මූල්‍ය අරමුදලෙන්ම අපට ගොඩ යන්න පුළුවන් ද?

215

ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාව පළ වීමෙන් පසු දැන් තිබෙන්නේ ඒ සඳහා එම අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමයි. එහෙත් වෙනදා මෙන් එය එතරම් පහසු නැත. ඒ සඳහා යන කාල වකවානු ගැන ද නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය. එයට ප්‍රධාන හේතුව අපගේ ණය තිරසාර නොවීමයි. එනම් ණය ගෙවීමේ හැකියාව නොමැති රටක් බවට අප පත්ව සිටීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අප අපේක්ෂා කරන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබා ගැනීමටයි. එම මුදලත් ණය මුදලක් නම් අපගේ ණය ගෙවීමේ හැකියාව නැති වී තිබේ නම් එම තත්ත්වයේ අප සිටියදී එම අරමුදල විසින් අපට ණය මුදලක් දෙන්නේ ද නැත. එසේ නම් ඒ සඳහා අපට අපගේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට සිදු වේ. මේ සඳහා අපට ණය දුන් ණය හිමියන් සමග සාකච්ජා කරමින් ඔවුන්ගෙන් මූල්‍යකරණ සහතික කර ගැනීමට සිදුවේ. එසේම එම අරමුදලට අප එකඟ වී ඇති තවත් පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ද අපට සිදුවනු ඇත. මේ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉකුත් සැප්තැම්බර් 01 වැනිදා නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වන්නේ මෙසේය.

‘බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගෙන් මූල්‍යකරණ සහතික කර ගැනීම සහ පෞද්ගලික ණය හිමියන් සමග සහයෝගිතා ගිවිසුමකට එළඹීමට සද්භාවයෙන් යුතුව ප්‍රයත්න දැරීම මත මෙම ගිවිසුම සඳහා ඉදිරි කාල සීමාව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වයේ සහ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීම රඳා පවතී. ණය තිරසාභාවය සහතික කිරීමට සහ මූල්‍යන පරතරය පියවීමට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ණය සහන සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් අතිරේක මූල්‍යකරණය අවශ්‍ය වේ.

මේ සඳහන අනුව අප කී කරුණු වන අයිඑම්එෆ් එකට රජය එකඟ වූ පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ ණය තිරසාරභාවය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අප විසින් ඇති කරගත යුතු බව පැහැදිලි වේ. එසේම අපගේ විදේශ මුදල් හිඟය පියවා ගැනීම සඳහා මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල පමණක් ප්‍රමාණවත් නොවන බව ද පැහැදිලි වේ. ඒ නිසා මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් සමග අපට තවත් විදේශ විනිමය සොයා ගැනීමට ද සිදුවනු ඇත. එසේම මූල්‍ය අරමුදලේ මුදල් ලැබීම ගැන ද නිශ්චිත කාලවකවානුවක් සඳහන් කළ නොහැකි බව ද මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් මාධ්‍යට පවසා ඇත. එසේ නම් එතෙක් අපට අපගේ අත්‍යවශ්‍ය ආනයන සිදු කරගැනීම ඇතුළු අපගේ අනෙකුත් විදේශ විනිමය අවශ්‍යතා සඳහා ද අපට අන්තර්කාලීන මූල්‍ය පහසුකම් සොයා ගැනීමට සිදුවනු ඇත.

මේ නිසා මූල්‍ය අරමුදලේ පොරොන්දු වූ මුදල් ලැබීම රඳා පවතින්නේ අප විසින් පුරවා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන අතරම අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ඇති කරගන්නා සාර්ථකත්වය මතය. මහ බැංකු අධිපතිවරයා පවන්නේ ණය හිමියන් සමග මේ වන විට සාකච්ජා කරගෙන යන බවයි. එම සාකච්ජා ක්‍රියාවලිය ඉදිරියටත් සිදු වෙමින් තිබේ. එසේම එමගින් අප ඇති කරගන්නා ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන මට්ටමේ ප්‍රගතියක් ද විය යුතු වේ.

ණය හිමියන් සමග සිදුකරන මේ ක්‍රියාවලිය සාර්ථක වනු ඇත්තේ ඔවුන්ගෙන් මූල්‍යකරණ සහතික කරගැනීමට එනම් ණය සහන සලසා ගැනීමට අප සමත් වන්නේ නම්ය. චීනය මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නැති බවත් තිබෙන ණය වෙනුවට එය ගෙවා දැමීමට අලුත් ණය මුදලක් ලබා දීමට කැමති බවත් පැවසේ. අප නම් සිතන්නේ විවිධ රටවල් සමග මෙන්ම පෞද්ගලික ණය හිමියන් සමග සිදු කරන මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ජා ක්‍රියාවලිය ඉතා සංකීර්ණ සහ දුෂ්කර කටයුත්තක් බවයි. කෙසේ හෝ එය දැන් සිදු වෙමින් පවතින අතර එහි සාර්ථකත්වය සහ ඒ සඳහා ගතවන කාලය මත ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැනට ලැබී ඇති කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවට එම අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත හැකිවනු ඇත. අප වෙත ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මූල්‍ය පහසුකමට අදාළ වාරික ලැබීම ආරම්භ වන්නේ ඉන් පසුවය.

පසුගිය ඔක්තෝබර් 06 වැනිදා මහ බැංකු මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට වැඩි වශයෙන්ම ප්‍රශ්න යොමු වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ණය පහසුකම ගැනය. ඒවාට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මාධ්‍යට ප්‍රකාශ කළේ අපට අපගේ ණය හිමියන් සමග සාකච්ජා කරමින් කරමින් සිටින බවත් එම ක්‍රියාවලියේ ප්‍රගතියක් ඇති බව තමාට සඳහන් කළ හැකි බවත්ය.

ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාව පළ වීමෙන් පසු ණය ප්‍රතිවුහගත කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබූ අතර ඒ සඳහා අපට ණය දුන් රටවල් සමග මෙන්ම වාණිජ පදනමින් ණය දු පාර්ශ්ව සමග ද සාකච්ජා ආරම්භ කර තිබේ. මීට අමතරව පසුගිය සැප්තැම්බර 23 දින සියලුම ණය හිමියන්ට මාර්ගගත ක්‍රමයට රැස්වීමක් පවත්වා පොදුවේ කරුණු ඉදිරිපත් කිරීමක් ද සිදුකර ඇත. ඊට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෑත දී විදේශ රටවලට ගිය අවස්ථාවල දී මේ ගැන සාකච්ජා කර තිබේ. මේ ඉහළ මට්ටමේ සහ තාක්ෂණික මට්ටමේ සාකච්ජාවලදී ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර ගැනීම් සිදුව ඇති අතර ඉදිරි සතියේ දී මුදල් රාජ්‍ය ඇමතිවරයෙකු සහ භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති ඇතුළු නියෝජිත පිරිසක් මූල්‍ය අරමුදල සමග සාකච්ජා පැවැත්වීමට පිටත්ව යෑමට නියමිතව ඇත. මේ සියලු දේ මගින් රජය අපේක්ෂා කරන්නේ මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ජා මගින් එම ක්‍රියාවලියේ ඉතා ඉක්මනින් ප්‍රගතියක් ඇති කර ගැනීමටයි. එසේ සිදුකර අදාළ ණය හිමියන්ගේ මූල්‍යකරණ සහතික කිරීම් ලබා ගැනීමට අප සමත් වුවහොත් අපගේ අපගේ විස්තීර්ණ ණය වැඩසටහන අනුමැතිය සඳහා මූල්‍ය අරමුදලේ විධායක සභාවට ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත. මේ අනුව මේ කටයුතු නොවැම්බර් මාසයේ දී සම්පූර්ණ කරගෙන දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා එම අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මේ මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදල ද අපට එකවර ලැබෙන මුදලක් නොව වාරික වශයෙන් ලැබෙන මුදලකි. ඒ නිසා අපට එම මුදල් සමග තවත් විදේශ මුදල් සොයා ගැනීමට අනිවාර්යෙන්ම සිදු වේ. ඒ නිසා මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ඇතුළත් වීමේ වැදගත්කම වන්නේ ලැබෙන මුදලම නොව අයිඑම්එෆ් එක සමග එකඟ වී රජය දියත් කරන ආර්ථික ප්‍රතිසංකරණ වැඩසටහන සහ අපගේ විදේශ ණය තිරසාර කර ගැනීමට හැකියාව ලැබීමයි. ඒ මත ඇතිවෙන විශ්වාසය හරහා අපට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වීය ආයතනවලින් මෙන්ම වෙනත් රටවල්වලින් ද තවත් මූල්‍ය සහයන් ලබාගත හැකිවනු ඇත. එහෙත් අප වැටී සිටින ආර්ථික අගාදය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අප ඇතුළත් නොවුවහොත් අපට කිසිවෙක් සහාය ලබා දීමට ඉදිරිපත් වන්නේ නැත. යම් යම් සහායන් විදේශීය මිත්‍ර රටවල්වලින් ලබාගත්ත ද එය අපගේ බරපතළ විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීමට ප්‍රමාණවත් මට්ටමක එකක් ද නොවනු ඇත. පසුගිය කාලයේ අපට ඉන්දියාවෙන් ඛනිජ තෙල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රෙඩිට් ලයින් පහසුකම් ලැබුණි. චීනයෙන් ද අපට මූල්‍යමය සහායන් ලැබිණි. අපට යම් කාලයක් ගත කිරීම සඳහා එය අපට තාවකාලිකව විශාල සහනයක් වුවත් එමගින් අපගේ විදේශ විනිමය අර්බුදයට තිරසාර විසඳුමක් ලැබෙන්නේ නැත. අපගේ විදේශ ණය ගෙවීමේ හැකියාව අප විසින් නැතිකරගෙන ඇති නිසා වෙනදා මෙන් තව තවත් විදේශ ණය ගනිමින් අපට දැනටමත් ගෙන ඇති ණය ගෙවීමට ද නොහැක. එහෙත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අප ඇතුළත් වීමේ දී ණය තිරසාරත්වය ඇති කරගත යුතු වන නිසා අපට වසරකට ගෙවීමට තිබෙන ණය බර ද අඩු වේ. එසේම අපගේ පුළුල් ආර්ථික ප්‍රතිසංකරණ වැඩපිළිවෙළ ගැන අනෙකුත් ආයෝජකයන් ද පිළිගන්නා තත්ත්වයට පත් කර ගැනීමෙන් අපට විදේශ අයෝජන ලබාගත හැකිවනු ඇත. මේ අතරම අපගේ අපනයන, සංචාරක සහ විදේශ විනිමය ප්‍රේෂණ වැනි විදේශ විනිමය ආදායම් ද අප විසින් වර්ධනය කරගත යුතු වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment