මුම්බායි රෝහල් 50කට බෝම්බ තර්ජන

126

ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහල් 50කට අධික සංඛ්‍යාවකට හා ඉන්දියාව පුරා පිහිටි ගුවන් තොටුපොළවල් 41කට ඊයේ (19 දා) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලයේ දී විද්‍යුත් තැපෑල (ඊ මේල්) හරහා බෝම්බ තර්ජන ලැබීම හේතුවෙන් එම රෝහල් හා ගුවන් තොටුපළවල දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මුම්බායි නගරයේ ජස්ලොක්, කොහිනූර්, ජේජේ, සෙන්ට් ජෝජ් ඇතුළු ප්‍රකට රෝහල් 50කට අධික සංඛ්‍යාවකට මෙන්ම චෙන්නායි, පට්නා, නාග්පුර්, වරනාසි, ජායිපුර් හා කොයිම්බටෝර් ඇතුළු ගුවන් තොටුපොළවල් 41කට ද මෙසේ බෝම්බ තර්ජන ලැබී තිබූ බවත් ආරක්ෂක අංශ විසින් එම ස්ථාන දැඩි පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු එම තර්ජන ව්‍යාජ ඒවා බව හඳුනාගත් බවත් ඉන්දියාවේ එන් ඩී ටී වී පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. මෙම බෝම්බ තර්ජන විද්‍යුත් තැපෑලට යොමු කර ඇත්තේ එම පණිවිඩය එවූ තැනැත්තා හඳුනාගත නොහැකි වන වීපීඑන් තාක්ෂණය ඔස්සේ බව වාර්තා වී තිබේ. මෙම ව්‍යාජ බෝම්බ තර්ජන හේතුවෙන් රෝහල්වල කටයුතුවලට මෙන්ම ගුවන් තොටුපොළවල කටයුතුවලට බලපෑම් සිදුව ඇති බවත් ඇතැම් ගුවන් යානා ගුවන්ගත කිරීමේ ප්‍රමාදයන් සිදු වූ බවත් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මෙම දිනවල ඉන්දියාවේ අධ්‍යාපන ආයතන, කෞතුකාගාර ඇතුළු වැදගත් මධ්‍යස්ථානවලට ද බෝම්බ තර්ජන ලැබෙන බවත් ඉකුත් මාසයේදී අධ්‍යාපන ආයතන 150කට ව්‍යාජ බෝම්බ තර්ජන ලැබී තිබූ බවත් එම මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment