මුනිගේ සැපදුක් බලන්න කාදිනල්තුමා සීඅයිඩියට

413

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තිබී හමුවීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් එම දේවස්ථානයේ සංක‍්‍රිස්තියන් තනතුර දැරූ ‘මුනි’ නමැති පුද්ගලයාගේ සුවදුක් විමසීම සඳහා අගරදගුරු මැලිකම් රංජිත් කාදිනල් තුමා ඊයේ (04දා) පෙරවරු 10.00ට දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.

එහිදී කාදිනල් තුමා කෙටි වේලාවක් රැඳී සිට ‘මුනි’ නමැති පුද්ගලයා සමග කතාබස් කර එයින් පිටව ගියේය.

කෙසේ වෙතත් කාදිනල්තුමා මාධ්‍යට අදහස් නොදක්වාම යෑම විශේෂත්වයක් විය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොළඹ අගරදගුරු පදවියේ සහසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඞ් ක‍්‍රිෂාන්ත ප‍්‍රනාන්දු පියතුමා මෙසේ පැවසීය.

‘මුනි’ කියන මේ මහත්තයා තමයි එදා බොරැල්ල දේවස්ථානයේ තිබූ බෝම්බය සොයාගත්තේ. වෙන්නට ගිය විශාල විනාශයක් වළකා ගන්නට කටයුතු කළේ ඔහු. කාදිනල් හිමිපාණන්ට ඔහු ගැන ලොකු කෘතඥතාවයක් තිබෙනවා. අන්න ඒ නිසයි උන්වහන්සේ අද මේ ස්ථානයට ආවේ.

අපි බලාපොරොත්තු වුණා පසුගියදා උසාවියේදී ඔහුවත් නිදහස් කරයි කියලා. නමුත් ඔහු නිදහස් වුණේ නැහැ. අනිත් තුන්දෙනා තමයි නිදහස් කළේ. එක පැත්තකින් ස්තුතිවන්ත වෙනවා ඒ තුන්දෙනා නිදහස් කිරීම වෙනුවෙන්. අද වගේ නිදහස් දිනයක් දා කාදිනල් හිමිපාණන් බලාපොරොත්තු වුණා මීට දින කිහිපයකට ඉහතදී ඔහුට නිදහස ලැබෙයි කියලා.

මේක යම්කිසි පුද්ගලයෙක් පෞද්ගලික හේතුවක් මත තැබූ බෝම්බයක් නොවෙයි. ඊට වැඩිය එහා ගිය යම්කිසි කුමන්ත‍්‍රණකාරී සිද්ධියක් ලෙස තමයි අපි මේක දකින්නේ.

තේවත්තේ ජනවාරි 14 වැනිදා පාස්කු බෝම්බ ප‍්‍රහාරයට දින 1000 ක් පිරෙන දවසේ තිබුණු එම යාඥා මෙහෙයට යම්කිසි බාධාවක් කරන්න ජනතාව බියගැන්වීමට යම්කිසි කෙනෙක් මේ දේ කළා දැයි සැකයක් තියෙනවා. ඒ වගේම මේ පාස්කු බෝම්බ ප‍්‍රහාරය යටගහන්න උත්සාහ දැරූ අය මේ දේ කළා දැයි අපිට ලොකු සැකයක් තිබෙනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment