මුහුදු කූඩැල්ලන් ඇතුළු මුහුදු ආහාර අපනයනයට නවීනතම පිරි සැකසුම් කර්මාන්ත ශාලාවක්

138

ශ්‍රී ලංකාවේ පමණක් නොව, දකුණු ආසියානු කලාපයේ ඉදි කළ නවීනතම මුහුදු ආහාර පිරි සැකසුම් කම්හල ඉකුත්දා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරු අතින් යාපනයේ අරාලි මාර්ගයේදී සුබ මොහොතින් වැඩ ආරම්භ කළේය.

සුගතසීලන් අරවින්දන් මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දරන “සුගන්ත් සී ෆුඩ් ප්‍රයිවට් ලිමිටඩ්” යටතේ ආරම්භ කරන ලද මෙම කම්හල විශේෂයෙන් මුහුදු කූඩැල්ලන් අපනයනය සඳහා කටයුතු කරන කර්මාන්ත ශාලාවක් බව එහිදී පැවති උත්සව සභාව අමතා අරවින්දන් මහතා ප්‍රකාශ කළේය. යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික් දෙකේ කාකතිව්, ඉරණතිව් හා නාච්චිකුඩා යන ප්‍රදේශවල “සුගන්තන් සී ෆාර්ම්” සමාගමට අයත් අක්කර 30ක පමණ මුහුදු ගොවිපළවලට අමතරව එම ප්‍රදේශවල පවුල් සම්බන්ධ කරගනිමින් හා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අවසරය හා මගපෙන්වීම යටතේ අක්කර 400 කට වැඩි භුමි ප්‍රමාණයක මේ වන විට ‘ධීවර ප්‍රජාවගේ ගොවිපළ’ (සී ෆාර්ම්) පිහිටුවා ඇති බව සුගන්තන් ඉන්ටර්නැෂනල්, සුගන්තන් සී ෆාර්ම් හා සුගන්තන් ඩයිවින් සෙන්ටර් යන සමාගම්හි කළමනාකාර අධ්‍යක්ෂ සුගතසීලන් අරවින්දන් මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

මුහුදු කූඩැල්ලන් ඇතුළු මුහුදු ආහාර අපනයනයට නවීනතම පිරි සැකසුම් කර්මාන්ත ශාලාවක්

මෙම අවස්ථාවට එක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේ සාමාන්‍ය නොවන, අසීරු කර්මාන්තයක් ඔස්සේ සියයට සියයක්ම රටට ඩොලර් ගෙන දෙන තරුණ ව්‍යාපාරිකයකු වන අරවින්දන් මහතාගේ මෙම කර්මාන්තයට තමන් උපරිම සහාය ලබාදෙන බවයි. මෙය ශ්‍රී ලංකාවේ නවීනතම හා එකම මුහුදු කූඩැල්ලන් පිරි සැකසුම් කම්හල බවත් මේ ඔස්සේ විශේෂයෙන්ම උතුරේ ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කරන අතරතුර රටේම ආර්ථිකය නගාසිටුවීමට හැකියාව ලැබෙන බැවින් මෙවන් කර්මාන්ත සඳහා දිරි දීමට තමන් පසුබට නොවන බවයි. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කියා සිටියේ දිවංගත සුගන්තසීලන් වන තම පියා විසින් ආරම්භ කරන ලද මෙම මුහුදු ආහාර අපනයනය කිරීමේ ව්‍යාපාරයට අරවින්දන් මහතා අලුත් පෙනුමක් හා අලුත් ශක්තියක් ලබාදී ඇති බවයි. රට ආර්ථික වශයෙන් පසුබා ඇති අවස්ථාවක මෙම මුහුදු ආහාර කර්මාන්තශාලාවෙන් උතුරට රැකියා අවස්ථා සහ රටට ඩොලර් ලැබෙන නිසා මෙම වැදගත් ව්‍යාපාරයට තම අමාත්‍යාංශයේ උපරිම සහයෝගය ඉදිරියටත් ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහිදී සුගන්ත් සී ෆුඩ් ෆැක්ටරි ප්‍රධානී සුබාෂ් හරන්, සුගන්ත් සී ෆාම් ප්‍රධානී එස්. මදන්, සුගන්ත් ඩයිවින් ප්‍රධානී සුධර්මන් මහත්වරුන් ඇතුළු සුගන්ත් සමූහ ව්‍යාපාර නිලධාරීන්ද අදහස් දැක්වූහ. මෙම අවස්ථාවට උතුරු පළාතේ පොලිස් ප්‍රධානීන්, නාවික හමුදා ප්‍රධානීන්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නියෝජිතයන්, ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු ධීවර හා මුහුදු සම්පත් පිළිබඳ අංශවල විද්වතුන් රැසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment