මුහුදු බැලීමට ළමා නිවාසයේ ලොරියෙන් කොළඹ පැමිණි සිසුහු සිව්දෙනා වෙනත් ළමා නිවාසවලට

163

සතිපතා පරිවාස කාර්යාලයට වාර්තාවක් ලබාදෙන්නැයි මහෙස්ත්‍රාත්ගෙන් නියෝග

නුවරඑළිය පේන්ටර් ළමා නිවාසය සතු ලොරි රථයකින් කිසිවෙකුටත් නොකියා මුහුද බැලීමට කොළඹ පැමිණෙමින් සිටිය දී නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පාසල් ළමුන් සිව්දෙනා මාස තුනක කාලයක් රජයේ ආධාර ලබන වෙනත් ළමා නිවාසයක රඳවා සතිපතා පරිවාස කාර්යාලයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත් තිලිණ මහේන් පීරිස් මහතා විසින් (13) නියෝග කර ඇත. ඊට පසු නැවතත් මාස තුනකට පසු නැවත පේන්ටර් ළමා නිවාසයට එම ළමුන් ඇතුල් කරගන්නා ලෙසත් නියෝග කෙරිණි.

සිද්ධිය සම්බන්ධව 12 දින නුවරඑළිය පොලිස්ථානය වෙත පේන්ටර් අනුස්මරණ ළමා නිවාසයේ ළමා සංවර්ධන නිලධාරින් විසින් ලද පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිසියේ නිලධාරින් ඒ බව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත දැනුම් තිබු බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි.

ලොරි රථය ධාවනය කළ සිසුවා නිට්ටඹුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර පලා යමින් සිටියදී නිට්ටඹුව පොලිසිය විසින් ළමුන් සිව්දෙනා සහ ලොරි රථය අත්අඩංගුවට ගෙන නුවරඑළිය පොලිසිය වෙත දැනුම් දී ඇත.

ළමුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී ළමුන් පොලිසිය වෙත සඳහන් කර ඇත්තේ මුහුද බැලීමට යෑම සඳහා මෙලෙස කිසිවෙකුටත් නොකියා ළමා නිවාස භාරයේ තිබු ලොරි රථය රැගෙන ආ බවයි.

එම ලොරි රථය ධාවනය කළ රැඳවුම් භාරයේ සිටි සිසුවාට රියැදුරු බලපත්‍ර නොමැතිව ලොරි රථය ධාවනය කර ඇති බවට නිට්ටඹුව පොලිසිය විසින් කරන ලද විමර්ශනයේ දී කරුණු අනාවරණය වී ඇත.

පාසල් සිසුන් සිව්දෙනා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිපත් කිරීමෙන් අනතුරුව වයස 14ක් වන ලොරි රථය පැදවූ ත්‍යාගරාජා සදුර්ශන් සිසුවා ගම්පොළ පිහිටි ළමා නිවාසයකටද , අවුරුදු 11ක් වන තංගරාජා ගුණාල්, රාජමාණික්කම් යුවේන්ද්‍රන් සහ අවුරුදු 10 ක් වන සිවගුරු උෂාන් යන සිසුන් තිදෙනා නුවරඑළිය කළුකැලේ පිහිටි ඩැනියල් ළමා නිවාසයට මාස තුනක කාලයක් යොමුකර තිබේ. සෑම සතියකට වරක්ම පරිවාස කාර්යාලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මාස තුනකට පසු නැවත සිසුවන් තිදෙනා පේන්ටර් අනුස්මරණ ළමා නිවස වෙතට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment