මුද්‍රණ කර්මාන්තය ආපසු පටන්ගත්ත තැනටම

436

නිහාල් නෙල්සන් එයා ප්‍රසිද්ධ වුණේ ‘කැසට්’ ගහල! මේ නන්දසේන රාජපක්ෂ.

මෙයා ප්‍රසිද්ධ වුණේ ගැසට් ගහලා!

නිහාල් ‘කැසට්’ ගැහුවත් නන්දසේන “ගැසට්” ගැහුවත් දෙදෙනොම සමාන වන තැනක් ද ඇත. ඒ මේ නිහාලුත් – නන්දසේනත් දෙන්නාම කියන්නේ “බයිලා” නිසාය. කැසට් සියයක් ගහපු නිහාල්ට දැන් සින්දු කියන්නට දැන් කැසට් නැත. කැසට් ගානට ගැසට් ගහපු නන්දසේනට දැන් ගැසට් ගහන්නට දැන් කරදාසි නැත. දැන් දෙදෙනාම එක වල්ලේය.

මේ කතාව අහපු ටවුන්හෝල් අසල ඩිමෙල් පාක් එක ඉදිරිපිට සරුවත් විකුණන ෂයිබුනානා අපෙන් ඇහුවේ දැන් ෂෙපද කියාය. ෂයිබුනානාගේ පිටුපස වූයේ එදා ප්‍රතාපවන්තව වැජඹුන ‘කඩදාසි සංස්ථාවේ’ අලෙවි ගොඩනැඟිල්ලය.

මේ රටේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් ඇමැති බැසිල් රටේ ඩොලර් නැති බවට කනින්කොනින් ඇහෙන විට කිසිදු හිරිකිතයක් නැතුව කිව්වේ ලංකාවේ කිසිදු ඩොලර් හිඟයක් නැති බවය. බැංකුවක කැන්ටිමේ රතු ලූනු පොතු ඇරීමේ අත්දැකීමවත් අපේ මහ බැංකු අධිපතිට තිබුණේ නැත. මුදල් ඇමැති වුවත් බැසිල් පෙට්ටි සුරුට්ටු කඩයක කැෂියර් ජොබ් එකක්වත් කර මුදල් අත ගාපු එක්ස්පීරියන්ස් එකක් තිබුණේ නැත.

අන්තිමේදී ඩොලර් නැතිකමින් රටම හිඟමනට පත් විය. පුවත්පත් කර්මාන්තය සහ මුද්‍රණාල මේ නිසා මෙරට යන එන මං නැති වූ ප්‍රධාන කර්මාන්තයකි.

සාමාන්‍ය ජනතාව ‘ප්‍රින්ටින් ප්‍රේස්’ එක ලෙස කිව්ව ද ලංකාවේ මුද්‍රණ ශිල්පය නිසා පරම්පරා ගානක් බඩවියත රැක ගත් බව අප අමතක කළ යුතු නොවේ.

මුද්‍රණ කර්මාන්තය ආපසු පටන්ගත්ත තැනටම

මුද්‍රණ කර්මාන්තය අද ඩොලර් අර්බුදය නිසා මරණාසන්ව සිටියදී මුද්‍රණ කර්මාන්තයෙන් බඩවියත රැකගන්නා දැවැන්ත පිරිසට පිහිටක් වෙන්ට ශ්‍රී ලංකා මහ බැංකුවවත් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටවත් මොළේ පෑදුනේ නැතිවීම සමස්ත ප්‍රජාවගේම ඛේදවාචකයෙකි.

මෙරට මුද්‍රණ කර්මාන්තය යොදා ගන්නා දේශීය අමුද්‍රව්‍ය බොහෝ අවම මට්ටමක පවතී. මුල් කාලයේ මෙරට මුද්‍රණ යන්ත්‍ර සඳහා අවශ්‍ය ගෙවුනු අමතර කොටස් පට්ටලේ දමා ලියවන්නට යවන ලද්දේ ජර්මනියටය. මෙම මුද්‍රණ අමතර කොටස් මූලිකව ලංකාවේ නිපදවිය හැකි බවට බිය සැක නැති කරන ලද්දේ පංචිකාවත්තේ නැෂනල් ලේත්වර්ක් භාරව සිටි හෙට්ටිආරච්චි බව අද බොහෝ දෙනාට අමතකය.

මුද්‍රණ කර්මාන්තයට අවශ්‍ය කඩදාසි 90% ක් ආනයනය කෙරේ. ඉන්දියාවටත් කඩදාසි අපනයන කරපු ලංකාවේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල දේශප්‍රේමී ජෙප්පන් ගිනිබත් කිරීම නිසා එහි වාසියත් ගත්තේ ඉන්දියන් කඩදාසි නිෂ්පාදකයන්ය. වාලච්චේන කඩදාසි කම්හලේ ප්‍රධාන වශයෙන් නිපදවන්නේ ෆයිල් කරව නිසා එය ‘ජාතික මුද්‍රණ’ කර්මාන්තයට සැලකිය යුතු දායකත්වයක් දක්වන්නේ නැත.

ප්‍රධාන වශයෙන් මුද්‍රණ කර්මාන්තයෙන් යැපෙන පිරිස් බොහෝය. කඩදාසි ආනයනකරුවන්, මුද්‍රණ යන්ත්‍ර ආනයනකරුවන්, මුද්‍රණ තීන්ත, ප්ලේට් නොහොත් ඕෆ්සෙට් ප්ලේට්, මුද්‍රණ යන්ත්‍ර අමතර කොටස් ආනයනකරුවන්, මෙන්ම මුද්‍රණාලවල යන්ත්‍ර ක්‍රියාකරුවන්, ගෝලයින්, මුද්‍රණ යන්ත්‍ර අලුත්වැඩියා කරන්නන්, බයින්ඩින් කරන ශිල්පීන් වශයෙන් මුද්‍රණ කර්මාන්තයෙන් යැපෙන පිරිස් වර්ග ලඝු කොට දැක්විය නොහැක. කොටින්ම කිවහොත් ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන්, CTP යන්ත්‍ර ක්‍රියාකරුවන් මුද්‍රණ ශිල්පයේ ඇස්ටිමේට් හදන ශිල්පීන් මෙන්ම කොලිටි කොන්ටෝලර්ස්ලා නොහොත් තත්ත්ව පාලකයින් ද අද මුද්‍රණාල හලට වී බකංනිලාගෙන සිටීමට සිදු වී ඇත්තේ මුද්‍රණ කටයුතුවලට අවශ්‍ය කඩදාසි, බෝඩ් සොයන ද්‍රව්‍ය ආදී අමුද්‍රව්‍ය ආනයනය ඩොලර් අර්බුදය නිසා මුළුමනින්ම පාහේ කඩා වැටුන නිසාය. නවතම ආනයනික කඩදාසි තොග ද මිල 400% කින් ඉහළ යෑම නිසා වඩාත් අසරණව ඇත්තේ මුද්‍රණාල හිමියන්ය.

බොහෝවිට දැවැන්ත ව්‍යාපාර සහ බහුජාතික සමාගම් මුද්‍රණ කටයුතු සඳහා මුද්‍රණාල සමග ගිවිසුම් අත්සන් කරන්නේ මාස 6 කටය. මෙරට ඩොලර් අර්බුදය ආරම්භයේදී මෙරටට ආනයනික වොක්ස් වෝර්ඩ් පැකට්ටුවක මිල පැවතියේ රුපියල් 3000 කටත් අඩුවෙනි. එහෙත් එම පැකට්ටුව අද රු20,000/- ඉක්මවා ගොස් ඇත. සරලම උදාහරණය නම් ඔබ මෙම පුවත්පත කියවන ‘නිවුස් ප්‍රින්ට්’ කඩදාසිය රුපියල් පහේ සිට රුපියල් විස්ස ද ඉක්මවා යෑමට මෙරට මුද්‍රණ කර්මාන්තය වළ පල්ලට යන බවට අද ඇති හොඳම සාක්ෂියකි.

මුද්‍රණ කර්මාන්තය ආපසු පටන්ගත්ත තැනටම

දැන් ඇත්තේ ඉන්ධනහල් අසල දැවැන්ත පෝලිම්ය. මේ ඉන්ධන පෝලිම් ගැන මුද්‍රණ කර්මාන්තයට බලපාන්නේ ප්‍රින්ටින් මැෂින් දුවන්නේත් ඩීසල්වලින් දැයි ඔබ ප්‍රශ්න කළ හැක. මුද්‍රණ කර්මාන්තයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන්නේ ‘ලාම්පු තෙල්’ ය. ලාම්පු තෙල් භාවිතා කරන්නේ මුද්‍රණ යන්ත්‍රයේ ඇති තීන්ත සෝදා පිරිසිදු කොට වෙනත් වර්ණ තීන්ත වර්ගයක් යොදා ගැනීමටය. දැන් භූමිතෙල් නැතුව ගෘහනියත් එක්ක මුද්‍රණ හිමියන් ද භූමිතෙල් පෝලිමේය. ඇතැම් මුද්‍රණ හිමියන් භූමිතෙල් බෝතලය රු. 700 ට වුව ද ගන්නේ මුද්‍රණ මැෂිමේ තීන්ත වේලුනොත් තව රුපියල් දහපහළොස් දහසක් වියදම් කිරීමට සිදුවන නිසාය. ලංකාවේ ප්‍රින්ටින් මැෂින් හේදීමට භුමිතෙල් භාවිතා කරන ලෝකයේ ඒ සඳහා භාවිතා කරන්නේ Roller Wash නමැති දියරයයි. රුපියල් දහසකට ආසන්නව ලංකාවේ පැවති මේ දියරය කෑන් එකක් රුපියල් පන්දහස ද ඉක්මවා ගොස් දැන් රුපියල් දසදහසක මිල ඉහළ යෑමකට ඉව අල්ලමින් සිටී. ප්‍රෙස් එකේ ජෙනරේටරයට ඩීසල් නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

ලංකාවේ ජනප්‍රියතම මුද්‍රණ යන්ත්‍රය වී ඇත්තේ RORD නම් ජර්මනියේ නිෂ්පාදිත හයිඩල්බර්ග් යන්ත්‍රයකි. මෙම යන්ත්‍රයට මුද්‍රණ කටයුතුවලට යොදා ගන්නා අවශ්‍ය පරිදි සකස් කළ තහඩුව හැඳින්වෙන්නේ ප්ලේට් (Plate) යනුවෙනි. ඩොලර් අර්බුදයට පෙර රු 500 – 800 ත් අතර පැවති මේ ප්ලේට් එකක් අද රු. 1500/- ද පසු කරමින් මිල නියමව ඇත. ඒත් ප්‍රශ්නය ඒ ගානට ද මිලදී ගන්නට වෙළඳපොළේ ප්ලේට් නැති වීමය.

වඩාත් ජනප්‍රිය මහජනතාවට සමීප මුද්‍රණ අයිතිමය වන්නේ ෆොටෝ කොපිය හා එක්සයිස් පොතය. රු. 5/- කට මිල වූ ්4 ෆොටෝ කොපියක් අද මිල කෙරෙන්නේ රු 15 – 20 ත් අතර මිලකටය. රු 600 ට පමණ තිබූ ෆොටෝ කොපි කඩදාසි පැකට්ටුව අද රු. 3000/- ට ආසන්න වෙමින් පවතී. මුද්‍රණ කඩදාසි මිල ඉහළ යෑම නිසා පිටු 80 තනි රූල් පොතක මිල රු 100 – 120 දක්වා ඉහළ ගොස් ඇත. නමුත් ඩොලර් අර්බුදයට පෙර මෙම පොතක මිල රු 40 කි. මේ පිටු 80 පොතක් රු 150/- ට වික්කත් කනෙන් ඇදගෙන මුදලාලි ගෙනියන්න ගමට පාරිභෝගික අධිකාරිය එන්නේ නැත.

ඩොලර් අර්බුදය කෙසේ වෙතත් දැන් මුද්‍රණ කඩදාසි ව්‍යාපාරය ජාවාරමක් වී හමාරය. කඩදාසි පැකට්ටුවක් නොහොත් රිම් එකක උදේ මිල හෙට උදේ වැඩි වී ඇත්තේ හිතාගත නොහැකි ලෙසය. මුද්‍රණ ශිල්පීන් ප්‍රශ්න කරන්නේ දිනපතා කඩදාසි මිල වැඩි වන්නේ දිනපතා කඩදාසි ආනයනය කරන නිසාද යනුවෙනි. එහෙත් මුද්‍රණ කඩදාසි හිමියන්ගේ ස්ටෝරුවල ඕන තරම් ගොඩගසා තිබේ. මිල තීරණයට කිසිදු රාජ්‍ය මැදිහත් වීමක් නැත.

දැන් ඇති වී ඇති තත්ත්වය සිල්ලර කඩයකට බිල් පොතක් මරණ දැන්වීමක් ගසා ගැනීමට කඩදාසි මිල නහුතෙට නැගීම නිසා පොදු ජනතාව ද දැන් හමාරය. දැන් රීලෝඩ් එකක් දැමූ විට Recept Printer දුන්නට ද කඩදාසි රෝල් නැත. දැන් බොහෝ බැංකු දන්වා ඇත්තේ ජංගම ගිණුම් හිමියන්ට කඩදාසියේ මුද්‍රිත මාසික වාර්තා අත්හිටුවන බවය. කඩදාසි නැති නිසා දුරකථන detail Bill ද දැන් නවතා දමා තිබේ. මුද්‍රණ කර්මාන්තයට කණකොකා හැඬුවා කියන්නේ ඇගලුම් කර්මාන්තය ඇතුළු අපනයන, දේශීය කර්මාන්ත ඇසුරුම් සියල්ල ඇනහිට ලංකාව තවත් ආර්ථික අගාධය වළපල්ලට යෑමකි.

ප්‍රවීන් දේවින්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment