මුහුදු ජීවින් මැරුණේ නැවේ ගින්න නිසාමයි…වැඩිම සතුන් ප‍්‍රමාණයක් මියගියේ රදවා තබාගන්න තැනක් නැති නිසයි

617

* වියත් මග කියන්නේ වාරකන් නිසා කියලයි
 
 * විනාශයේ තරම කවුරුත් දන්නේ නෑ

 
 
එම් වී එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ශ‍්‍රී ලංකා මුහුදේදී ගිනි ගෙන ගිලී ගොස් මාස දෙකකට ආසන්න වෙමින් පවතී. දැන් බොහෝ දෙනාට මෙමගින් ඇතිකරන ලද විනාශයද ක‍්‍රමයෙන් මතකයෙන් බැහැරව යමින් පවතී. නෞකාවේ සිද්ධියෙන් ශ‍්‍රී ලංකාවට (සාගරයට) ඇතිකරන ලද්දේ අසීමිත පාරිසරික විනාශයකි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන පරිදි නෞකාවෙන් සිදුවූ ප්ලාස්ටික් දූෂණයෙන් ගොඩබිමට පැමිණියේ 40% ක ප‍්‍රමාණයක් පමණි. එහි 60% කට සිදුවූ දෙයක් නැත. එනම්, දූෂිත ද්‍රව්‍ය දැ වී ගොස් හෝ තවමත් ඇත්තේ මුහුදු ගැබ තුළය. එහි පටවාගෙන පැමිණි බහලූම් 1486 ක් මේ වන විට ගිනිගෙන හෝ මුහුදුබත්වී ඇත. ඒ තුළ ඇසිඞ් වර්ග, රසායනික ද්‍රව්‍ය, බැර ලෝහ සහිත භාණ්ඩ වර්ග යනාදී වශයෙන් වර්ග 170 කට අධික භාණ්ඩ ලැයිස්තුවක් තිබුණු බවට හඳුනාගෙන ඇත. නැව ගිනිගන්නා මොහොතේ පටන් වෙරළට කාන්දු වුණේ එහි තිබූ ලක්ෂ – කෝටි ගණනක් වූ ප්ලාස්ටික් පෙලට්ස් ඇතුළු පාවෙන දේවල් පමණි. නමුත්, බහාලූම් ගණනාවක තිබුණු හා ගිනි ගැනීමට හේතුවුණු රසායනික ද්‍රව්‍ය බොහොමයක් හා ප‍්‍රමාණයෙන් තොග ගණනාවක් තවමත් ඇත්තේ මුහුදු පතුළේය. තවත් ප‍්‍රමාණයක් දැවී යන්නට ඇත. එසේම, රසායනිකවලින් සිදුවන මහා සමුදුරු දූෂණයේ ප‍්‍රතිඵල වෙනත් ආකාරයෙන් අපට දර්ශනය වන්නට හෝ දැනෙන්නට පටන්ගත්තේය. ඒ අන්කිසිවකින් හෝ නොව මෙම රසායනික දූෂණයට ඉතාම සංවේදී මුහුදු ජීවීන් සිය දහස් ගණනකගේ මියයෑම මගිනි.
 
 ඒ අතර ඇහැට පෙනෙන සතුන් හා ඇසට හරි හැටි ග‍්‍රහණය නොවන මුහුදු ප්ලවාංග (Plangton), කොරල් ජීවීන්, මුහුදු ඇල්ගී, මුහුදු තෘණ වර්ග (Sea Grass) යනාදී දහසකුත් ජීවීහු වෙති. මේ වන විට කොරල් පර හා මුහුදු තෘණ බිම්වලට සිදුව ඇත්තේ කුමන ආකාරයේ හානියක්ද යන්නවත් අප නොදන්නේ රසායනික දූෂණය මැද ඒ ගැන සොයන්නට කිමිදුම්කරුවන් ද සයුරට නොබසින බැවිනි. එනමුත් මේ රසායනික විනාශයේ ගොදුරක්ව මියයන කැස්බෑවන්, ඩොල්ෆින් හා තල්මසුන් ඇතුළු මත්ස්‍ය විශේෂ ගණනාවක සිරුරු තවමත් ඉඳහිට ගොඩගසමින් පවතින අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් නීතිපතිවරයා විසින් අධිකරණයට වාර්තා කර ඇති පරිදි ජුනි මස 30 වැනිදා වන විට කැස්බෑවන් 176 ක්, ඩොල්ෆින් මසුන් 20 ක් හා තල්මසුන් 4 දෙනකු මියගොස් ඇති බවට සිරුරු මගින් තහවුරු කර ඇත. නමුත් මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුවද මෙවන් සතුන්ගේ මියගිය සිරුරු වෙරළට ගොඩගැසීම වාර්තා වී ඇත. ඒ අනුව අඩුම තරමින් කැස්බෑවන් 200 කට වැඩි ප‍්‍රමාණයක් මියයන්නට ඇති බව රජයේ වන සත්ත්ව සංරක්ෂණ ආරංචි මාර්ග පවසයි. ඉතා දුර්ලභ කුරු මන්ද තල්මසෙකුගේ (Dwarf sperm Whale) සිරුරක්ද පානදුර වෙරළට ගොඩගසා තිබියදී හඳුනාගන්නා ලද්දේ අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පසුවය. ඒ අනුව මියගොස් ඇති තල්මසුන්ගේ ගණන 5 කි.
 
ship2නමුත් ප‍්‍රවීණ පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසන්නේ තම ගණනයට අනුව, කැස්බෑවන් 275 කට වැඩි ප‍්‍රමාණයක්, තල්මසුන් 6 ක්, ඩොල්ෆින් මසුන් 31 ක්, තල්මස් මෝරුන් (මුහුදේ වාසයකරන විශාලතම මත්ස්‍යයා) 1 කු මෙම නැවේ සිද්ධියෙන් මියගොස් ඇති බවයි.
 
 ඔහු කියන්නේ මෙවන් කතාවකි.
 
 ‘‘ඇත්තටම මේ සතුන් මැරුනේ කොහොම ද කියලා තවමත් කිසිදු නිවැරදි විද්‍යාත්මක මරණ පරීක්ෂණ වාර්තාවක් නැහැ. විද්‍යාව දන්නේ නැති අයට නම් එක එක හේතු තියෙනවා.
 
 නාලක ගොඩහේවා උන්නැහේ ප‍්‍රමුඛ ආණ්ඩුවේ වියත්තු නම් කිව්වේ වාරකන් නිසා මේ සත්තු මැරුණා කියල. ආශා ඞීවොස් මහත්මිය කියන්නේ මේවා ස්වභාවික මරණ වගේ කතාවක්. මේ උන්දෑලා හැර අනෙක් හැම කෙනෙක්ම දන්නවා නැවෙන් තමයි මේ මරණ සිදු වුණේ කියල. දැන් ඒක නීතිපති එකෙන් අධිකරණයටත් කියලා තියන දෙයක්.
 
එහෙත් නිවැරදි මරණ පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ ඇත්තටම මේ සත්තු මැරුණු ආකාරය දැන ගැනීමටයි. නැවෙන් සිදුවුණා කියන පොදු කරුණ අපි හැමෝම දන්නවා. නමුත් නිශ්චිතම හේතුව හා එය සිදුවෙන ආකාරය දැන ගැනීමයි වඩා වැදගත්. එය තවමත් සිදුවෙමින් තිබෙනවා නම් නතර කර ගන්න. විද්‍යාව කියන්නේ ඒකට. මේ ගැන මෙරට සිටින ප‍්‍රවීණ සාගර විද්‍යාඥයකු වන ප‍්‍රසන්න වීරක්කොඩි මහතාත් වැදගත් අදහස් කිහිපයක් මා සමග බෙදා ගත්තා. ඔහු පැහැදිලිව කියන්නෙත් එම කරුණ තමයි. තවමත් නිවැරදි මරණ පරීක්ෂණ නැති මේ සතුන් ගැන පාලකයන්ට තැකීමක් නැත්තේ ඇයි කියලා හිතෙන විටත් පුදුමයි…’ ඔහු පවසයි.
 
 

මෙසේ මියගිය කැස්බෑවන් කිහිප දෙනකු පිළිබඳව සමීප නිරීක්ෂණයක් කරන්නට තමන්ට අවස්ථාව ලැබුණු බවද, එහිදී තමන්ට හඳුනාගන්නට ලැබුණේ මෙම කැස්බෑවන්ට කිසිදු බාහිර තුවාලයක්, තැලීමක් වැනි උපද්‍රවයක් වූ බවට හඳුනාගත නොහැකි නමුත් පිලිස්සුණු ආකාරයක් පෙන්නුම් කරන බව මෙම කැස්බෑවන් මියයෑම පිළිබඳව කරුණු කියන ප‍්‍රකට කැස්බෑ විශේෂඥයකු වන කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ (TCP) අධ්‍යක්ෂ තුෂාන් කපුරුසිංහ මහතා සඳහන් කරයි. එසේම, කටින් හා ජම්බාලිය (ගුද හා ප‍්‍රජනක විවරය) තුළින් ලේ වැගිරීම සිදුව ඇති බව තමන් නිරීක්ෂණය කළ බවද ඔහු පවසයි. පිටකටුව පිළිස්සුණු හා හිස මෙන්ම, හිස සිට අවල්පත් දක්වා පිළිස්සුණු හා මස් දියව ගිය සතුන්ගේ සිරුරු තමන් අධ්‍යයනය කළ බවද කපුරුසිංහ මහතා පවසයි. එසේම, මුඛය ඇරගෙන ඉදිමී මියගිය සතුන් මේ අතර සිටින බවත් ඉන් පෙන්නුම් කරන්නේ විසක් ශරීරගත වූ ලක්ෂණ ඇති බව පවසන තුෂාන් කපුරුසිංහ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ හැකි ඉක්මණින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර වහාම මෙම සතුන් මියයන්නට හේතුව විද්‍යාත්මකව පැහැදිලි කරන්නට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කිරීම වැදගත් බවයි. එම දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද මරණ පරීක්ෂණවලදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවෙන කැස්බෑවන්ගේ (සහ ඩොල්ෆින්, තල්මසුන් ඇතුළු මසුන්ගේ) රස පරීක්ෂණ වාර්තාව ඉතා ඉක්මණින් ප‍්‍රසිද්ධ කළ යුතුව ඇති බව ඒ මහතාගේ ද අදහසයි. ඒ මියගිය මුහුදු ජීවීන්ගේ මරණවලට ඇත්ත හේතු දැනගැනීම සඳහාය.
 
 

ship3

කපුරුසිංහ මහතා කියන පරිදි, සාමාන්‍යයෙන් වාරකන් සමයේදී කැස්බෑවන් ගොඩගැසීම සිදුවන නමුත් මෙසේ අසාමාන්‍ය ලෙස මීට පෙර කිසි කලෙකත් කැස්බෑවන් මියගොස් ඇති බවක් ඔහු නිරීක්ෂණය වී නැත. එසේ වාරකන් සමයේදී මියගොස් වාර්තාවන කැස්බෑවන් සංඛ්‍යාවට වඩා තුන් – හතර ගුණයකටත් වැඩි කැස්බෑවන් ප‍්‍රමාණයක් මෙම නැව් අනතුරෙන් පසු මියගොස් ඇති බවට වාර්තාවී ඇති බවත් ඒ මගින් පැහැදිලි වන්නේ නැවේ තිබුණු විස රසායනිකයක් හා යම් පිළිස්සුම් කාරක මගින් මෙම මරණ සිදුවන බවද කපුරුසිංහ මහතා පැහැදිලි කළේය. කපුරුසිංහ මහතා දිවයින වටාම මුහුදු තීරයේ පරීක්ෂණ සිදුකරමින් දශක ගණනාවක සිටම කැස්බෑවන් පිළිබඳව විශේෂයෙන් සොයා බැලීම් සිදුකරන පර්යේෂකයකු වේ. එසේම, මුහුදු ඌරන් ඇතුළු මුහුදු ක්ෂීරපායින් පිළිබඳවද ඔහු කටයුතු කර ඇත්තෙකි.
 
 මේ අතර කැස්බෑවන් පිළිබඳව දශක කිහිපයක් තිස්සේ සිට පර්යේෂණ කටයුතු සිදුකරන තවත් ප‍්‍රකට කැස්බෑ විශේෂඥයකු වන ජීව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක මහතා පවසන්නේ මෙම නැව් අනතුර සිදුවන්නේ මෙරට මුහුදු තීරයේ කැස්බෑවන් බහුල ලෙස සංචරණය කරන කාලයක හා කලාපයක බවයි.
 
 ‘‘කැස්බෑවන්ගේ බිත්තර දමන ස්ථාන ගැන අපි 1996 සිට පර්යේෂණ සිදුකරනවා. මුලින්ම අපි බැලූවේ තංගල්ල රැකව මුහුදු තීරය ගැන. දෙවනුව කොස්ගොඩ වෙරළ ආදී වශයෙන්. මෙහිදී පැය 24 ම දවස් 365 ම අපි මේ ගැන සොයා බැලූවා. කොහොමහරි රැකව ට වසර පුරාම කැස්බෑවන් බිත්තර දාන්න එනවා. ජනවාරි පටන් ගත්තහම දිගටම එනවා. නමුත් අපි දැක්කේ අපේ‍්‍රල් – මැයි වගේ තමයි වැඩිපුරම කැස්බෑවන් එන්නේ කියල. ඒ කියන්නේ උපරිම ප‍්‍රමාණයක් එනවා. ඉන් පස්සේ ටික ටික අඩුවෙනවා. කොහොම හරි මේ නැව අනතුරට ලක්වෙන්නේ උපරිම කැස්බෑවන් ප‍්‍රමාණයක් ලංකාවට එන කාලයේ. ඉතා වැදගත්ම කරණය තමයි අපි සැටලයිට් තාක්ෂණය උපයෝගී කරගෙන 2006-2007 සිදුකළා වැදගත් පරීක්ෂණයක්. රැකව සිට ගල් කැස්බෑවන් 10 දෙනකුට සැටලයිට් ඩිවයිස් සම්බන්ධ කරල මුදාහැරියා. ඒ කැස්බෑවන් 10 දෙනාගෙන් 7 දෙනෙක්ම රැකව ඉඳන් බටහිර පැත්තට ඇවිල්ලා 2 ක් ගාල්ල පහුකරලා අන්දමන් දූපත් පැත්තට ගියා. අනිත් 5 දෙනා බටහිර වෙරළ දිගේම කොළඹත් පහුකරල උඩට ගිහින් පුත්තලම දක්වා ගිහින් එක් කෙනෙක් වමට හැරිලා කේරළ පැත්තට ගියා. අනෙක් 4 දෙනා තලෙයි මන්නාරම බොක්ක පැත්තට තමයි ගියේ. මේකෙන් කියන්න පුළුවන් ඒ කැස්බෑවන්ගෙන් සියයට පනහක්ම කොළඹ හරහා තමයි ගමන් ගන්නේ. ඒ කියන්නේ බිත්තර දැම්මට වුන් භෝජන කලාපයට යන්නේ මේ නැව අනතුරට ලක්වුණු ස්ථානය පසුකරගෙන. ඒ කියන්නේ එකක් තමයි වුන්ගේ ගමන් මාර්ගයේ තමයි මේ අනතුර වෙන්නේ. අනික උන් බිත්තර දාන උපරිම කාලය. ඉතින් කැස්බෑවන් මෙතරම් බහුල ලෙස මියයන්න හේතුව ඉතාම පැහැදිලියි.” ආචාර්ය ලලිත් ඒකනායක පවසයි.
 
 මේ අතර තුෂාන් කපුරුසිංහ මහතා පවසන්නේ සමාජ මාධ්‍ය මගින් පළකර තිබුණු ඇතැම් පින්තූර වෙන රටවල සිද්ධවුණු දේවල් කියලයි මම දැක්කේ. සමහර මත්සයන්ගේ පින්තූර අපේ රටේ ඒවා නෙමෙයි. ඒවගේ වැරදිත් මේ වෙලාවේ සිද්ධ වෙනවා. කොහොම හරි මේ නැවේ පරිසර විනාශය අපි තවම හරි හැටි අත්වින්දේ නෑ. කොරල්පර, මුහුදු තෘණ බිම් ගැන අපි තාම දන්නෙවත් නෑ. ඉස්සරහට තමයි මේ විනාශයේ තරම හරි හැටි දැනගන්න පුළුවන් වෙන්නේ” යැයි තුෂාන් කපුරුසිංහ මහතා පවසයි.
 
 

ship4

මෙසේ කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන් විශාල වශයෙන් මියයෑම වාර්තා වන්නේ ජුනි මස 16 දිනට යෙදී තිබුණු ලෝක සාගර කැස්බෑ දිනය සමරන මොහොතේ හා ජුනි මස 05 වැනිදාට යෙදී තිබුණු ලෝක පරිසර දිනය මෙන්ම ජුනි මස 08 දිනට යෙදී තිබුණු ලෝක සාගර දිනය සැමරුමට ලක්වන මොහොත්දී වීම අතිශය කනගාටුදායක සිද්ධියකි. ලෝකයම කැස්බෑවන් ඇතුළු සාගර සම්පත් සුරකින්නට කතා කරන කාලයක අපට සිදුව ඇත්තේ මියගිය කැස්බෑ සිරුරු, ඩොල්ෆින් සිරුරු බදාගෙන අඬන්නටය. සැබැවින්ම මේ අපට සිදුව ඇත්තේ අපි නොසිතූ විනාශයකට මුහුණ දෙන්නටය. ලෝකයට පරිසර සංරක්ෂණය ගැන ඔල්වරසන් දුන් අපිට අද සිදුව ඇත්තේ ලජ්ජාවෙන් මිරිකෙන්නටය. නැවේ විනාශය පිළිබඳව සොයා බලන්නට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නිරීක්ෂණ කණ්ඩායම මේ අතර නිවේදනය කරනු ලැබුවේ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකා අනතුර නිසා සිදුවූ සමුද්‍ර දූෂණය මෙතෙක් ලොව සිදුව ඇති ප‍්‍රභලම සමුද්‍ර දූෂණය බවයි. අඩුම තරමින් මේ ලජ්ජාවෙන් හා විපතෙන් ගැලවෙන්නට ඊට සරිලන වන්දියක් රටට ලබා ගන්නටවත් බලධාරීන් කටයුතු කළ යුතුයි.
 
 දැනටමත් නැව අයත් පාර්ශ්වයෙන් මෙරටට ලැබී ඇති සොච්චම් රක්ෂණ වන්දියක් ධීවරයන් අතර බෙදාගැනීම සඳහාද පවතින්නේ තරගයකි. කළුතර, කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කයේ ධීවරයන් අතර මෙම වන්දි මුදල් ගෙවීමට තීන්දුකර ඇති නමුත්, හලාවත (පුත්තලම) ධීවරයන් ඊට විරෝධතා දක්වන්නේ ඔවුන්ට මේ විපතින් සිදුවූ හානිය රජය නොසලකා ඇති බව කියමිනි.
 
 එසේම, හානියට පත් මුහුදු ජීවීන්ට යළිත් පණ දිය නොහැකි නමුත්, විනාශවූ පරිසර පද්ධති ප‍්‍රතිෂ්ඨාපනය සඳහා සැලකිය යුතු වන්දියක් රටට ලැබිය යුතුය. මේ අතර මෙවන් අනතුරකට මුහුණදී වෙරළට පැමිණ ජීවිතය යදින කැස්බෑවන්, තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් ගණනාවක් තවත් කෙටි කාලයක් හෝ රඳවාගෙන ප‍්‍රතිකාර කරන්නට හැකියාව තිබියදීත් ඔවුන් ඉක්මණින් මියගියේ ඔවුන් රඳවාගෙන ප‍්‍රතිකාර කරන්නට තරම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව වෙරළාසන්න (කලපු හෝ මෝය) රැඳවුම් මධ්‍යස්ථානයක් නොවූ නිසා බව මේ අතර නම හෙළිකිරීමට අකමැතිවූ වනජීවී නිලධාරීන් පිරිසක් කියා සිටියහ. මේ අඩුපාඩු සියල්ලක් ගැන මින් පසු තීන්දු තීරණ ගැනීමද බලධාරීන්ගේ වගකීමකි.

–  ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment