මුරකරුවන් තිදෙනා  එකට මධුවිත පානය කර  ගුටි ඇන ගෙන එක් අයෙක් මරුට

112

මධුවිත පානය කළ අනෙක් දෙදෙනා  පොලිස් අත්අඩංගුවට

මහකුඹුක්කඩවල පොලිස් වසමේ කවයන්කුලම ප්‍රදේශයේ පුද්ගලික සමාගමකට අයත් ඉඩමක මුරකරුවන් ලෙස සේවය කළ තිදෙනකු මත්වතුර පානය කරමින් සිටින අතරතුරදී බහින්බස්වීමක් දුරදිග යෑමෙන් ඇතිවූ ගැටුමකින් එක් මුරකරුවකු මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය පවසයි.

මුරකරුවන් තිදෙනා  එකට මධුවිත පානය කර  ගුටි ඇන ගෙන එක් අයෙක් මරුට

මෙසේ මරණයට පත්ව ඇත්තේ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පී. එම්. තිලකරත්න බණ්ඩා නැමති එක්දරු පියෙකි.

මුරකරුවන් තිදෙනා කන්ටේනර් පෙට්ටිටක රැඳී සිට රාජකාරිවල නිරත වන අතර 13 වෙනි දින රාත්‍රියේ ඔවුන් තිදෙනා එකට මත්වතුර පානය කරමින් සිටින අතරතුරදී යම් සිදුවීමක් මුල් කරගෙන ගැටුම ඇති වී තිබේ.

මෙම ගැටුම සිදුවන අතරතුරදී එක් මුරකරුවකු විසින් මියගිය අයට මුගුරකින් පහර දී කන්ටේනර් පෙට්ටියේ පහරකෑමට ලක් වූ මුරකරු දමා පහරදුන් අය සහ අනෙක් මුරකරු ඉඩමේ වෙනත් ස්ථානයකට ගොස් තිබේ.

පසුව 14 වෙනි දින උදෑසන එම ආයතනයේ කළමනාකරු ඔහු ගැන සොයා බැලීමේදී කන්ටේනර් පෙට්ටියේ ලේ විලක් මත වැතිරී සිටින අයුරු දැක පොලිසියට දැනුම් දීමට කටයුතු කර ඇත.

දීර්ඝකාලීන බදු පදනම මත ප්‍රසිද්ධ පුද්ගලික සමාගමක් විසින් සංවර්ධනය කරමින් ආරම්භ කර ඇති අඹ වගාවක් සහිත අක්කර 50 කින් සමන්විත ඉඩමක මෙම මුරකරුවන් තිදෙනා සේවයේ යෙදී සිටී.

ගැටුම අතරතුරදී මරණයට පත් තැනැත්තා තුවාල ලබා ඇතත් රෝහල්ගත කිරීමක් සිදු නොවීම හේතුවෙන් රුධිරය වහනය වීමෙන් මොහු මරණයට පත්වන්නට ඇතැයි විමර්ශන පවත්වන පොලිස් නිලධාරීන් පවසයි.

අදාළ ස්ථානය මහෙස්ත්‍රාත් පරීකෂණ ආණමඩුව වැඩ බලන මහෙස්ත්‍රාත් චන්ද්‍ර බණ්ඩාර මහතා විසින් පැවැත්වූ අතර මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබුණේ අදාළ දේහය පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමටය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මහකුඹුක්කඩවල පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් විසින් මෙම ඝාතනය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment