මුවදොර අරගලයට මාසයයි…

204

● ලෝකයේ මුල්ම අරගල ග්‍රාමය….

● ඇත්තටම ගෝටාගෝ ගමට සල්ලි එන්නේ කොහෙන්ද?

● දීර්ඝ කාලයක් තිස්සේ කෙරෙන සාමකාමී උද්ඝෝෂණයක්

සැඳෑ හිරු එළිය සිය අවසන් රැස් දහර නිවා දැමීමට ආසන්නය. අරගලයේ ජීව ගුණයෙන් පිරි ගාලු මුවදොර සිට බලන කල දර්ශනය වන්නේ ඈත සිතිජය රන් පැහැයට හුරු මලානික ආලෝකයකින් වර්ණ ගැන්වී ඇති අයුරුය. දවසේ වෙහෙස නිවා ගැනීම පිණිස තවත් නොබෝ වේලාවකින් අඳුරට ඉඩ දෙන හිරු සයුරු දිය මත සැඟව යනු ඇත.

ඉනික්බිතව රෑ අඳුර පැමිණීමට නියමිතය. ආලෝක එළි දැල්වෙන්නේ එම අඳුර මැදය. පක්ෂ දේශපාලනය විසින් අඳුරුතම නිද්‍රාවකට පත් කර ඇති මවුබිමට අලුත් අරුණක් ගෙනෙනු අරමුණු කොට “නොනිදන අරගලයක” නිරත තරුණ පිරිස් රෑ වැඩ මුරය පිණිස සූදානම් වන ආකාරයක් දැකගත හැක. ඔවුහු කණ්ඩායම් වශයෙන් ද තනි තනිව ද අරගලය දියත් කොට ඇති
ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය අසලට සේන්දු වන ආකාරයක් දැකගත හැක. තවත් නොබෝ වේලාවක් ගත වීමත් සමග විරෝධතා භූමිය එකම මිනිස් පොකුරක් බවට පත්විය. පුළුල් පරමාර්ථයන් ගෙන් පොහොසත් ඔවුහු පටු ලාභ අපේක්ෂාවන් ගෙන් තොරව ඒ සඳහා සහභාගි වන ආකාරයක් දැකගත හැක. ජාති කුලමල ආගම් බේද ආදි කිසිවක් පටු බෙදීම් ආදියෙන් තොර ඔවුහු එකම අරමුණක් පතා සිතුවිලි පරම්පරාවක් ඒ සඳහා උත්තේජනය සපයමින් ඇත. එබැවින් ක්‍රියාත්මක වෙමින් පවතින ජනතා විරෝධය නිර්මාණාත්මක ය. දිනෙන් දින අලුත් වන නොනිදන අරගලය පිණිස අලුත් පැහැයක් අලුත් මුහුණුවරක් ලැබෙමින් පවතින්නේ එබැවින්ය. මේ වන විට ගෝඨා ගෝ ගම පදිංචි මෙරට තාරුණ්‍යය විසින් රටට අලුත් අලුත් බලාපොරොත්තු නිර්මාණය කරන ආකාරය දකින කල හැඟී යන කරුණක් බවට පත්වන්නේ පටු ලාභ අපේක්ෂාවන්ගෙන් තොර අලුත් පරම්පරාවක් විසින් රට වෙනත් දිශානතියක් කරා රැගෙන යෑම පිණිස අනවරත අරගලයක නිරතව සිටින බවක්ය.

ඒ සඳහා නම් කරන ලද නායකත්වයක් නැත. සියල්ල පොදුවේ ඇතිකරගත් සම්මුතියක් යටතේ ක්‍රියාත්මකය. නායකයන් යැයි කියාගත් ඇතැමුන්ගේ ප්‍රතිරූප තවදුරටත් අරගල බිමට වලංගු වන්නේද නැත. පුද්ගල ප්‍රතිරූප මල් වෙඩි සේ ඇති වී නැති වී යන්නේ එබැවින් විය යුතුය. විරෝධතා භූමියත් වරාය නගරයත් ආසන්නයේ පිහිටි පටු වෙරළ තීරයේ හැපී බිඳෙන සයුරු රළ පරයන තරමේ උස් හඬින් ඔවුහු ඉල්ලා සිටින්නේ ද ඔවුන්ගේ පොදු සටන් පාඨ බවට පත්ව ඇත්තේ ද රට හිඟමනට ඇද දැමූ පාලකයන් ගෙදර යා යුතු බවය. එවන් ජවසම්පන්න බවක් සහිතව දින සති මාස ගත කරමින් ඉදිරියට ඇදෙන ගාලු මුවදොර අරගලය මෙතෙක් මෙරට ක්‍රියාත්මක අරගල අතර අලුත් මාදිලියක් සහ නූතන මුහුණුවරක් ගත් එකක් බවට පත් වන්නේ ශිෂ්ටසම්පන්න මිනිසුන් විසින් මෙතෙක් කලක් ඉල්ලා සිටි අරගලය මේ වන විට මහ පොළොව මත ඇත්තක් බවට පත්ව ඇති බැවින්ය.

ඉකුත් අප්‍රේල් මස 8 වැනිදා ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල උපන් අරගලයට අද වන විට හරියටම මාසයක් සම්පූර්ණ වී ඇත. එය ජාතක කරන ලද්දේ මෙරට තාරුණ්‍යය විසින්ය. එබැවින් එහි සුජාතභාවය පිළිබඳව ගැටලුවක් නැත. තරුණ අරගලකරුවන් විසින් එයට නම් තබන ලද්දේ “නිර්පාක්ෂික අරගලය” යනුවෙන්ය. දේශපාලන වින්නඹුකම් වලින් තොරව උපන් අරගලයක් බැවින් ආරම්භයේ සිටම එහි පැහැය අවර්ණය. ඇතැම් කල්ලි කණ්ඩායම් විසින් එය වර්ණ ගැන්වීම පිණිස දරන ලද උත්සාහයන් අසාර්ථක වෙමින් ඇත. ගැටුමකින් තොරව එවැනි උත්සාහයන් ව්‍යර්ථ කිරීමට තරුණ අරගලකරුවන් සමත්කම් දක්වමින් ඇත. එබැවින් විරෝධතා භූමිය තුළ දකින්නට ලැබෙන ප්‍රවණතාවයන් අතර වැදගත්ම දෙයක් බවට පත් පත්වන්නේ පැන නගින යම් යම් අර්බුදයන් නඩත්තු කිරීම වෙනුවට ඒවා නිසි ලෙස කළමනාකරණයට ලක් කරමින් තරුණ අරගලකරුවන් තම ඉලක්කය කරා ගමන් කිරීමට උත්සාහ කරන ආකාරයක්ය. පුළුල් පරමාර්ථයන් පටු උවමනා එපාකම් ආදියෙන් යටපත් නොවී පවතින්නේ එබැවින් විය යුතුය. ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් මෙතෙක් වාර්තා නොවන්නේ එබැවින්ය. තරුණ අරගලකරුවන් ඒ හරහා අරගල භූමියට පමණක් නොව සමස්ත රටවැසියන් හට මහා පරමාදර්ශයක් සපයමින් ඇත.

මුවදොර අරගලයට මාසයයි…

අදට මාසයක් සම්පූර්ණ වන ගාලු මුවදොර විරෝධය වරෙක අරගලයක් ලෙස ද තවත් වරෙක කලාගාරයක්. දරුවන් මේ කරගන්න වෙන වෙලාවේ, අධ්‍යාපන මධ්‍යස්ථානයක්, සංවාද කේන්ද්‍රයක් ලෙසද වර නැගෙමින් ඇත. මතු පිටට නොපෙනෙන සංවිධාන ව්‍යුහයක් විසින් එය මෙහෙයවමින් පවතී. කණ්ඩායම් තුනකින් සමන්විත ඔවුන් පටු දේශපාලන රාමු තුළ සිරගත නොවූ සියදෙනකුගෙන් පමණ පිරිසකගෙන් සමන්විතය. ඉන් එක් කණ්ඩායමක් විසින් භූමිය කළමනාකරණය කරන අතර තවත් පිරිසක් පොදු සම්මුතින් ඔස්සේ ගනු ලබන තීන්දු තීරණ බාහිර සමාජය වෙත සම්ප්‍රේෂණය කිරීම පිණිස කටයුතු කරනු ලබයි. ඔවුන් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම, හුවමාරු කර ගැනීම පිණිස තාක්ෂණය භාවිතා කරනු ලබති. ඒ හරහා සන්නිවේදනය කරගන්නා කරුණු කාරණා ඔස්සේ ක්‍රියාත්මක වෙති. මේ වනවිට එහිම දිගුවක් ලෙස ගාල්ල මුහුදට අරගල භූමිය හා සම්බන්ධ ගෝඨාගෝ ගම්මාන 150ට අධික සංඛ්‍යාවක් රටපුරා ක්‍රියාත්මකව පවතී. විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඒ ඒ රටවල ද එවැනිම ආකෘති ඉදිකරමින් පවතී.

ඊට අමතරව ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක එම ගැඹුරු සංවිධාන ව්‍යුහයේ ප්‍රතිඵලයක් ලෙස විවිධ සේවාවන් රැසක් මේ වන විට එම ස්ථානයේ ක්‍රියාත්මකව පවතින අතර සංඛ්‍යාත්මකව ගත් කල 200ට ආසන්නය. ඒ අතරට මාධ්‍ය මධ්‍යස්ථානයක් හා පුස්තකාලය, මානව හිමිකම් කාර්යාලය, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය, රතු කුරුස කාර්යාලය, රූපවාහිනී මධ්‍යස්ථානය, ප්‍රදානයන් භාර ගැනීමේ මධ්‍යස්ථානය, විවෘත සංවාද මණ්ඩප ඇතුළු තවත් බොහෝ දේ ඇතුළත්ව ඇත. ලොව දියුණුම ජාතීන් සතු විනය හා ශික්ෂණය යටතේ ක්‍රියාත්මක “ගෝඨා ගෝ හෝම්” ගම විසින් මේ වන විට මෙතෙක් කලක් මෙරට ක්‍රියාත්මක දේශපාලනය මතු මහලින් මහපොළොවට බස්සවා ඇත.

ගෝඨාගෝගම පවත්වාගෙන යෑම පිණිස අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දේ පුද්ගලික වශයෙන් සහ ආයතනික මට්ටමින් අරගල භූමියට දිනපතා ලැබෙමින් ඇත. කොළඹ සහ ඒ අවට පදිංචි ඉහළ මධ්‍යම පාන්තික සමාජයේ සිට දුගී සමාජ ස්ථරය නියෝජනය කරන ජනතාව ස්වේච්ඡා සේවය පිණිස එහි යති එති. ඒ හැරුණු කොට රටේ සිවුදෙස නියෝජනය කරමින් එහි පැමිණෙන ජනතාව තම ආවේගයන් සංයමයෙන් යුතුව මුදාහරිමින් සිටිති. ඒ අතර කලාකරුවන්, විවිධ වෘත්තිකයන්, විශ්වවිද්‍යාල සිසුන්, ගොවියන්, ධීවරයන් ආදී සමාජයේ නොයෙක් ස්ථර නියෝජනය කරන පිරිස් වෙති. ඒ හැරුණුකොට අරගල භූමිය තුළ පිහිටි කුටි සහ ඒ තුළ සිදු වන්නේ කුමක්දැයි යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වෙනම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන අතර ඒ හේතුවෙන් අනවශ්‍ය මැදිහත්වීම් වෙනත් කඩාකප්පල්කාරී හැසිරීම් සහිත පුද්ගලයන් කණ්ඩායම් කල්තබා හඳුනා ගැනීමට ද තරුණ අරගලකරුවන් විසින් වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාවෙහි නංවති. ඔවුන් සහෝදරත්වය සහ ආදරය මනා ලෙස හසුරුවමින් එම කටයුත්තේ නිරතව සිටිති.

රට ඉල්ලා සිටින වෙනස සහ එහි මුහුණුවර කවර මාදිලියක් ගත යුතුද යන්න පිළිබඳව විරෝධතා භූමිය තුළින් මේ වන විට පමණටත් වඩා ආදර්ශ සපයමින් සිටිති. කසළ කළමනාකරණයේ සිට සියලු දේ සිදුවෙමින් පවතින්නේ ක්‍රමවේදයක් ඔස්සේ ය. ඒ සෑම දේකින්ම මතු පිටට පොළා පනින්නේ ශිෂ්ටත්වය පිළිබඳව මෙතෙක් කියවා ගත නොහැකි වූ අසිරිමත් කතාවක රූපරාමු පෙළක්ය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ජව සම්පන්න තාරුණ්‍යය විසින් තම අභිලාෂයන් කරා දිනෙන් දින ළඟා වන ආකාරයක් ද දැකගත හැක. අසීමිත මුදල් කන්දරාවක් වැය කරමින් නඩත්තු කරන ලද අමාත්‍ය මණ්ඩලයක් රට තුළ දැන් නැත. එබැවින් ආරක්ෂක අංශ පිරිවරා ගත් මහේශාක්‍ය මහජන නියෝජිතයන් පෙනෙන්නට වත් නැත. එපමණක් නොව තවත් සාධනීය කරුණු රාශියක් සැබෑවට එක්වීමේ පෙරනිමිති පහළ වෙමින් ඇත. මාසයක් තිස්සේ ක්‍රියාත්මක නොනවතින, නොනිදනා අරගලය දිනෙන් දින ඇත්ත මිනිසුන්ගේ අරගලයක් බවට පත් වෙමින් ඇත්තේ ඒ ආකාරයෙන් ය.

රුවන් ජයවර්ධන
ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment