හිරෙන් පස්සේ වැඩ ගැන රන්ජන් මීවිතට කතා කරයි

313

● හිර කූඩුවේ කූරු අතුරින් මම මගේම චිත්‍රපට බැලුවා
● හැමදාම රෑට සින්දු කියන්න වුණා
● ජයන්ත අයියාගේ එල්ලේ සිරා මුලින්ම භාර ගත්තා
● කිසිම නළුවකුට මෙහෙම වෙලා නෑ
● මාංචු  දාලා ආවහම හැමෝම ඇඬුවා

පිට පිට දාහතර වතාවක් ජනප්‍රිය නළුවාට හිමිකම් කියූ ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක ගැන වැඩිපුර කතාබහක් පසුගිය කාලය පුරාවට ම තිබුණා. ඒකට හේතුවී තිබුණු කරුණු කාරණා ඔයගොල්ලෝ දන්නවා. නමුත් මේ සියල්ල අතරේ රන්ජන් රාමනායකට අවුරුද්දයි මාස අටකට පසුව නිදහස ලැබෙනවා. ඇත්තට ම දැන් රන්ජන්ගේ රඟපෑමට නැතිනම් සිනමාවට මොකද වෙන්නේ. හිරෙන් නිදහස්වී ආපසු දිනම ඔහු ඒ ගැන මුල්වරට මීවිතට මෙලෙස අදහස් පළ කළා. දිගුකලකට පසු අප රන්ජන්ගේ හඬපටයක් මෙලෙස පත්තර පිටුවට පෙළගැස්සුවා.

● ඔබ රඟපෑ ද ගේම් චිත්‍රපටය තිරගත වෙන්නේ ඔබ සිරගත වෙලා ඉන්න වෙලාවේ. ඒ අත්දැකීම් මොනවගේද?
අනේ මට විශාල දුකක් ඇති වුණා. සාමාන්‍යයෙන් නළුවෙක්ට මංගල දර්ශනයටවත් යන්න බැරිවීම ලොකු දුකක්නේ. චිත්‍රපටයක් කරනවා කියන්නේ ලොකු කාලයක් කැපකරලා ෂූටින් කරලා ඩබින් කරලා කරන වැඩක්නේ. ද ගේම් චිත්‍රපටය වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. ඉතිං ඒ චිත්‍රපටය තිරගත වෙනකොට මම සිරගත වෙලා. කිහිප වතාවක්ම සුරංග ද අල්විස් මහත්මය යි ජනිත් වික්‍රමගේ සහෝදරය යි මේ චිත්‍රපටයේ මංගල දර්ශනයට මාව  රැගෙන එන්න ගොඩක් උත්සාහ කළා. නමුත් හරිගියේ නැහැ. පස්සේ අපේ අධිකරණ අමාත්‍යතුමා ගේ ලේකම්තුමා වන විදුරංග තිරිමාන්න මහතා තමයි මේ වැඩේට මුල්වෙලා කරලා දුන්නේ.

හිරෙන් පස්සේ වැඩ ගැන රන්ජන් මීවිතට කතා කරයි

● ද ගේම් ගැන මොකද හිතෙන්නේ?
ඒක ඇත්තටම හොඳ චිත්‍රපටයක්. මම ද්විත්ව චරිතයක් රඟපාන්නේ. මේක රීමේක් චිත්‍රපටයක්. ඒක ලංකාවේ ම කතාවක් හින්දයි මම කැමැති වුණේ.

● මාංචු දාලා ඇවිත් චිත්‍රපටය  නරඹන කොට මොකද හිතුණේ?
 
මට තිබුණ ලොකුම උපහාරය එතැන තිබුණා කියලා තමයි මට හිතුණේ.

● හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ චිත්‍රපට හතරකට විතර ආරාධනා ලැබුණා කියන්නේ ඇත්ත ද?
ඔව්. ඔබලාගේ පුවත්පතේ හිටපු කර්තෘ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා තමයි මට මුලින්ම කතා කළේ. මම හිරගත වෙලා ඉන්නකොට එතුමා හිරගෙට ඇවිත් දෙතුන් වතාවක්ම සාකච්ඡා පැවැත්වූවා. දිවයින පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණු තමයි සම්බන්ධීකරණ කටයුතු සිදුකළේ.

● මොකක්ද ලැබෙන චරිතය?
චරිතය නම් එල්ලේ සිරා. මම මුලින්ම රඟපාන්න හිතාගෙන ඉන්නේ ඒ චරිතය. ජයන්ත චන්ද්‍රසිරි නමැති සිනමාවේදියාගේ චිත්‍රපටයක් රඟපාන්න මම පෙරුම්පුරාගෙන හිටියා. මම ආසා කරන අධ්‍යක්‍ෂවරයෙක්. මට හම්බවෙන හැම තැනකම ඔහුගෙන් අහනවා ඔයා මාව ගන්නේම නැද්ද කියලා. ඇයි ඔයා මෙහෙම අසාධාරණකම් කරන්නේ කියලත් මම නිතර අහනවා. නෑ නෑ ඔයාට චරිතයක් දෙනවා පොඩ්ඩක් ඉන්න කියලා හැමදාම කියනවා. මම කිව්වා මම මැරුණට පස්සෙ ද ඔයා මට චරිතයක් දෙන්නේ කියලා. අන්තිමේ විහිළුව සැබෑවක් වෙලා මම ඔහු යටතේ රඟපානවා. තව වන් ෂොට් 2, ද ගේම් 2 කරන්න කතා කළා. කොහොමත් චිත්‍රපට හතක් අටක් සෙට්වෙලා තියෙනවා. නිෂ්පාදකවරුත් ගොඩක් ඉන්නවා.

හිරෙන් පස්සේ වැඩ ගැන රන්ජන් මීවිතට කතා කරයි

● රන්ජන් රාමනායකට මේ වෙලාවේ සිනමාව වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් නේද?
සිනමා ශාලා ටික හරියට හැදෙන්න ඕනෑ. ඒක තමයි ප්‍රධාන අරමුණ. අපිට 2ණ සිනමා ශාලා තියෙන්නේ පොඩ්ඩයි. 4ණ සිනමාවත් හරි අඩුයි. අපිට තියෙන්නේ සිනමාවක්. නමුත් ඒක හරියන්නේ නෑ. සිනමා ශාලාවල සවුන්ඩ් එහෙමත් ගොඩක් අප්සට්. ඒකට කාටවත් වරදක් කියන්න බැහැ. දැන් තියෙන වාතාවරණයත් එක්ක ඔවුන්ටත් මේක කරන්න බැහැ. අඩු සංඛ්‍යාවක් දාලා හොඳ කොලිටි සිනමා ශාලා ඇති කළොත් මිනිස්සු ෆිල්ම් බලන්න ඒවි.


● ඇත්තට ම වැටුණු සිනමාව ඔබට ගොඩගන්න පුළුවන් නේද?
පුළුවන්. ද ගේම් චිත්‍රපටය දැනටමත් කෝටි තුනහමාරත් පැනල සල්ලි හොයලා තියෙන්නේ. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දිනේ.

● සුරංග ද අල්විස් අධ්‍යක්‍ෂවරයා ඔබව එළියට ගන්න සෑහෙන සටනක් කළා නේද?
ඇත්තට ම ගොඩක් මහන්සි වුණා. මේ වෙලාවේ ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මාව චිත්‍රපටයකට ගන්න තමන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කරදරයක්නේ මල්ලී. මම හිරේ යනවා. මම විභාග ලියනවා. උසස් පෙළ ලියනවා. උපාධිය කරන්න ගන්නවා. ඉතිං ඊට පස්සේ මම හාල් බෙදලා හිරේ ගියා. එතකොට දවස් 45ක් ෂූටින් නැවතුණා. ආපහු මාළඟ තියෙන පිස්තෝලයට ලයිසන් ගත්තේ නැහැ කියලා ආපහු රිමාන්ඩ් කළා. විශාල කරදර ගොඩක් මැද්දේ තමයි ෂූටින් කළේ. සුරංගගේ හිතේ ලොකු ප්‍රශ්නයක් තිබුණා කොයිවෙලේ මෙයාව හිරේ දායි ද එළියට දායි ද කියලා?

හිරෙන් පස්සේ වැඩ ගැන රන්ජන් මීවිතට කතා කරයි

● ද ගේම් බලන්න හම්බවෙන එකක් නැහැ  කියල ද හිතුවේ?
මම හිතුවේ නැහැ මට චිත්‍රපටය බලන්න අවසර ලැබේවි කියලා. ඒ දේ කරලා දුන්නේ විදුරංග සේනාරත්න. රඛිත රාජපක්‍ෂ සමග විජේදාස රාජපක්‍ෂ යන මහත්වරු. මට කතා කරන්න තහනම්. ඒක මහ පුදුම අත්දැකීමක්. මංගල දර්ශනයකට ගියහම මාධ්‍යවේදීන් අහනවානේ ඒ චරිතය ගැන මොනවද හිතන්නේ කියලා. නමුත් මේකෙදී මට මාංචු දාලා කතා කරන්නත් තහනම්. ඒක අමුතු දෙයක්. මම හිතන්නේ කිසිම නළුවකුට එහෙම දෙයක් වෙලා නැතිව ඇති.

● කට්ටිය ළඟට ඇවිත් මොනවද කිව්වේ?
සියලුදෙනා බදාගෙන අඬන්න ගත්තා. ඕක මට හිරේට ගෙනැල්ලා පෙන්වන්න අවසර ලැබුණා. මම කිව්වා එපා මට බලන්න ඕනෑ හෝල් එකේ කියලා.

● ඇයි ඒ?
හිරේදී ඒ අත්දැකීම ගන්න බැහැනේ. මට මගේ සහෝදර කාර්මික ශිල්පීන් එක්ක මේක බලන්න ඕනෑ වුණා. මංගල දර්ශනය බැලුවේ පත්තරවලින් වගේම ටීවී එකෙන්. මම ඒක බලාගෙන හිටියේ කූඩුවේ ඉඳගෙන. මගේ යාළුවෝ මම රඟපෑ චිත්‍රපටය බලනවා. මට බලන්න විදිහක් නෑ. ඒක හරි දුක්බර තත්ත්වයක්.

● චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්න හදනවා කියන්නේ ඇත්තද?
මම පිටපතක් ලියලා තියෙන්නේ. මගේම ටයිටල් එකක් දාලා ඒක කරනවා. මුන් ඔක්කොම යාළුවෝ මල්ලී තමයි චිත්‍රපටයේ නම. සියලුම කට්ටිය එකතුවෙලා සම සමව ගිවිසුම් ගහගෙන රට කනහැටි තමයි ඒකෙන් කියැවෙන්නේ.

● චිත්‍රපට සංස්ථාවේ සභාපතිකම භාර ගන්න කිව්වොත් භාරගන්නවාද?
අනේ නැහැ. සභාපතිකමට වඩා මම කැමැතියි හෝල් එකට සෙනඟ ඇද්දන පුද්ගලයෙක් බවට පත්වෙන්න. මට ඕනෑ තනතුරු නෙමෙයි. මට පුළුවන් හොඳ ක්‍රවුඩ් බුලට්කෙනෙක් වෙන්න.

● රන්ජන් ද ගේම් එක්ක රටවටා යන්න සූදානම් වෙනවා නේද?
එන සුමානේ ආරම්භ කරනවා. හෝල් හතළිස් ගාණක් තියෙනවා කියලා ආරංචියි. මම ඒ හැම හෝල් එකකට ම ගිහිල්ලා රසික ජනතාව එක්ක කතාබහ කරනවා. මම හිරේ ඉන්නකොටත් මේ චිත්‍රපටය මෙච්චර දිව්වට ගම්වලට ගිහිල්ලා ඔවුන් සමග කතාබහ කරලා එන්න.

● හිරේ ඉන්නකොටම ඔබට ජනප්‍රිය නළුවා සම්මානය ලැබුණා නේද?
ඔව්. මම හිරේ ඉන්නකොට ස්ලීම් නීල්සන් අවෝර්ඩ්ස් හි ජනප්‍රියම නළුවා බවට පත්වෙනවා. ඒකත් මට හරි ශෝචනීය අත්දැකීමක්. ඒකත් මට අවුරුදු දාහතරක් එක දිගට හම්බ වුණා. මට මේ පාරත් හම්බවුණා. මාව සම්මාන උළෙලට ගෙනියන්න කියලා ලියුම් සියල්ලම ලැබුණා. නමුත් මට අන්තිමේ ඒ අවස්ථාවත් ගිලිහුණා.

● රන්ජන්ගේ ජනප්‍රියත්වයේ අඩුවක් නැහැ. හැමදාම වැඩි වෙනවා? ඒ ගැන මොකද හිතන්නේ?
ඒ ගැන මගේ මාමා විජය කුමාරතුංග කියන කතාව තමයි කියන්න වෙන්නේ. ඔයා මගෙන් අහන කතාව ම විජය කුමාරතුංගගෙන් එදා සරසවි සම්මාන උළෙලේදී මාධ්‍යවේදියා අහනවා. එතකොට එයා කියනවා මගේ රඟපෑම මිනිස්සු අනුමත කරලා තියෙනවා. මාව මෙච්චර කල් එපා නොවීම සතුටක්. මගේ රඟපෑම හොඳද නැද්ද කියන්න මම දන්නේ නැහැ.

● හිරේ ඉන්නකොට චිත්‍රපට බලන්න හම්බවුණාද?
අනේ ඔව්. හිරගෙදර ටීවී එකක් තියෙනවා. පෙළක් වෙලාවට ඒක වැඩ කරන්නේ නැහැ. ඉතිං චැනල්වල මගේ චිත්‍රපට යනවා. එතකොට අනෙක් හිරකාරයෝ කෑගහලා කියනවා ලොක්කා ලොක්කා මේ වෙලාවට ඔයාගේ චිත්‍රපටයක් යනවා කියලා. ඉතිං ඒක මට ලොකු අත්දැකීමක්. අඟුණකොළ ඉන්නකොට කූඩුවේ ඉඳන් කූරු අතරින් මම මගේම චිත්‍රපට බැලුවා.

● රඟපාන දර්ශන කරන්න කියලා  කට්ටිය ඉල්ලුවේ නැතිද?
 
නැහැ. මට හැමදාම රෑට සින්දු කියන්න වුණා. එහා පැත්තේ ඉඳලා කට්ටිය පෙට්ටිවලට ගහනවා. මම සින්දු කියනවා. කට්ටිය විජය මාමාගේ සින්දු කියන්න කියලා කියනවා.

● රන්ජන් කවදාද හරියට ම  රසිකයෝ අතරට එන්නේ?
දැන් ඇවිත් ඉන්නේ. මට එන්න බැරුව හිටියා අවුරුද්දයි මාස අටක්. එතකොට දැන් මම හැම ෆිල්ම් ඉවෙන්ට් එකකටම සම්බන්ධ වෙනවා. මොකද මට තහනම් කරලා තියෙන්නේ දේශපාලනය. සිනමාව තහනම් කරලා නැහැ. මම ජනතාව අතරට මුලින්ම ආවේ සිනමාවෙන්. රසිකයෝ මාව පිළිගත්තේ සිනමාවෙන්. මම ඉස්සරහට හැම ඉවෙන්ට් එකකටම එන්න බලාපොරොත්තු වෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment