මුල්‍ය අරමුදල ලංකාව ගැන කියන්නේ මොනවාද?

886

අයිඑම්එෆ් මූල්‍ය පහසුකම අප රටට ලැබීමෙන් පසු වඩාත්ම අභියෝගාත්මක කාලය දැන් ආරම්භ වී ඇත. වඩාත් දුෂ්කර සහ ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඒ සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහාය ඉතා අපහසුවෙන් හෝ ලබමින් මේ දුෂ්කර කාලය අප පසු කළ යුතුව ඇත. මේ වසර හතරක කාලයේ අපගේ ප්‍රගතිය සොයා බැලීමට වරින්වර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි දූත පිරිස් මෙරටට පැමිණීමට ද නියමිතව ඇත. ඒ අනුව මේ දිනවල ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි දූත පිරිසක් මෙරටට පැමිණ ඇත. මෙරටට පැමිණි අයිඑම්එෆ් නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ තවත් නායකයන් මෙන්ම විරුද්ධ පක්ෂයේ සාමාජිකයන්, සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති, බුද්ධි මණ්ඩල සහ අනෙකුත් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් හමු වී සාකච්ඡා පවත්වා තිබේ. මේ පසුබිම තුළ මේ ලිපියෙන් අපගේ අවධානය යොමු කර ඇත්තේ මූල්‍ය අරමුදල ලංකාව ගැන කියන්නේ මොනවාද යන්න ගැන පැහැදිලි කිරීමටය.

මූල්‍ය අරමුදලෙහි මෙරටට පැමිණි කාර්ය මණ්ඩල කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති කාර්ය මණ්ඩලයේ ප්‍රධානී පීටර් බෲවර් විසින් වන අතර මෙම වසරේ (2023) ඉදිරි කාලයේ දී පැවැත්වීමට නියමිත ප්‍රථම සමාලෝචන සාකච්ඡා පැවැත්වීම සඳහා ඔවුන් මැයි 23 වන දින තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය. එසේ මෙරටට පැමිණ සිටින අයිඑම්එෆ් දූත මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් ඉකුත් මැයි 15 වැනිදා කොළඹ මහ බැංකු මූලස්ථානයේ දී පවත්වනු ලැබිණි. එම මාධ්‍ය හමුව පැවතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ක්‍රිෂ්ණා සිරිනිවාසන්ගේ ප්‍රධානත්වයෙනි. මාධ්‍ය හමුව ආරම්භ කරමින් සිදුකළ ආරම්භක ප්‍රකාශයේ දී ක්‍රිෂ්ණා සිරිනිවාසන් මෙසේ කීවේය.

‘මම ශ්‍රී ලංකාව සම්බන්ධව කතා කිරීමට පෙර, මෙම කරුණු කාරණා පිළිබඳව පැහැදිලි දසුනක් ඔබ වෙත ළඟා කිරීම සඳහා ගෝලීය සහ කලාපීය ඉදිරි දැක්ම පිළිබඳ අදහස් කිහිපයක් ගෙන හැර දැක්වීමට කැමැත්තෙමි. 2023 වසර ගෝලීය ආර්ථිකය සඳහා අභියෝගාත්මක වසරක් ලෙස පෙනෙයි. පොලී අනුපාතික ඉහළ යෑම සහ යුක්‍රේනයෙහි රුසියානු යුද්ධය මගින් එල්ල වන දැඩි බලපෑම් හේතුවෙන්, ගෝලීය වර්ධනය මන්දගාමී වී, 2023 වසරේ දී එහි අවමය කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගෝලීය උද්ධමනය ක්‍රමයෙන් ලිහිල් වෙමින් පවතින නමුත්, බෙහෙවින් ඉහළ අගයක පවතියි. තවද, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ බැංකු ආයතන දුර්වල වීම් දැනටමත් පවතින මෙම සංකීර්ණ පසුබිමට ඉමහත් අවිනිශ්චිතතාවක් එක් කර ඇත. තිරය පිටුපස පවතින මෙම ගෝලීය අවිනිශ්චිතතාවට එරෙහිව, ආසියානු ශාන්තිකරය ක්‍රියාශීලී කලාපයක් ලෙස රැඳී පවතී. ලොව පුරා දැවැන්ත ආර්ථිකයන් තුළ විදේශීය ඉල්ලුම දුර්වල වීම සහ මුදල් දැඩි කිරීම සිදු කළ ද, දේශීය ඉල්ලුම මෙතෙක් දුරට ශක්තිමත්ව පැවතිණි. ආසියානු සහ ශාන්තිකර කලාපයන්හි වර්ධනය 2022 වසරේ දී වාර්තා වූ සියයට 3.8 සිට මෙම වසරේ දී සියයට 4.6 ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම කලාපය විසින් ගෝලීය වර්ධනයට සියයට 70කින් පමණ දායක වනු ඇත. චීනය යළි යථා තත්ත්වයට පත් වීම සහ ඉන්දියාවේ ස්ථාවර වර්ධනය මගින් ආසියාවේ ගතිකත්වය මූලික වශයෙන් මෙහෙයවනු ඇති අතර, ආසියාවේ සෙසු රටවල වර්ධනය අනෙකුත් කලාපවලට අනුකූලව, 2023 වසරේ දී තවදුරටත් පහළ යනු ඇතැයි අපේක්ෂිත ය.’

මේ මාධ්‍ය හමුවේ දී ඔහුගේ ප්‍රකාශයෙන් පසු මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලැබුණු අතර ඒ අනුව මාධ්‍යවේදීන් ඇසූ සියලුම ප්‍රශ්නවලට අයිඑම්එෆ් නියෝජිතයින් විසින් පිළිතුරු ලබා දෙන ලදි.

අපේම වැරදි නිසා අපේ ආර්ථිකයේ තත්ත්වය ඉතා නරක අතට පත්ව ඇති අතරම ඉදිරියේ දී අභියෝගාත්මක ගෝලීය පරිසරයකට මුහුණ දීමට ද ශ්‍රී ලංකාවට සිදුවෙන බව මේ කතාවෙන් පැහැදිලි වන දෙයකි. සිරිනිවාසන් ඉතා පැහැදිලිව කියා සිටියේ ශ්‍රී ලංකාව අතීතයේ ගත් වැරදි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ එකක් පසුපස එකක් වශයෙන් පැමිණි ආර්ථික කම්පන හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි. මේ අර්බුදය විසින් ශ්‍රී ලාංකික ජනතාව මත, විශේෂයෙන් ම දිළිඳු සහ අවදානමට ලක් විය හැකි ජනයා මත එල්ල කර ඇති බලපෑම අතිමහත්ය. මේ ගැන මූල්‍ය අරමුදලේ ද අවධානය යොමුව ඇති අතර එම පිරිස් වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවට අයිඑම්එෆ් එක නිර්දේශ කර ඇත්තේ මේ නිසාය. අයිඑම්එෆ් සහාය පැතීම ගැන සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහන ගැන නොයෙකුත් විවේචන එල්ල වෙමින් තිබේ. එහෙත් අයිඑම්එෆ් සහාය නොගෙන අප මේ වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට සමත් කිසිදු විකල්ප වැඩසටහනක් ඉදිරිපත් කිරීමට කිසිවකුටවත් හැකිව නැත. කෙතරම් අයිඑම්එෆ් එකේ අයහපත දේශනා කළත් අයිඑම්එෆ් සහාය පැතීමට අපට සිදු වූයේ අප විසින්ම අපේ ආර්ථිකය බංකොලොත් තත්ත්වයට පත්කර, ආර්ථික ඝාතනයක් සිදු කළ නිසාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය ලබා දීමට මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් පසුගිය මාර්තු 20 වන දින ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ වන, මාස 48ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කරන ලදි. මේ මුදල අපේ අර්බුදය නිමා කර ගැනීමට ප්‍රමාණවත් නොවෙන සාපේක්ෂව සුළු මුදලක් වුවත් මෙය අපගේ අර්බුදය නිරාකරණය කිරීම කරා වැදගත් ආරම්භක පියවරක් සනිටුහන් කර ඇත. ඒ මත ඇතිවෙන විශ්වාසය හේතුවෙන් ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ඇතුළුව නව විදේශීය මූල්‍ය සහායන් මෙරටට ආකර්ෂණය කරගත හැකිවනු ඇත. ඩොලර් මිලියන 330ක පමණ මූලික මුදලක් මෙම විස්තීර්ණ ණය පහසුකමෙන් ශ්‍රී ලංකාව වෙත වහාම ලැබුණි. මේ මුදලේ ප්‍රමාණය ගැන කරන විවේචන බොහොමයක් දක්නට ලැබේ. එහෙත් වඩාත් වැදගත් වන්නේ අයිඑම්එෆ් වැඩසටහනකට ප්‍රවේශ වීම සහ ඒ සමග දියත් කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනයි. එහිදී අපට රටක් ලෙස අකැමැති දේවල් කිරීමට ද සිදු විය හැකිය. ඒවා දැනටමත් සිදුකර ද තිබේ. බදු විශාල වශයෙන් වැඩි කිරීමට මෙන්ම තෙල් සහ විදුලිය යනාදියේ මිල ගණන් වැඩිකර ඒවායින් පිරිවැය ආවරණය කර ගැනීමට ද සිදුවනු ඇත. එනම් මේ අයිඑම්එෆ් වැඩසටහන පවතින කාලය තුළ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය පාඩු පිට පවත්වාගෙන යෑමට නොහැකිවනු ඇත. මේ බව අයිඑම්එෆ් මාධ්‍ය හමුවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත සර්වට් ජහාන් මහත්මිය ද පැවසුවාය. එනම් ඇය කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නිම වන තෙක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ මිල ගණන්වලින් පිරිවැය ආවරණය කර ගත යුතු බවයි. එසේම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර බොහොමයක ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගතකරණයට ලක්කළ යුතු බව ද ඇය ප්‍රකාශ කළාය. එහෙත් මේ මිල වැඩි කිරීම් කරන්නේ සැබෑ ලෙසම පිරිවැය ආවරණය කර ගැනීමට පමණක් ද? මේ ආයතනවල වෙනත් වංචා හා දූෂිත තත්ත්වයන්ගේ බර ද මේ සමග මහජනයා වෙත පැටවෙන්නේ ද? මේවා ද අප සලකා බැලිය යුතු වේ.

විදේශීය පරිසරයේ අභියෝග සහ ක්‍රියාත්මක කර ඇති දැඩි මූල්‍ය ප්‍රතිපත්ති නිසා තවදුරටත් අපේ ආර්ථික කටයුතු පසුබෑමට ලක්වෙනු ඇත. ඒ අනුව මූල්‍ය අරමුදල කියන්නේ මේ වසරේ (2023) දී සියයට 3කින් පමණ ශ්‍රී ලංකා ආර්ථිකය සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මේ පසුබෑමෙන් පසු ලබන වසරේ (2024) දී සියයට 1.5ක සාමාන්‍ය වර්ධනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට ද මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත. එහෙත් මෙම අපේක්ෂාවන් අයිඑම්එෆ් සමග අප එකඟ වී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම මත බෙහෙවින් තීරණාත්මක ලෙස රඳා පවතින බව ද මූල්‍ය අරමුදල සඳහන් කරයි. අයිඑම්එෆ් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ සහාය ලද මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මත ගොඩනඟා ඇති බවත් එය ප්‍රධාන ආධාරකයන් පහක් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් මූල්‍ය අරමුදල පවසයි. එය ඉහත සඳහන් කළ මාධ්‍ය හමුවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ක්‍රිෂ්ණා සිරිනිවාසන් මෙසේ පැහැදිලි කළේය.

ප්‍රථමයෙන්, රජයට එහි සියලු අත්‍යවශ්‍ය වියදම් සඳහා සහාය ලබා දීමට තිබෙන හැකියාව තහවුරු කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාල, රාජ්‍ය මූල්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ සහ පිරිවැය ආපසු අය කර ගැනීම පදනම් කරගත් බලශක්ති මිලකරණයෙන් සමන්විත, අපේක්ෂා සහිත ආදායම් පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව.

දෙවනුව, ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ඔස්සේ රජයේ මෙහෙයුම් කටයුතුවල ස්ථාවර මූල්‍යනයක් තහවුරු කිරීම ඇතුළුව, රාජ්‍ය ණය තිරසරබව යළි පිහිටුවීම.

තෙවනුව, උද්ධමනයෙන් විශේෂයෙන් දිළිඳු ප්‍රජාව මත එල්ල වන පීඩාව සමනය කිරීම සඳහා, ආයෝජන සහ වර්ධන පරිසරයක් වර්ධනය කිරීමට සහ විදේශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ හැකියාව තහවුරු කිරීමට වඩා නම්‍යශීලී විනිමය අනුපාතිකයක් යටතේ මිල ස්ථායීතාව යළි පිහිටු වීමට සහ සංචිත යළි ගොඩනැඟීමට බහු පාර්ශ්වික උපාය මාර්ගයක් යෙදීම.

සිව්වනුව, මූල්‍ය අංශයට ආර්ථික වර්ධනය සඳහා සහාය දැක්වීමේ දී එහි ප්‍රධාන කාර්යභාරය ඉටු කළ හැකි බව තහවුරු කිරීමට, මූල්‍ය අංශ ස්ථායීතාව ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රතිපත්ති.

පස්වනුව, දූෂණ අවදානම් සඳහා පිළියම් යෙදීමට සහ වර්ධනය ඉහළ නැංවීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම.

ශ්‍රී ලංකාව වංචා හා දූෂණවලින් ඉහවහා ගිය රටකි. මහ බැංකුවට ජනාධිපතිවරයා විසින් පත්කරන මහ බැංකු අධිපතිවරයා විසින්ම මහ බැංකුව කඩන රටකි. එසේ මහ බැංකුව කඩා රට පැන අධිකරණ ක්‍රියාවලියට පවා ඉදිරිපත් නොවන මහ බැංකු අධිපතිවරුන් සිටින පුදුම රටකි. එසේම රටට කාසි හා නෝට්ටු නිකුත් කිරීමේ බලධාරියා වන මහ බැංකුව ඇතුලේ තිබෙන මුදල් බන්ඩල පිටින් අතුරුදන් වෙයි. එසේම අපේ රට වූ කලී මහ බැංකුවෙන් එසේ අතුරුදන් වන මුදල් බන්ඩල සොයා ගැනීමටවත් බැරිවෙන මහ බැංකුවක් තිබෙන රටකි. මහ බැංකුවේ තත්ත්වය එසේ නම් රටේ අනිත් ආයතන ගැන කවර කතා ද? මේ දූෂිත තත්ත්වයන් පිටුදකින තාක් මේ කියන ආර්ථික ප්‍රතිසංස්කරණවලින් මේ රටේ ජනයාට ප්‍රතිලාභ ලැබෙනු ඇති ද? මේ නිසා මූල්‍ය අරමුදල පවසන්නේ ශ්‍රී ලාංකික ප්‍රජාව ප්‍රතිසංස්කරණවලින් අසීරුවෙන් ලබා ගන්නා ජයග්‍රහණවලින් ප්‍රතිලාභ ලබන බව තහවුරු කිරීමට දූෂණය පිටු දැකීම සහ පාලන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වන බවයි. ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය කිරීමේ ප්‍රයත්නයට මුහුණ දී ඇති ආසියාවේ ප්‍රථම රට ද වේ. එම අරමුදලේ පාලන විනිශ්චය කිරීමේ වාර්තාව මෙම වසරේ (2023) සැප්තැම්බර් මාසය වන විට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ලෙස ඉහත සඳහන් කළ අංශ පහ තුළ අභියෝගාත්මක ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගණනාවක් ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව කියන මූල්‍ය අරමුදල, රටේ බලධාරීන් සහ ශ්‍රී ලාංකික ජනතාව විසින් වඩාත් පුළුල් වශයෙන් ශක්තිමත් හිමිකාරීත්වයක් යටතේ මෙම ප්‍රතිසංස්කරණ සිදු කර ගෙන යෑමේ වේගය අඛණ්ඩව පවත්වා ගෙන යෑම දැන් අත්‍යවශ්‍ය කරුණක් බව ද පවසයි.

මෙම ප්‍රතිසංස්කරණ හමුවේ වඩාත්ම බලපෑමට ලක් වන්නේ දිළිඳු සහ අඩු ආදායම්ලාභී ප්‍රජාවයි. එසේ නම් එම අවදානමට ලක් විය හැකි ප්‍රජාවට රටේ සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණවල අහිතකර බලපෑම නිසි ක්‍රියාමාර්ගවලින් අවම කළ යුතු බව ද මූල්‍ය අරමුදල කියන දෙයකි. මේ සම්බන්ධව මූල්‍ය අරමුදල රජයට කියන්නේ අවම ගෙවීම් තලයක්, නව සමාජ ලියාපදිංචි කිරීමේ කාර්යාලයක් ඔස්සේ මැනවින් ඉලක්ක කරන ලද ගෙවීමක් සහ අරමුණු යෝග්‍යතා නිර්ණායක පිහිටුවීම ඇතුළුව, සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම සඳහා දැඩි ලෙස කැප වන ලෙසයි. එහෙත් මේ ක්‍රියාවලීන්ගේ බොහෝ අඩුපාඩු සිදුවිය හැකිය. මේවා හැකිතාක් දුරට නිවැරදි කර ගැනීමෙන් වඩාත්ම නිවැරදි ප්‍රතිලාභීන්ට සහන සැලසිය හැකි වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලෙන් අපේ උදව්වට පැමිණ නැත. අමාරුවේ වැටී සිටි අපේ ඉල්ලීම මත පමණක් එම අරමුදල අපේ සහායට පැමිණ ඇත. අපට වැලඳී තිබෙන ලෙඩේ ඉතා දරුණු නිසා අකැමැත්තෙන් වුවත් තිත්ත කසාය බීමට සිදුව ඇත. මේ අවස්ථාවේ රට මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒමට පහසු විසඳුම් නැත. අයිඑම්එෆ් එක විසින් ලබා දෙන මෙම මූල්‍ය පහසුකම් වැඩසටහන සියලු ශ්‍රී ලාංකිකයන්ට මෙම අර්බුදය ඔස්සේ එකට එක්ව කටයුතු කර, ආර්ථික ස්ථායීතාව යළි පිහිටුවීමට සහ දේශය තිරසරාත්මක වර්ධන මාවතක් කරා යොමු කරවීමට අවස්ථාවක් වන බවත් අප යන මගෙහි අපට රුකුලක් වීමට මූල්‍ය අරමුදල බලා සිටින බවත් ක්‍රිෂ්ණා සිරිනිවාසන් පෙර කී මාධ්‍ය හමුවේ දී තවදුරටත් කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment