මුහුදේ බස් ගිල්වනවාට ඉන්දියාව එරෙහි වන්නේ මත්ස්‍ය සම්පත කොල්ලකෑමටයි

267

ශ‍්‍රී ලංකාවේ ධීවර කටයුතු නංවාලීම සඳහා අනුගමනය කරනු ලබන ක‍්‍රියා මාර්ගයන්ට ඉන්දියාව ඇතුලූ බොහෝ දෙනකු විරුද්ධ වූවත් තමන් ධීවර අමාත්‍යවරයා වශයෙන් මේ රටේ ධීවරයාගේ යහපත වෙනුවෙන් ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන සෑම ක‍්‍රමවේදයක්ම අනුගමනය කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා යාපනයේදී පැවසීය.
 
 යාපනයේ පිහිටි ඊ.පී.ඞී.පී. ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ ධීවර අමාත්‍යවරයා මෙසේද පැවසීය.
 
 ‘‘අපි මේ රටේ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ගත හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම අනුගමනය කරනවා. චීනය, පිලිපීනය වැනි රටවල් තම සාගර ප‍්‍රදේශවල මත්ස්‍ය සම්පත වැඩි කරගැනීම සඳහා නොයෙක් තාක්ෂණික ක‍්‍රම අනුගමනය කරනවා. යුරෝපය ඇතුළු රටවල් 40 කට වැඩි සංඛ්‍යාවක් ඉතාම සාර්ථකව මේ පැරණි බස්රථ මුහුදේ ගිල්වීම තුළින් විශාල මත්ස්‍ය අස්වැන්නක් ලබා ගන්නවා.
 
 ‘‘මම නාවික හමුදාවේ සහාය ඇතිව පැරැණි බස්රථ උතුරු ගැඹුරු මුහුදේ ගිල්වන ලද්දේද මේ අරමුණ සාර්ථක කර ගැනීමටයි. මේ වැඩපිළිවෙල මෙතැනින් නතර වෙන්නේ නෑ. අපි දැන් උත්සාහ කරන්නේ පැරැණි දුම්රිය මැදිරිත් මහා සාගරයේ ගිල්වා මසුන් බෝවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමටයි.
 
 ඉන්දියාවත් මේ ක‍්‍රියාවම සිදු කරනවා. නමුත් උතුරු මුහුදේ මේ නව වැඩපිළිවෙලවල් ක‍්‍රියාත්මක කරන කොට ඉන්දියාව විරුද්ධ වෙනවා. මේකට ප‍්‍රධානතම හේතුව වන්නේ ඉන්දියාවේ ධීවරයන්ට උතුරු මුහුදු කලාපයේ වර්ධනය වන මත්ස්‍යයන් කොල්ලකෑමට අවස්ථාවක් නොලැබෙන නිසයි. නමුත් අපි මේ වසර ඇතුළත ඉන්දීය ධීවරයන්ගෙන් ශ‍්‍රී ලංකාවේ ධීවරයන්ට සිදුවන හිරිහැර අවම කොට ඔවුන්ගේ පැමිණීම නතර කිරීමට ගන්නා පියවර කිසිසේත්ම නතර කරන්නේ නෑ’’ යනුවෙන්ද ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී වැඩිදුරටත් කියා සිටියේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment