බලපත්‍රය දුන්නාට භූමිතෙල් නැහැ
ඉන්ධන අර්බුදය හේතුවෙන් දැනට මාස දෙකක පමණ කාලයක සිට භූමිතෙල් නොලැබීම නිසා ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි එක්දින යාත්‍රා 25,500ක් පමණ මුහුදු රක්ෂාවේ යෑමට නොහැකිව වෙරළ තීරයේ ගාල්කොට ඇති බැව් එක්සත් ධීවර හා ධීවර කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්. විජේන්ද්‍රන් මහතා පවසයි.
මෙම තත්ත්වය නිසා දැනට මාස දෙකක පමණ කාලයක සිට සෘජුව හා වක්‍රව සුළුපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ලක්ෂ තුනකට අධික ධීවර ප්‍රජාවගේ ආදායම් මාර්ග අහිමිවී ඇති බවද හෙතෙම පවසයි. අදායම් මාර්ගය අහිමිවීම නිසා දරුපවුල් පවා නඩත්තු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද සුළුපන්න ධීවරයන් පෙන්වා දෙති.
එම්. විජේන්ද්‍රන් මහතා මෙසේද කීවේය. අපිට ධීවර දෙපාර්තමේන්තුව මගින් දිනකට භූමිතෙල් ලීටර් 50ක් හා සතියකට පෙට්‍රල් ලීටර් 05ක් සඳහා බලපත්‍රයක් දීලා තියෙනවා. බලපත්‍රය දුන්නාට භූමිතෙල් නැහැ. දැනට මාස දෙකක පමණ කාලයක සිට මුහුදු රක්ෂාවේ ගියේ නැහැ. ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තියෙනවා පිටත සවිකරන එන්ජින් බෝට්ටු නැතහොත් එක්දින යාත්‍රා 25,500ක් පමණ මේ බෝට්ටු සියල්ල වෙරළ තීරයන්වල ගොඩ ඇදලා තියෙනවා. මුහුදු යන්න භූමිතෙල් නැහැ. ගොවියාට පොහොර ටික දෙනවා වගේ සුළු පන්න ධීවරයාට භූමිතෙල් ටික ලබාදිය යුතුයි. රජයෙන් අපිට ශතපහක් දීලා නැහැ. දැල් අම්පන්න බෝට්ටු සියල්ල අපේ. සුළුපන්න ධීවරයන් අල්ලනු ලබන මත්ස්‍ය වර්ග 118ක් පමණ අපනයනය කරනවා. මේ තුළින් රටට ඩොලර් තමයි ලැබෙන්නේ. අපි කියන්නේ බොරතෙල් නැවක් හරි භූමිතෙල් නැවක් හරි ගෙනවිත් මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න කියලා. තෙල්
සංස්ථාවේ භූම්තෙල් නැතිව බලපත්‍ර දීලා වැඩක් නැති බවද එස්. විජේන්ද්‍රන් මහතා කීවේය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල