මුහුදේ නැවක් තියෙනවා : ගන්න ඩොලර් නෑ – ඉරිදා වෙනකම් ඉවසන්න

142

ඇමැති කංචන ජනතාවගෙන් ඉල්ලයි

ඇමැති කංචන ජනතාවගෙන් ඉල්ලයි


පෙට්‍රල් සහ ගෑස් ලබා ගැනීමට පෝලිම්වල රැඳී නොසිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

පවතින පෙට්‍රල් හිඟය නිමා වීමට ලබන සෙනසුරාදා සහ ඉරිදා තෙක් සිටීමට සිදුවන බවත් පෙට්‍රල් ලබා ගැනීමට ඉදිරි දින දෙකේ පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය. ඩොලර් හිඟය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් එහෙත් මේ වන විට ඔටෝ සහ සුපිරි යන ඩීසල් වර්ග දෙකම අඛණ්ඩව ලබා දීමට කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා කීවේය. එහිදී ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.

අගමැතිතුමාත් රටේ ඉන්ධන පිළිබඳ අභියෝගාත්මක තත්ත්වය පැහැදිලි කළා. සුපිරි සහ ඔටෝ යන ඩීසල් වර්ග දෙකම මේ වනවිට ප්‍රමාණවත් පරිදි ඉන්ධන හල් 1190ක් වෙත යවා තිබෙනවා. ඩීසල් අඛණ්ඩවම ලබා දීමටත් කටයුතු කරනවා. නමුත් පෙට්‍රල් පිළිබඳ ගැටලුවක් තිබෙනවා. පෙට්‍රල් නැවක් අපේ මුහුදු සීමාවේ තිබෙනවා. නමුත් අපට ඒ සඳහා ගෙවන්න ඩොලර් නෑ. ඒ නැවට මීට පෙර ලබා දිය යුතු ඩොලර් මිලියන 53ක මුදලකුත් තිබෙනවා. ඒ නිසා ඒ මුදලත් අපට ගෙවන්න වෙනවා. අපි බලාපොරොත්තු වනවා අද හෝ හෙට ඒ නැව නිදහස් කරගන්න හැකි වේවි කියා. ඒත් පෙට්‍රල් ගන්න මේ දින දෙකේ පෝලිම්වල ඉන්න එපා. මේ හිඟය මග ඇරෙන්න අපට දවස් තුනක්වත් යනවා. ලබන සෙනසුරාදා හෝ ඉරිදාවත් වේවි පෙට්‍රල් හිඟය මග ඇරෙන්න. ඉන්ධන ලබා ගැනීම සඳහා විවිධ යෝජනා ලැබිලා තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්න තිබෙන ප්‍රශ්නය තමයි ඩොලර් නොමැතිවීම.

ඉන්ධන එකතු කරන්න එපා. එකතු කරගෙන වැඩි මිලටත් විකුණනවා කියලා දන්නවා. මේක කරන්න අමාරු කටයුත්තක් අපට සහයෝගය දෙන්න.

ගෑස් නැව් දෙකකට මුදල් ගෙවලා අවසන්. ඒත් මුහුදේ තිබෙන තත්ත්වය මත ඒ තොග ගොඩබාන්න බැරිවෙලා. අද ගෑස් නිකුත් කරන්න වෙන්නේ නෑ. ඒ නිසා ගෑස් ගන්නත් පෝලිම්වල ඉන්න එපා කියලා ඉල්ලනවා. අපට දැනට වාර්තාවෙලා තිබෙනවා හිස් ගෑස් සිලින්ඩර ලක්ෂ 04ක් පමණ තිබෙනවා කියලා. නමුත් ලිට්‍රෝ සමාගමට දිනකට සිලින්ඩර 80000 යි පුරවන්න පුළුවන්. ඒ නිසා තව දවස් 20ක් වත් යනවා ඒ හිඟය මගඇරෙන්න.

නමුත් භූමිතෙල් සඳහා ගැටලුවක් නෑ. අපි අඛණ්ඩවම දෙනවා. ඒත් භූමිතෙල් ලීටරයක් ආනයනය කරන්න රුපියල් 350 කට වැඩි මුදලක් වැයවෙනවා. නමුත් අපි ලීටරය දෙන්නේ 87කට. භූමිතෙල් මිල අපි වැඩි කරන්නේ නැතුව ගෙනියන විට අද පෞද්ගලික බස් භූමිතෙල් දාලා තමයි දුවන්නේ. භූමිතෙල් අවභාවිත වෙනවා. මේ නිසා ධීවරයන්ට, අඩු ආදායම්ලාභීන්ට අසාධාරණයක් වෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment