මුලින් නෙගටිව් කියයි පස්සෙ පොසිටිව් කියයි… ගාල්ලේ සිරකරුවන් 20කට කොවිඩ්… නවයක් ගෙවල්වලටත් යවලා

128

සිස්ටම් එකේ දෝෂයක්ද කියල කියන්න බැහැ ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය මගින් කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට සඳහන් කරමින් ගාල්ල බන්ධනාගාරය වෙත යොමු කරනු ලැබූ රිමාන්ඞ් සිරකරුවන් 20 දෙනෙකුට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට පසුව දැනුම් දී ඇති බව ගාල්ල බන්ධනාගාරය පවසයි. කොවිඞ් වෛරසය ආසාදනය වී නොමැති බවට දැනුම්දීම නිසා ඇප නියම වූ රිමාන්ඞ් සිරකරුවන් 09 දෙනෙකු නිවෙස්වලට පිටත්කර යැවීමට ගාල්ල බන්ධනාගාරය මගින් කටයුතු කර ඇත.

එම රිමාන්ඞ් සිරකරුවන්ට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට බූස්ස බන්ධනාගාරය මගින් දැනුම් දී ඇත්තේ දිනකට පසුව බවද ගාල්ල බන්ධනාගාරය පවසයි. එම රිමාන්ඞ් සිරකරුවන් 09 දෙනා මේ වන විට සමාජ ගතවී ඇත. බූස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රිමාන්ඞ් සිරකරුවන් 38 දෙනෙකු නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා කොවිඞ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කරගෙන ගාල්ල බන්ධනාගාරය වෙත ඉකුත් 17 දින යොමු කොට ඇත.

18 වැනි දින බූස්ස බන්ධනාගාරය මගින් දැනුම් දී ඇත්තේ එසේ යොමු කරනු ලැබූ රිමාන්ඞ් සිරකරුවන් 20 දෙනෙකුට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවය. මින් 09 දෙනෙකු ඇපමත මුදාහැර ඇති අතර ඉතිරි 11 දෙනා අගුණුකොලපැලැස්ස

බන්ධනාගාරය වෙත යොමු කොට ඇත. බූස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රිමාන්ඞ් සිරකරුවන් 65 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කොට ඇත. එම සිරකරුවන් 65 දෙනාටම කොවිඞ් වෛරසය ආසාදනය වී නොමැති බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරය මගින් දැනුම් දුන් බව බූස්ස බන්ධනාගාරය පවසයි. පසු දින ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ඉන් 21 දෙනෙකුට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට දැනුම් දුන් බවද බූස්ස බන්ධනාගාරය පවසයි. මේ පිළිබඳව ගාල්ල දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කිවේය. ‘‘මටත් ඔය සිද්ධිය වාර්තා වෙලා තියෙනවා. බූස්ස බන්ධනාගාරය මගින් 15 වැනි දින තමයි රිමාන්ඞ් සිරකරුවන් 65 දෙනෙකුගේ පී.සී.ආර්. සාම්පල් කරාපිටිය රෝහලේ රසායනාගාරය වෙත යොමු කරලා තියෙන්නේ. 16 දින තමයි ප‍්‍රථිපල ලබාදිලා තියෙන්නේ. නමුත් මේ පිළිබද මා කරාපිටිය රෝහලේ රසායනාගාරයෙන් විමසීමක් කළා. එහෙම වෙන්න විදියක් නැහැ. 65 දෙනාගෙන් 21 දෙනෙකුට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට පරීක්ෂණවලදී තහවුරුවී ඇති බවට දැනුම් දුන්නා. පී.සී.ආර්. පරීක්ෂණ ප‍්‍රථිපල නිකුත් වන්නේ ඔන්ලයින් හරහා යම් සිස්ටම් එකකට අනුව. වෙනදා වගේ පී.සී.ආර්. ප‍්‍රථිපල ඊමේල් කරන්නේ නැහැ. සිස්ටම් එකේ විනාඩි 05 විතර අන්තර් වෙලාවක් තියෙනවා. ඒ කාලය තුළ සියලූ දෙනා නෙගටිව් කියා දමලා පසුව තමයි පොසිටිව් අයගේ නම් ගම් සහිතව විස්තර දමන්නේ. ඒ කාලය තුළ බූස්ස බන්ධනාගාරය මගින් මේ තොරතුරු බැලූවාද දන්නේ නැහැ. බූස්ස බන්ධනාගාර අධිකාරිතුමාට දැනුම් දුන්නා නෙගටිව් බවට ලබාගත් ප‍්‍රින්ට් එක්ක ලබාදෙන්න කියලා. සිස්ටම් එකේ දෝෂයක්ද කියලත් කියන්න බැහැ. එහෙත් ඔන්ලයින් මගින් 21 දෙනෙකු පොසිටිව් වී ඇති බව පෙන්වනවා’’ කෙසේ වුවද මේ වනවිට සමාජගත වී ඇති සිරකරුවන් 09 දෙනා පිළිබද තොරතුරු ඔවුන් පදිංචි සිටින අදාළ පොලිස් ස්ථාන වෙත දැනුම් දුන් බව ගාල්ල බන්ධනාගාරය පවසයි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment