මුව ආවරණය පළඳින්න කියූ නෙළුව පීඑච්අයිට පහරදීමට තැත් කළ පුද්ගලයා අත්අඩංගුවට

112

අවමංගල්‍යයක් පැවති නිවසක මුව ආවරණ නොමැතිව සිටියදී මුව ආවරණයක් පළඳින ලෙස උපදෙස් දුන් නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට පරුෂ වචනයෙන් බැණ වැදී පොල්ලකින් පහරදීමට තැත් කළ පුද්ගලයා පෙරේදා(13දා* රාත‍්‍රි නෙළුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙළුව මියනවතුර පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම සඳහා පසුගිය

09 වැනි දින බටහිර බටුවංගල ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ එම ප‍්‍රදේශයේ නිවසක අවමංගල උත්සවයක් පැවැත්වෙමින් තිබී ඇති අතර එම ස්ථානයේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවාද යන්න සොයා බැලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා ගොස් ඇත. එහිදී මුව ආවරණයක් නොමැතිව සිටි සැකකරුට මුව ආවරණයක් පළඳින ලෙස උපදෙස් දුන් අවස්ථාවේ ඔහු පරුෂ වචනයෙන් බැණ වැදී පොල්ලක් ගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාට පහරදීමට තැත් කර ඇති අතර ඒ අසල සිටි පුද්ගලයෙකු පොල්ල උදුරාගෙන විසි කර ඇත. පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා පොලිසියට පැමිණ සිද්ධිය පැමිණිලි කර තිබේ. සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment