දෙකක් ගත වුවත් කිසිවෙකු මෙම කිඹුලා රැගෙන යෑමට පැමිණ නොමැති බවත් නිවසේ හිමිකරු කීවේය.

ඩබ්ලිව්. කේ. එස්. ජයවර්ධන මහතා :  – දැන් මේ සතාව ලිහන්නත් බෑ. මොකද මේ සතා දැන් මාස 03 ක් තිස්සේ ගමට ඇවිත් එළුවන්, බල්ලන අල්ලගෙන කනවා. මේ කිඹුලා දැන් ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ. අපිවත් කන්න ඉඩ තියෙනවා. වන ජීවි නිලධාරින්ට කිව්වා. ඒ අය කියනවා කිඹුලා අරන් යන්න වාහන නෑ කියලා.

මේ පිළිබඳ අපි මැදවච්චිය වන ජීවි නිලධාරි ප්‍රියංකර මහතා :

ගම්මානයේ අය අපිව මේ පිළිබඳ දැනුවත් කළා. මේ කිඹුලව ඒ අසල ඇලකට, ගම්මානයකට නිදහස් කරන්න  ගමේ අය කැමති නෑ. ඒ නිසා මේ කිඹුලව අපි විල්පත්තු රක්ෂිතයට ගෙනියන්න වෙනවා. නමුත් අපිට වාහන නෑ.

මැදවච්චිය – ගයාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment