‘මුළු රටම හරි මඟට’ පොහොට්ටුවට එල්ල කරන අභියෝගය යථාර්ථයක් ද?

468

මාර්තු 2 දින සවස ‘මුළු රටම හරි මඟට’ ජාතික ප‍්‍රකාශනය එළිදැක්වූ අවස්ථාවේ වීරවංශ අමාත්‍යවරයා චෝදනා කළේ කබ්රාල්ට මහා බැංකුවේ අධිපති ලෙස පත්වීම ලැබූ පසු (2021 සැප්තැම්බර් 15,) මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මුණගැසීමට අවස්ථාවක් ලබා නොදුන් බවයි. ඒ චෝදනාව කිරීමට පැය තුනකට පමණ පෙර බැසිල් රාජපක්ෂ සහ කබ්රාල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවකට සහභාගිවිය. ඒ වර්තමාන ඩොලර් අර්බුදය හේතුවෙන් තෙල් සැපයුම අඩපණවී සමස්ත ආර්ථිකයම පන අදින තත්ත්වයකට පත්වීමට විසඳුම් සෙවීමටය. කැබිනට් මණ්ඩලය තම වගකීම නිසි ලෙස ඉටු නොකළ බවට චෝදනා කළ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලද ඒ අතර විය. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැදගත් කරුණු දෙකක් විය. පොහොට්ටු ආණ්ඩුව ජනතාවට පොරොන්දු දෙකක් දුන්නේය. මාර්තු 3 වන දින තෙල් සැපයුම යථා තත්ත්වයට පත් කරන බවත් මාර්තු 5 දින සිට විදුලි කප්පාදුවක් නොකරන බවත්ය.

නීතිපති සංජය රාජරත්නම් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ සාමුහික වගකීම සහ වගවීම පිළිබඳව මෑතකදී කළ ප‍්‍රකාශය මහත් ආන්දෝලනාත්මකය. කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර ගත් තීන්දුවකට එරෙහි වීමට අමාත්‍යවරයකුට නොහැකිය. නමුත් යම් අමාත්‍යවරයකු එවැනි තීන්දුවකට එරෙහි වන්නේනම් ඔහු හෝ ඇය කළ යුත්තේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වීමයි. නීතිපතිවරයා මෙම ප‍්‍රකාශය අගවිනිසුරු ජයන්ත ජයසූරිය (හිටපු නීතිපතිවරයකු) ඇතුළු පස් දෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ප‍්‍රකාශ කළේ රජය සතු යුගදනවි තාප බලාගාරයේ කොටස් 40% ඇමෙරිකාවේ නිව් ෆොර්ට‍්‍රස් එන්ර්ජි සමාගමට 2021 සැප්තැම්බර් 17 දින විකුණා දැමීමට අත්සන් කළ ගිවිසුමට එරෙහිව පාර්ශ්ව කිහිපයක් පැවරූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය. ඒ පෙබරවාරි 22 දිනය.

නීතිපතිවරයා රජයේ නීතිඥයා ලෙස කටයුතු කරයි. එතුමා පෙබරවාරි 22 දින රටේ ඉහළම උසාවියේ දී කැබිනට් අමාත්‍යවරයකුගේ වගකීම සම්බන්ධයෙන් උපදෙස් දෙනු ලැබුවේ වාසුදේව නානායක්කාර (ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ), විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ) සහ නීතිඥ උදය ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය) මහජන නියෝජිතයන්ටය.

එම ඇමැතිවරුන් තිදෙනාම නීතිපතිවරයාගේ අවවාදය ඉවත දමා ඇත. යුගදනවි ගිවිසුමට එරෙහිව එම ඇමැතිවරුන් ගත් නීතිමය සහ දේශපාලනමය ක‍්‍රියාමාර්ග හකුලා ගැනීමට ඔවුන් සූදානම් නැත. යුගදනවි ගිවිසුමට එරෙහිව වාසු – විමල් – උදය අමාත්‍යවරුන්ගේ නායකත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් මාසයේ රජයට එරෙහිව ගත් ක‍්‍රියාමාර්ගය තවදුරටත් පුළුල් කර ඇත. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වය ඉලක්ක කර ගනිමින් මෙහෙයුම වේගවත් කර ඇත. නීතිපතිවරයාගේ උපදෙස් නොතකමින් මාර්තු 2 දින ‘මුළු රටම හරි මඟට‘ ජාතික ප‍්‍රකාශනය ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාර්ක් හෝටලයේ දී ජනතාවට ඉදිරිපත් කර ඇත.

එම ප‍්‍රකාශනය අනුව රටට අහිතකර යුගදනවි ගිවිසුම පිළිබඳව නැවත රජය සලකා බැලිය යුතුය. වාසු – විමල් – උදය නියෝජනය කරන පක්ෂ තුනට වර්තමාන පාර්ලිමේන්තුවේ ආසන අටක් ඇත. එම පක්ෂ තුනට අමතරව රජයේ පාර්ශ්වකරුවන් වන ලංකා සමසමාජ පක්ෂය (ආසන 1), ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ආසන 14), ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය (ආසන 1), ජාතික කොංග‍්‍රසය (ආසන 1), ශ‍්‍රී ලංකා මහජන පක්ෂය (ආසන 1), එක්සත් මහජන පක්ෂය (ආසන 1) සහ යුතුකම ජාතික සංවිධානය (ආසන 2) ‘මුළු රටම හරි මඟට’ ජාතික ප‍්‍රකාශනය සමඟ එකතු වී ඇත. අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි ද මෙම කණ්ඩායමට එකතු වී ඇත. ඒ විජය ධරණී ජාතික සභාව නියෝජනය කරමිනි.

නීතිපති රාජරත්නම් පෙබරවාරි 22 දින රටේ ඉහළම උසාවියේදී දුන් අවවාදය හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන නායකත්වය දෙන ශ‍්‍රීලනිපයට ද අදාළය. එම පක්ෂයට කැබිනට් අමාත්‍යධුර දෙකක් හිමි වී ඇත. නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ශ‍්‍රීලනිපය කැබිනට් මණ්ඩලය නියෝජනය කරයි. නීතිපතිවරයා පෙන්වා දෙන පරිදි කැබිනට් අමාත්‍යවරුන්ට කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට එරෙහි විය නොහැකි නම්, එම තත්ත්වය නිසැකවම කැබිනට් මණ්ඩලය නියෝජනය කරන පක්ෂවලට ද අදාළය. නමුත් පොහොට්ටු අර්බුදය ඔඩුදුවා ඇත. පොහොට්ටුව නියෝජනය කරන සිරිසේන මන්ත‍්‍රීවරයා ‘මුළු රටම හරි මඟට’ ජාතික ප‍්‍රකාශනය එළිදැක්වීමට සහභාගි විය. සභාව අමතා කතාවක් කළේය. එම ප‍්‍රකාශනය මහා සංඝරත්නයට පිළිගැන්වීමද එතුමාගේ නායකත්වයෙන් සිදුවිය.

වාසු – විමල් – උදය මන්ත‍්‍රීවරුන් මෙන්ම හිටපු ජනාධිපති සිරිසේන ද නීතිපති අවවාදය නොසලකා හැර ඇත. ඇත්ත වශයෙන්ම කැබිනට් මණ්ඩලය ගත් යම් තීරණයකට යම් ඇමැතිවරයකු හෝ ඇමැතිවරුන් විරුද්ධ නම් ඔවුන් කළ යුත්තේ ඇමැති මණ්ඩලයෙන් ඉවත් වීම බව මුලින්ම පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාය. ඒ මාධ්‍ය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය නොවැම්බරයේදී පැවති හමුවකදීය. එම උපදෙස කැරළිකාර කණ්ඩායම පිළිගත්තේ නැත. පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ ප‍්‍රබල විකල්ප කණ්ඩායමක් බිහිවී ඇත. ඒ යුගදනවි ගිවිසුමට එරෙහි වූ කණ්ඩායමයි. එම කණ්ඩායම පොහොට්ටු නායකත්වයට මෙන්ම සමගි ජන බලවේගයට සහ නැගීඑන ජවිපෙට ද තර්ජනයකි.

ජනාධිපතිවරයා විකල්ප කණ්ඩායමේ යෝජනාවලිය පැය 24 යෑමට පෙර සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළේය. ඒ වීරවංශ සහ ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් පහ කරමිනි. නමුත් සමස්ත විකල්ප මෙහෙයුමේ ආරම්භයේ සිට ඊට සහභාගි වූ වාසුදේව නානායක්කාරගේ අමාත්‍ය පට්ටම ගලවූයේ නැත. වීරවංශගේ අමාත්‍යාංශය කලකට පෙර ප‍්‍රබල අමාත්‍යවරයෙකු වූ එස්. බී. දිසානායකට ලැබිණි. දෙදෙනකුගේ අමාත්‍යධුර ගැලවී ඇත. අර්බුදය විසඳී නැත. තත්ත්වය වඩාත් ව්‍යාකූල වී ඇත.

‘මුළු රටම හරි මඟට’ ජාතික ප‍්‍රකාශනය අවධාරණය කරන්නේ වර්තමාන රජය ගමන් කරන්නේ වැරදි පාරක බවයි. විකල්ප කණ්ඩායම මැති ඇමැතිවරු 28 දෙනකුගෙන් සමන්විතය. ජාතික ප‍්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයට රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක ද සහභාගි විය. නැසීගිය හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක ගේ පුත‍්‍රයා වන විදුර මෙම අතිශය දේශපාලන කටයුත්තට උර දුන්නේ ඇයි ? විකල්ප කණ්ඩායම පසුගිය මාස හතර තුළ ජනතාව ඉදිරියේ තබා ඇති කරුණු කාරණා බරපතළය. එවැනි තත්ත්වයක් යටතේ වික‍්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා ‘මුළු රටම හරි මඟට’ ජාතික ප‍්‍රකාශනය එළිදැක්වීමට සහභාගි වීම ආණ්ඩුවට අනතුරු ඇඟවීමකි.

විශේෂයෙන්ම සුසිල් පේ‍්‍රමජයන්ත දෙල්කඳ පොළේදී ආණ්ඩුව විවේචනය කිරීම නිසා තම රාජ්‍ය අමාත්‍යධුරය අහිමි කර ගත්තේය. ඒ පසුගිය ජනවාරි මුල් සතියේදීය. මෑතකදී සමස්ත කැබිනට් මණ්ඩලයම අසාර්ථක වී ඇති බව වික‍්‍රමනායක ප‍්‍රකාශ කළේය. නීතිපතිවරයාගේ තර්කය අනුව කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් ඊට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගත නොහැක. එසේනම්, පොහොට්ටුවේ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන පුද්ගලයකුට හෝ පුද්ගලයන් කණ්ඩායමකට එම පක්ෂය ගනු ලබන තීන්දු තීරණවලට එරෙහි විය හැකිද? පොහොට්ටුවේ සභාපති සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පවසන පරිදි ‘ගෙදර ගිනි, පිටතට ගෙනගිය හැකිද’?

පොහොට්ටු පක්ෂය තුළ නිසියාකාර සාකච්ඡාවක් සිදුවූවා නම් යුගදනවි බෝම්බය පුපුරා යන්නේ නැත. යුගදනවි සම්බන්ධයෙන් පමණක් නොව වර්තමාන රජය තුළ බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් මත විමසීමක් සිදුවන්නේ නැත. ඊට දිය හැකි සුදුසුම උදාහරණය ගම්මන්පිල අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 22 හෙළිකළ පරිදි එතුමන් තෙල් /විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් 2021 පෙබරවාරි 15 කළ අනතුරු ඇඟවීම කැබිනට් මණ්ඩලය නොසලකා හැරිය බවයි. එලෙසම එතුමා සහ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ජනාධිපති මන්දිරයේදී 2021 ජුලි 17 දින පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී පුපුරා යා හැකි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීම ද නොසලකා හැරිය බවයි. නීතිපතිවරයා වාසු, විමල් සහ උදය අමාත්‍යවරුන්ගේ වගකීම සහ වගවීම සම්බන්ධයෙන් රටේ ඉහළම උසාවියේ කතා කළේය. ගම්මන්පිල අමාත්‍යවරයා කළ චෝදනාව අතිශය බරපතළය. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා නායකත්වය දෙන සමස්ත කැබිනට් මණ්ඩලයේ සහ අගමැතිවරයා නායකත්වය දෙන පාර්ලිමේන්තු කණ්ඩායමේ වගකීම සහ වගවීම පිළිබඳව ද විමසා බැලිය යුතුමය.

යුගදනවි ගිවිසුම කඩිමුඩියේ මහා රෑ අත්සන් කිරීමට තිබූ අවශ්‍යතාවය සමස්ත ආර්ථිකය පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනකු කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් නොතිබීම රටේ අවාසනාවක් නොවේද? යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් රජයට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ප‍්‍රකාරව නීතිපතිවරයාද වග උත්තරකරුවෙකි. ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩෝ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් කැඳවා තිබූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ යුගදනවි ගිවිසුම නීතිපතිවරයා අනුමත කළ බවයි.

යුගදනවි නඩු තීන්දුව කුමක් වුවත්, කිසිදු පාර්ශ්වයක් ජයග‍්‍රහණය කරන්නේ නැත. ඇත්ත වශයෙන්ම යුගදනවි ගිවිසුම නැවත නැවතත් අවධාරණය කර ඇත්තේ දේශපාලන අවිනිශ්චිතභාවයයි. පොහොට්ටු ආණ්ඩුව තුළ පාර්ශ්වකරුවන්ගේ එකිනෙකා තුළ විශ්වාසයක් නොමැති බවයි. සමස්ත රාජ්‍ය ක‍්‍රමවේදයේ නොහික්මුණු ස්වරූපයයි. කර්මාන්ත ඇමැති විමල් විරවංශ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ‘මුළු රටම හරි මඟට’ ජාතික ප‍්‍රකාශනය එළිදැක්වූ අවස්ථාවේ කළ ප‍්‍රකාශය පිළිබිඹු කරන්නේ තව කණ්ඩායම් දෙකම එකිනෙකා සම්බන්ධයෙන් විශ්වාසය නැති බවයි.

වීරවංශ අවධාරණය කළ සත්‍ය තිත්තය. වියත්මග සාමාජික කැබිනට් අමාත්‍යවරයකුගේ බලතල සහිත මහා බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ට මුදල් අමාත්‍ය පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සමඟ වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොමැති බවයි. එසේනම් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාව හමුවීමට අවස්ථාවක් ඇත්තේ කාටද?

බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති ලෙස 2021 ජුලි 8 වන දිවුරුම් දුන්නේය. කබ්රාල් තම රාජ්‍ය අමාත්‍ය ධුරය අතහැරියේය. ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහා බැංකු අධිපති ධුරයෙන් අකමැත්තෙන් හදිසියේ ඉවත් වූයේ කබ්රාල්ට ඒ තනතුර දීමටය. ඔහු 2021 සැප්තැම්බර් 15 වැඩ භාර ගත්තේය. බැසිල් රාජපක්ෂට හිමි වූයේ අගමැති මහින්ද රාජපක්ෂ දැරූ මුදල් ඇමැති පදවියයි. ඒ මහා පුටු දෙකට නව පත්වීම කිරීමත් සමඟ මූල්‍ය ස්ථාවරත්වය ලබා ගත හැකි බවට කළ මත අද පුස්සක් වී ඇත. ආර්ථික අර්බුදය තනතුරු සම්බන්ධ ප‍්‍රශ්නයක් නොවේ. සමස්ත රාජ්‍ය ක‍්‍රමයේම ගැටලූවකි.

සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමයම අවුලකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් මෙම අවාසනාවන්ත තත්ත්වයට වග කිව යුතුය. ‘මුළු රටම හරි මඟට’ ප‍්‍රකාශනය එළිදැක්වීමේදී වීරවංශ අමාත්‍යවරයා සමස්ත ආර්ථික අර්බුදය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මත පැටවිය. හිටපු ජවිපෙ ප‍්‍රබලයා තවත් අඩියක් ඉදිරියට තබා මතු කරේ සමස්ත ආර්ථික අර්බුදය සිතා මතා නිර්මාණය කිරීමේ දීන උත්සහයක්ද යන ප‍්‍රශ්නයයි?

ජාතික ලැයිස්තුවේ නොසිටිය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට නැවත ඒමට ඉඩ සැලසූ 20 වැනි සංශෝධනයට පසුගිය ඔක්තෝබර් මස පොහොට්ටුවේ විකල්ප කණ්ඩායමම ඡුන්දය දුන්නේය. එම කණ්ඩායමේ වීරවංශ, ගම්මන්පිල සහ යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් 20 වැනි සංශෝධනය විවර කළ අවස්ථාවට විරුද්ධ විය. නමුත් ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවකින් පසුව සියලූම මන්ත‍්‍රීවරු 20 වැනි සංශෝධනයට අත එසවීය.

සභානායක දිනේෂ් ගුණවර්ධන නායකත්වය දෙන මහජන එක්සත් පෙරමුණ මෙන්ම ඩග්ලස් දේවානන්දගේ ඊ.පී.ඞී.පී. සංවිධානය විකල්ප කණ්ඩායමට එකතු වූයේ නැත. මහජන එක්සත් පෙරමුණ පක්ෂයේ මන්ත‍්‍රීවරු තිදෙනෙක් වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිති. ඒ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධනගේ පුත‍්‍ර යදමිනි ය. අනෙක් මහජන නියෝජිතයා නීතිඥ සිසිර ජයකොඩි ය. මහජන එක්සත් පෙරමුණ ගත් තීරණය කිසිදු පක්ෂයකට අභියෝග කළ නොහැක. එම පක්ෂය යුගදනවි ගැටුමට මෙන්ම 20 වැනි සංශෝධනය පිළිබඳව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ හවුල්කාර පක්ෂ ඇතිවූ සිදුවූ මත ගැටුමට සම්බන්ධ නොවීය. නමුත් ‘මුළු රටම හරි මඟට’ යෝජනාවලිය කිසිදු පක්ෂයකට බැහැර කළ නොහැක. තත්ත්වය අතිශය තීරණාත්මකය, ව්‍යාකූලය. වර්තමාන අභියෝගය නිසියාකාරව තේරුම් ගත යුතුය. එය රජයට පමණක් අභියෝගයක් නොවේ.

එය විපක්ෂයට බලය ඒමට අවස්ථාවක්ද නොවේ. බිංදුවටම වැටී තිබෙන ආර්ථිකය නැවත ගොඩනැඟීමට සමස්ත රටම මුහුණ දෙන අභියෝගයක් ලෙස තත්ත්වය නිවැරදිව වටහාගත යුතුය.

විදුර වික‍්‍රමනායක විකල්ප කණ්ඩායමේ වැඩපිළිවෙළට සහයෝගය පළකිරීමෙන් ඉතාමත් හොඳ ආදර්ශයක් සහෝදර මන්ත‍්‍රීවරුන්ට දී ඇත. තවදුරටත් නිශ්ශබ්ද ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කිසිවකුට නොහැකිය. ඒ ආණ්ඩුව ‘ගිනිගෙන’ ඇති නිසාය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment