මුහුදු කූඩැල්ලන් වගාකර රටට ඩොලර් ගෙනෙන උතුරේ තරුණයා

545

මුහුදු ආහාර රට යවන්න වෙනමම කම්හලක්

රට ආර්ථික පරිහානියකට පත්ව තිබෙන මේ මොහොතේ රටට අත්‍යවශ්‍යම දේ ඩොලර් උපයා ගැනීමය. නමුත් ඒ ඩොලර් උපයාගැනීම “කෙසේ හෝ ඩොලර් උපයාගැනීමක්” නොවිය යුතු අතර, සාධාරණ, නීත්‍යනුකූල, පරිසර හිතකාමී, තිරසර ක්‍රමවේදයකට කරන ඩොලර් උපයා ගැනීමක්ම විය යුතුය.

එසේම පාරම්පරික හෝ සාම්ප්‍රදායක ක්‍රමයකට පණදී, අගය වැඩි නිෂ්පාදනයක් ලෙස යමක් රටට, ලෝකයට ලබාදී උපයාගන්නා ඩොලර් ඉල්ලමක් නම් එහි වටිනාකම තවත් ඉහළය. මේ කතාකරන්නට යන්නේ එවන් අපූරු කතාන්දරයක් පිළිබඳවය. නොහොත්, අපේම අපේ කෙනෙකු විසින් සිදුකරන සියයට සියයක්ම උපයන ඩොලර් ලංකාවට ගෙනෙන දුර්ලභ, අසාමාන්‍ය, ආකර්ෂණීය පාරම්පරික කර්මාන්තයක් පිළිබඳවය.

යාපනයේ ජීවත් වූ එක් ධෛර්යවන්ත මිනිසෙකු වූ එම්. සුගන්තශීලන් මුහුදු කූඩල්ලන් එකතුකර රටට විදේශ විනිමය ගෙන එන තරමක් දුර්ලභ ව්‍යාපාරයකට අතගසන්නේ 1976 තරම් ඈත අවධියකදීය. ඔහු විසින් එකතුකරන ලද මෙම මුහුදු ජීවීන් පාරම්පරික ක්‍රමවේදයට සකස්කර එකල ලබාදුන්නේ මේවා එකතුකරන්නට යාපනේ පිහිටුවා තිබුණු සමුපකාර සමිතිවලටය. මේ ආකාරයෙන් කලක් කරගෙන ගිය මෙම මුහුදු කූඩල්ලන් එකතුකිරීමේ ව්‍යාපාරයට ඉතා හොඳ කලක් උදාවූයේ 1981 දී පමණ මෙම මුහුදු ආහාර නිෂ්පාදන සඳහා එකල රජය ඍජුවම අපනයන අවස්ථාව උදාකරදීම නිසාය. ඒ ඔස්සේ ක්‍රමයෙන් දේශීය සන්නාමයක් ගොඩනගා ගත් සුගන්තසීලන් මහතා “සුගන්තන් ඉන්ටර්නැෂනල්” නම් සමාගම ස්ථාපිත කරමින් රටට විදෙස් විනිමය ගෙන ඒමේ වැදගත් කාර්යයක් ඉටුකළේය. එනමුත් අවාසනාවකට 1995 දී සුගන්තන්සීලන් මහතා දිවි ගමනට සමුදීමත් සමග සමස්ත ව්‍යාපාර කටයුතු ඔහුගේ පුත් සුගන්තසීලන් අරවින්දන් වෙත පැවරෙන්නේ ඔහු ජර්මනියේ උසස් අධ්‍යාපනය ලබමින් සිටියදීය. මේ අනුව 1996 දී පියාගේ ව්‍යාපාර කටයුතු තම අතට ගන්නා තරුණ අරවින්දන්, පියාගේ ව්‍යාපාර කටයුතු පුළුල් කරමින් මුහුදු කූඩල්ලන් (Sea Cucumber) ට අමතරව මත්ස්‍ය කොටස් හා තවත් මුහුදු ආහාර අපනයන සඳහා සමාගම හා එක්වන අතර, තම ව්‍යාපාරයට තාක්ෂණය හා නව දැනුම එකතුකරමින් ව්‍යාපාර නව්‍යකරණයටද කටයුතු කරනු ලබයි. එසේම, ලෝක ජෛව විවිධත්ව හා පාරිසරික දැනුම අනුව යමින් ඔහු කල්පනා කරන්නේ ස්වභාවික මුහුදු පරිසරයෙන් දිගින් දිගටම එකතුකරන මුහුදු ජීවීන් වෙනුවට ක්‍රමයෙන් තම ව්‍යාපාරය සඳහා අවශ්‍ය මුහුදු සම්පත් තමන්ගේ ආයෝජනය යටතේ වගාකර එකතුකරගැනීම සඳහාය. ඒ අනුව, 2000 වර්ෂයේදී ඔහු විසින් තම ප්‍රධාන අපනයන අමුද්‍රව්‍යය වන මුහුදු කූඩල්ලන් ගොවිපළ (Farm) ක් යාපනයේ ස්ථාපිත කරනු ලබයි.

මුහුදු කූඩැල්ලන් වගාකර රටට ඩොලර් ගෙනෙන උතුරේ තරුණයා

“මේ විදිහට මුහුදු කූඩල්ලන් ස්වභාවික පරිසරයෙන් එකතුකරගෙන ගියොත් මේ සම්පත අපට අහිමි වෙලා මගේ කර්මාන්තයත් වැහිලා යන්න පුළුවන් කියල මට තේරුණා. ඒ වගේම උතුරු මුහුදේ ජෛව විවිධත්වය නැති වීමටත් මේ එකතුකිරීම බලපානවා. මොකද මම විතරක් නෙමේ මේ කටයුත්ත කරන්නේ. තවත් අය මුහුදු කූඩල්ලන්, මුහුදු බෙල්ලන් එකතුකරනවා. අනෙක් පැත්තෙන් සම්පූර්ණයෙන්ම මුහුදු පතුල හූරලා (Bottom Trawling) කරන මුහුදු සම්පත් රැගෙන යාමක් ගැනත් අපි දන්නවානේ. ඒ නිසා මම තීන්දු කළා මුහුදු කූඩල්ලන් වගාකරලා අස්වැන්න ගන්න ෆාම් ක්‍රමය පටන් ගන්න ඕන කියල. ඒ අනුව තමයි මම Suganth Sea Farm සමාගම හදල මේ පිළිබඳ අධ්‍යාපනය ලත් කණ්ඩායමක් එක්ක පර්යේෂණ හා සංවර්ධන ඒකකයක් ඒ යටතේ පටන් ගත්තෙ” ඔහු කියන්නේ වැදගත් පාරිසරික කතාවකි. තරුණයකු ලෙස ඒ ගැන කල්පනා කිරීමම අතිශය වැදගත් කටයුත්තකි.

ඔහු ඒ ගැන ඉගෙන ගෙන ඇත්තේ ජර්මනිය වැනි රටවලදී ඔහු ලබාගත් අධ්‍යාපනයෙන් හා සහජයෙන්ම ලැබී ඇති සංවේදීතාවයෙන් බව ඔහුගේ කතාබහෙන් පැහැදිලි වේ. ඒ අනුව යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික් දෙකේ කාකතිව්, ඉරණතිව් හා නාච්චිකුඩා යන ප්‍රදේශවල මේ වන විට “සුගන්තන් සී ෆාර්ම්” සමාගමට අයත් අක්කර 30 ක පමණ මුහුදු ගොවිපළවලට අමතරව එම ප්‍රදේශවල පවුල් සම්බන්ධ කරගනිමින් හා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අවසරය හා මගපෙන්වීම යටතේ අක්කර 400 කට වැඩි භූමි ප්‍රමාණයක මේ වන විට “ප්‍රජාවගේ ගොවිපළ” (සී ෆාර්ම්) පිහිටුවා ඇති බව සුගන්තන් ඉන්ටර්නැෂනල්, සුගන්තන් සී ෆාර්ම් හා සුගන්තන් ඩ්‍රයිවින් සෙන්ටර් යන සමාගම්හි කළමනාකාර අධ්‍යක්ෂ සුගතසීලන් අරවින්දන් මහතා සහ එම සමාගම්හි සාමාන්‍යාධිකාරී ජී. රාජේන්ද්‍රන්, මහජන සම්බන්ධතා කළමනාකාර විශ්‍රාමික නාවික ලුතිනන් කමාන්ඩර් සුරංග මැදිවක, පර්යේෂණ සහ සංවර්ධන කළමනාකරු විරාජ් රත්නායක හා මෙහෙයුම් කළමනාකාර එන් රොබින් යන මහත්වරු පවසති. මෙම මාධ්‍ය හමුව පවත්වන ලද්දේ සුගන්තන් සී ෆාර්ම් සමාගම යටතේ එළැඹෙන දෙසැම්බර් 29 වැනිදා යාපනයේදී විවෘත කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම මුහුදු කූඩල්ලන් ඇතුළු මුහුදු ආහාර සැකසුම් කර්මාන්ත ශාලාව (Sea Cucumber Proccesing Factory) පිළිබඳව කරුණු කියන්නටය.

මුහුදු කූඩැල්ලන් වගාකර රටට ඩොලර් ගෙනෙන උතුරේ තරුණයා

“උතුරේද, දකුණේද, නැගෙනහිරද, බටහිරද කියල සලකන්නේ නැතිව රට වටා සිටින කිමිදුම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සහ ඔවුන්ට නිසි දැනුම, පුහුණුව ලබාදී නිවැරදිම දක්ෂ කිමිදුම්කරුවන් (ස්කුබා) බිහිකරන්නට හා ඔවුන්ට පහසුකම් ලබාදෙන්න පළමුව අපි කොළඹදී සුගන්තන් ඩයිවින් සෙන්ටර් ආයතනය මීට කලකට පෙර පටන් ගත්තා. මේ සඳහා නාරා ආයතනය, නාවික හමුදාව, සාගර විශ්වවිද්‍යාලය අප සමග අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. රට වටා සිටින 500 කට වැඩි වෘත්තීය කිමිදුම්කරුවන් පිරිසකට මේ මගින් නිසි පුහුණුවක් හා නවීන උපකරණ අපෙන් ලබාගන්න පුළුවන්. ඊට අමතරව තමයි අපි උතුරේ ධීවර පවුල් සඳහා ජීවන තත්ත්වය නංවන අලුත් වැඩක් පටන් ගත්තේ. ඒ කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රික්කවල පවුල් 400 ක් සංවිධානය කර, ඔවුන්ගේ ජීවන තත්ත්වයත් උසස් කර රටට ඩොලර් උපයාගන්නට මුහුදු කූඩල්ලන් වගාකරන වගා බිම් ස්ථාපනය කිරීම. එය දැනටමත් පටන්ගෙන තිබෙනවා. ඒ ලැබෙන අස්වනු ජාත්‍යන්තර ප්‍රමිතියට සැකසුම් කර රට සල්ලි හොයන්න අපනයනය කරන්න අපගේ කළමනාකාර අධ්‍යක්ෂ තුමාගේ සංකල්පයක් අනුව තමයි නව සැකසුම් කර්මාන්ත ශාලාව විවෘත වෙන්නෙ.

මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව, දකුණු ආසියානු කලාපයේම තත්ත්වයෙන් උසස් කර්මාන්ත ශාලාවක්. අනික සියයට සියයක්ම දේශීය අපේම සමාගමක් නිසා අපනයන ආදායම සියයට සියයක්ම ලංකාවට ගෙන එන මේ මොහොතේ රටට ඩොලර් වැඩි ප්‍රමාණයක් ගෙන එන වැදගත්ම කටයුත්තක්” යැයි සාමාන්‍යාධිකාරී ජී. රාජේන්ද්‍රන්, මහජන සම්බන්ධීකරණ කළමනාකරු විශ්‍රාමික නාවික ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් සුරංග මැදිවක, පර්යේෂණ සහ සංවර්ධන කළමනාකරු විරාජ් රත්නායක යන මහත්වරු පැවසූහ. “අපි තිරසාර සංවර්ධනය මත යමින් කර්මාන්ත ගැන හිතන කණ්ඩායමක්. අපේ කළමනාකාර අධ්‍යක්ෂ තුමා නිතරම අපට මේ බව කියනවා. මේ නිසා අපි දැන් අපේම කියල මුහුදු කූඩල්ලන් පැටවූ බෝකරන මධ්‍යස්ථානයක් (Hatchery) කාකතිව් ප්‍රදේශයේ කරගෙන යනවා. අවුරුද්දකට මෙයින් පැටව් මිලියනයක් හදනවා. කිලිනොච්චියේ තව එකක් ලබන වසරේ පටන් ගන්නවා. මේ දෙකෙන්ම පැටව් මිලියන 9 ක් අපට වාර්ෂිකව හදාගන්න පුළුවන්. ඒ පැටව් භාවිතයෙන් අක්කර 1 ක කූඩල්ලන් 4000 ක් වගාකරන්න පුළුවන්. ඒ අනුව අපි 2025 වන විට මුහුදු අක්කර දහස (1000) කට සරිලන පැටවුන් බෝකිරීම, මුහුදු කූඩල්ලන් වගාකිරීම හා අස්වනු සැකසුම සඳහා අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා.

අපේක්ෂිත අස්වැන්න මාසෙකට කිලෝග්‍රෑම් 10,000 ක්. වර්ෂයකට අපි කිලෝ ලක්ෂයක් සපුරාගන්නවා. අක්කරයකට රුපියල් මිලියනයක් ආයෝජනය කරලා අවුරුද්දකින් මිලියන 2.4 ක් ස්ථිරවම ගන්න පුළුවන්. මාසෙකට අනිවාර්ය රුපියල් ලක්ෂයක ආදායමක් පවුලකට ලැබෙනවා. වර්ෂ 2025 වන විට අපි අපේක්ෂා කරනවා රටට ඩොලර් මිලියන 25-30 ත් අතර වාර්ෂික ආදායමක් ගෙනල්ල දෙන්න. මේ මගින් ඍජු හා වක්‍ර රැකියා 1000 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. දැනටමත් මෙයින් අඩක් අපි නිර්මාණය කරලා ඉවරයි.

මේ කර්මාන්තය සියයට සියයක්ම අපනයන කරන කර්මාන්තයක්. මේක සුඛෝපභෝගී ආහාරයක්. වැඩි ඉල්ලුමක් තියන දෙයක්. ඉල්ලුම අනුව සැපයුම දෙන්න අපට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රමිතියක් තිබුණොත් අපේ වෙළෙඳ පොළ තවත් පුළුල් වෙනවා. දැනට යවන රටවල්වලට අමතරව තවත් රටවල් ගණනාවකට යවන්න ඇණවුම් එනවා. ඒ නිසා තමයි මම තීන්දු කළේ පාරම්පරික සැකසුම් ක්‍රමවේදය මිශ්‍ර කළ එහෙත් අලුත් තාක්ෂණය සමග සැකසුම් කර්මාන්ත ශාලාවක් පිහිටුවන්න. මේක ඊධෂ අනුමත ව්‍යාපෘතියක්. ඒ වගේම ධීවර අමාත්‍යාංශය, ධීවර දෙපාර්තමේන්තුව අනුමත ව්‍යාපෘතියක්. මේ සඳහා අපි මිලියන 200 ක් ආයෝජනය කළා. මේ මගින් ප්‍රමිතියෙන් ඉතා ඉහළ මුහුදු ආහාර ලෝකයට දෙන නිසා අපට සිලෝන් ටී වගේ “සිලෝන් සී කියුකම්බර්” කියන බ්‍රෑන්ඩ් එකක් මෙතන හදන්න පුළුවන්. ඒ වගේම මේ මුහුදු කලාපය තුළ සංචාරක නවාතැනක් සහිත ධීවර ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයක් ඇති කරන්නත් අපි කටයුතු කරගෙන යනවා” යැයි කළමනාකාර අධ්‍යක්ෂ අ මහතා අවසන් වශයෙන් පැවසීය.

සුමිත් සමුද්‍රජීව

advertistmentadvertistment
advertistmentadvertistment