මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ නිවසකින් ටී.56 පතරොම් තොගයක් හමුවේ

210


මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ටි.56 පතරොම් 401 ක් සමඟ පුද්ගලයකු ඊයේ රාත‍්‍රී අත්අඩංගුවටගත් බව මුලතිව් පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබූ ජීව පතරොම් හා කේරළ ගංජා ග්‍රෑම් තුනක්ද සොයාගත් බව පොලිසිය පැවසීය.

සැකකරු දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නකු බවත් පොලිසිය සඳහන් කළේය.

සොයාගත් ජීව පතරොම් පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කළ පතරොම් බවට සැක කරන බවත් සැකකරු එම ජීව උණ්ඩ සඟවා සිටියේ කුමන අරමුණක් සඳහාද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් පොලිසිය පැවසීය.

පොලිසිය සොයාගත් පතරොම්වලින් කොටසක් දිරාපත්ව තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවටගත් සැකකරු මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment