මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් කප්පාදුව

137

ගිය වසරේ (2022) සියයට 8 ක් පමණ වූ (තවමත් නිල සංඛ්‍යාලේඛන ඉදිරිපත්ව නැත) බරපතළ ආර්ථික පසුබෑමෙන් පසු එම අර්බුදයෙන් ගොඩ ඒමට වෙර දරන වර්ෂයක් ලෙස මේ වර්ෂය (2023) හඳුනාගත හැකිය. මේ වර්ෂයේ (2023) ද අපේ ආර්ථිකයට සියයට 3.5 ක සියයට 4 ක පමණ ආර්ථික පසුබෑමට මුහුණ දීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ නිසා රටේ ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් මේ වසරේ (2023) දී පසුබෑමට ලක් වේ. මේ නිසා ආර්ථිකය හැකිලීමේ දී රාජ්‍ය ආදායම් පවා අපේක්ෂිත පරිදි එකතු කර ගැනීමට බාධා ඇති විය හැකිය. එහෙත් ගැටලුව වන්නේ අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් රැසක් බොහෝ දුරට එලෙසම දැරීමට සිදු වීමයි. එහෙත් තවදුරටත් රජයේ වියදම් සීමාකර ගැනීමට අවකාශයක් තිබිය හැකිය. මේ අනුව පවතින බරපතළ රාජ්‍ය මූල්‍ය අර්බුදය හමුවේ රජය දැනට 2023 වසරට අයවැයෙන් වෙන් කර ඇති රජයේ වියදම් පවා තවදුරටත් සීමා කර ගැනීමට සිදුවනු ඇත. මේ සඳහා පසුගිය සතියේ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් විය. අප මේ ලිපියෙන් සාකච්ජා කරන්නේ මෙම රජයේ වියදම් තවදුරටත් සීමා කර ගැනීමට දරන උත්සාහය ගැනය.

රජයේ එදිනෙදා පවත්වාගෙන යන වියදම් තවදුරටත් සීමා කිරීමට මේ අනුව රජය තීරණය කර ඇත. රජයේ එදිනෙදා පවත්වාගෙන යෑමේ වියදම් යනු පුනරාවර්තන වියදම්ය. රජය දැනටමත් රජයේ වියදම්වල සීමා කිරීම් සිදු කරගෙන තිබේ. දේශීය සහ විදේශීය බැඳීම් සඳහා කළ යුතු වියදම් ද ඇතුළත්ව සියලු වියදම් කළමනාකරණය සඳහා පසුගිය කාලයේ විවිධ පියවර ගන්නා ලදී. පසුගිය (2022) වසර සඳහා ඉදිරිපත් කළ අතුරු අයවැය තුළින් ද ආර්ථිකය යථාවත් කිරීමට උත්සාහ ගන්නා ලදී. එසේම මේ වසර (2023) සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් ද වියදම් කළමනාකරණය කිරීමට සහ රාජ්‍ය බදු ආදායම් වර්ධනය සඳහා යෝජනා ගෙනෙන ලදී. එසේ වුවත් මුදල් අමාත්‍යාංශය පවසන පරිදි මහාභාණ්ඩාගාරයට මේ වන විටත් පවතින අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම අභියෝගකාරී වී ඇත. මෙවන් පසුබිමක් තුළ පළාත් පාලන මැතිවරණය සඳහා වියදම් දැරීමට ද රජය සිදුව ඇත. එයට අවශ්‍ය මුදල් අයවැයේ සඳහන් වුව ද පවතින මූල්‍ය අර්බූදය හමුවේ ඒ සඳහා මුදල් ලබා දීම අභියෝගාත්මක බව රජය පැත්තෙන් කියන අදහස් වලින් පැහැදිලි වන්නකි. කෙසේ හෝ රජය මුහුණ දී සිටින මේ බලවත් මූල්‍ය අර්බුදය සඳහා තිරසාර විසඳුම් සෙවිය යුතු වේ. මේ සඳහා රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීම සඳහා බදු පැනවීම අවශ්‍ය වුව ද ඒ බදු සාධාරණ විය යුතු වේ. රජයක් බදු අය කළ යුතු වන්නේ මල නොතලා රොන් ගන්නා බඹරෙකු ලෙස වුවත් රජය ඉතා අසාධාරණ බදු පැනවීම් සිදුකර ඇති බවට මේ දිනවල රජයට බරපතළ චෝදනා එල්ල වේ. විශේෂයෙන් උපයන විට ගෙවීමේ බද්ද නිසා රාජ්‍ය සහ පෞද්ගලික නිලධාරීන් රැසක් අපහසුවට පත්ව ඇත. මේ නිසා යම් කිසි ආකාරයකට මේ බදු සංශෝධනය විය යුතු බවට ද ඔවුහු රජයට දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇත. මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය ඇතුළු බැංකු නිලධාරීන් කලු ඇදගෙන විරෝධතා ක්‍රියාමාර්ගවල පසුගිය දිනවල නිරත විය. මේ ගැන ද රජයේ අවධානය යොමු විය යුතු අතර බදු බර ලොකු හෝ පොඩි හෝ සෑම දෙනාටම දැරිය හැකි එකක් විය යුතුය. අපේ රටේ බදු ව්‍යුහය තුළ සියයට 80 ක් පමණම ඇත්තේ භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බදු වේ. මේ නිසා වැඩිම බදු බරක් පැටවී ඇත්තේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාට බව ද එම උපයන විට ගෙවීමේ බද්ද නිසා පීඩනයට ලක්ව සිටින රාජ්‍ය සහ පෞද්ගලික නිලධාරීන් ද තේරුම් ගත යුතු වේ.

මෙලෙස රට මුහුණ දී සිටින බලවත් රාජ්‍ය මූල්‍ය අර්බුදය හමුවේ තවදුරටත් රාජ්‍ය වියදම් සීමා කර ගැනීමට රජයේ අවධානය යොමුව ඇත. මේ අනුව මේ වර්ෂය (2023) සඳහා ජාතික අයවැයෙන් වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන සියයට 6කින් කපාහරින ලෙස මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් තිබේ. එනම් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් මේ උපදෙස් සහිත චක්‍රලේඛය යවා ඇත. මේ රජයේ වියදම් සීමා කිරීමේ තීරණය ගැන අපි තවදුරටත් සාකච්ජා කරමු.

මේ වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ දළ ආදායම රැස්කිරීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති දැඩි දුෂ්කරතා හේතුවෙන් ඇති විය හැකි අහිතකර ප්‍රතිවිපාක අවම කිරීම සඳහා රජයේ වියදම් වඩාත් අරපිරිමැසුම්දායි ලෙස භාවිත කිරීම හා අනවශ්‍ය වියදම් හැකිතාක් අවම කිරීමේ අරමුණින් මෙසේ 2023 වසරේ රාජ්‍ය වියදම් සියයට 6 කින් කපා හැරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 2023 අයවැය මගින් වෙන්කර ඇති පුනරාවර්තන වියදම් සියයට 6කින් කපා හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම චක්‍රලේඛයෙන් අදාළ අමාත්‍යාංශ ඇතුළු සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත්තේ මේ ඇමැති මණ්ඩල තීරණය අනුවය.

වියදම් අවම කිරීම සඳහා හඳුනාගත් ක්‍රමවේද අඩංගු සංශෝධිත වියදම් ඇස්තමේන්තු පෙබරවාරි මස 28 වන දිනට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස ද මෙම චක්‍රලේඛය මඟින් දැනුම් දී තිබේ. මේ අයුරින් වියදම් කපා හැරීමෙන් පසුව සංශෝධිත ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවා අරපිරිමැසුම්දායි ලෙස වියදම් දැරීමට හැකිවන සේ වියදම් අවශ්‍යතා ප්‍රමුඛතාගත කිරීමට කටයුතු කළ යුතු බව ද එහි සඳහන් වේ. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත. තම සියලුම වියදම් ශීර්ෂවලට අදාළව අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් හා අනෙකුත් ගණන් දීමේ නිලධාරීන් විසින් වියදම් සීමා කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර ගැන ද එම චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත. මේ අනුව වැටුප් හා වේතන, වෛද්‍ය සැපයුම්, බදු කුලී සහ පළාත් පාලන ආයතන බදු, විශ්‍රාමික ප්‍රතිලාභ, දේශීය ණය සඳහා පොලී ගෙවීම සහ විදේශීය ණය සඳහා පොලී ගෙවීම, භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මත වට්ටම් සහ අත්‍යවශ්‍ය සුබසාධක ගෙවීම් යනාදී කරුණු සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන හැර අනෙකුත් සියලුම පුනරාවර්තන වියදම් සඳහා වන වියදම්වල එකතුවෙන් සියයට 6 කට සමාන ප්‍රතිපාදන ප්‍රමාණයක් අවම වශයෙන් කපා හැරීම සඳහා මේ අනුව අදාළ ගණන් දීමේ නිලධාරීන් විසින් කටයුතු කළ යුතු වේ.

මේ වියදම් පාලනයේ දී වියදම් අවම කිරීම සඳහා උපදෙස් දෙන ලද නීතිරීති හා රෙගුලාසි දැඩිව පිළිපැදීම සහ ඒ ඒ ආයතනවල ස්වභාවය අනුව භාවිතා කළ හැකි උපක්‍රමික ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවත් මහාභාණ්ඩාගාරය විසින් උපදෙස් දී ඇත. එහිදී පොදුවේ සියලු ආයතන විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දක්වා ඇත. ඉන් කිහිපයක් මෙසේය.

● පවත්නා සම්පත් උපයෝගී කරගනිමින් ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය, ප්‍රශස්ත තොග කළමනාකරණය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතය, ඩිජිටල්කරණය, මාර්ගගත සේවා සැලසීම ආදී ක්‍රමවේද හඳුන්වා දීම මගින් තම ආයතනයන්හි පුනරාවර්තන / මෙහෙයුම් වියදම් අවම කිරීම සඳහා කටයුතු කළ යුතුය.

● විදුලිය, ජලය, දුරකථන සේවා ඉන්ධන හා අනෙකුත් ගිවිසුම්ගත සේවාවන් සඳහා වන වියදම් අවම කිරීම පිණිස උචිත වියදම් පාලන ක්‍රමවේද යොදා ගැනීම හා එම සේවා උපයෝජනය පිළිබඳව විගණනය කිරීම කළ යුතුය. එමෙන්ම කාර්යාලයීය අවශ්‍යතා මිලදී ගැනීම දැඩි පාලනයකට යටත් කළ යුතු වේ.

මේ අතර අතිකාල සහ නිවාඩු දින වැටුප් සහ වෙනත් දීමනා සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන අවම වශයෙන් සියයට 6 කින් අඩු කළ යුතු බැවින් අතිකාල වියදම් දැඩි ලෙස පාලනය කළ යුතු බව ද එහිදී අතිකාල සහ නිවාඩු ඉන රාජකාරී කටයුතු සඳහා සත්‍ය සේවා අවශ්‍යතාවක් පවතින බව හා අදාළ ගෙවීම් සඳහා හිමිකම් ලැබීමට සේවය කළ යුතු කාලය තුළ අතය වශයෙන්ම සේවයේ යෙදෙන බව එම ගෙවීම් සඳහා බලය දෙන නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බව ද භාණ්ඩාගාර උපදෙස්වල සඳහන් වේ. එසේම නිසි අධිකාරී බලයක් නැතිව අමාත්‍යාංශ හෝ ආයතන මට්ටමින් නිකුත් කරනු ලබන අභ්‍යන්තර උපදෙස් මත ගෙවනු ලබන දීමනා නතර කළ යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ. සංචිත වාහන භාවිතය ද මනා සැලසුමකින් යුතුව අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් සීමා කිරීමට ද, එසේම මාර්ගගත ක්‍රමවේද ඔස්සේ රැස්වීම්, සම්මන්ත්‍රණ සහ සාකච්ජා පැවැත්වීම තුළින් ප්‍රවාහන අවශ්‍යතා පැනනැගීම සීමා කිරීමටත් කටයුතු කළ යුතු බවට ද මෙමගින් උපදෙස් දී ඇත. මෙම චක්‍රලේඛය මගින් සිදුකරන ප්‍රතිපාදන කපා හැරීම පහත සුබසාදන වියදම් සඳහා අදාළ නොවන බව ද සඳහන් කර තිබේ. ඒවා මෙසේයි.

● දුෂ්කර ආර්ථික වාතාවරණය හමුවේ පීඩාවට පත්වෙන පුද්ගලයින් සඳහා සහන සැලසීම,

● සමෘද්ධි, වැඩිහිටි, වකුගඩු රෝගීන් සඳහා දීමනා සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දීමනා, ගර්භනී මව්වරුන් සඳහා පෝෂණ ආහාර පැකේජය, පෙර පාසැල් ළමුන් සඳහා උදෑසන ආහාරය, උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට පෝෂණ අතිරේකය

● ත්‍රිපෝෂ වැඩසටහන පාසල් පෝෂණ වැඩසටහන ඇතුළු පාසල් සඳහා වන සුබසාධන වැඩසටහන්

මේ අතරම සුබසාධන වැඩසටහන්වල ප්‍රතිපාදන චක්‍රලේඛයේ සඳහන් නව ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම තුළින් හා ප්‍රතිලාභීන් ඉලක්කගත කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් ඉතිරි කිරීමට කටයුතු කළ යුතු වන බව ද මෙහිදී විශේෂයෙන් සඳහන් කර ඇත.

මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ බදු ගැටලු පසුගිය සතියේ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා වෙත ඉදිරිපත් කර තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බලපාන බදු ගැටලුවලට හැකි පළමු අවස්ථාවේ ම විසඳුම් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම ව්‍යාපාරවල පැවැත්මට හානිදායක විය හැකි බදු පිළිබඳ ක්ෂණික සහ මැද කාලීන වෙනස්කම් සිදු කිරීමට සූදානම් බව ද අමාත්‍යවරයා කියයි. වාණිජ මණ්ඩල නියෝජිතයන් පිරිසක් සමග පසුගිය පෙබරවාරි 02 වැනිදා මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

මෙහිදී වාණිජ මණ්ඩල නියෝජිතයන් විසින් බදු සංශෝධන හේතුවෙන් ව්‍යවසායකයන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි. අමාත්‍යවරයා කියා සිටියේ මෙහිදී දේශීය ආදායම් පනතට සිදු කළ යුතු සංශෝධන මොනවා ද යන්න සලකා බැලිය යුතු බවයි. කෙසේ වෙතත් උද්ධමනය යම් අඩු වීමකට ලක් වෙමින් ආර්ථිකය යම් බලාපොරොත්තු සහගත තත්ත්වයකට පත් වෙමින් ඇති මේ අවස්ථාවේ ඉදිරි මාස කිහිපය දෙස විමසා බැලීම වඩාත් සුදුසු බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යනු වඩාත් ආර්ථිකයේ ප්‍රභලතම දායකයන් බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඔවුන් රැක ගැනීම වෙනුවෙන් හැකි සෑම අවස්ථාවකම කටයුතු කිරීමට රජයේ අපේක්ෂාව වන බවයි. මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ. කේ. සෙනෙවිරත්න, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස්. හපුආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොදුවේ අපට කීමට තිබෙන්නේ පවතින ඉතාමත් දුෂ්කර ආර්ථික වාතාවරණය හමුවේ රජය වියදම් උපරිම ලෙස සීමා කරමින් අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් දැරීමට කටයුතු කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වන බවයි. එය බදු බරින් සහ බඩු මිලෙන් පීඩාවට පත් ජනයාට ද ඉමහත් සහනයක් ගෙන දෙනු ඇත. මේ චක්‍රලේඛයේ ඇති වියදම් සීමා කිරීමට සඳහන් කර ඇති ඇතැම් දේවල් (උපදෙස්) ආර්ථික අර්බුදයක් තිබුණත් නැතත් කොයි කාලයේත් ක්‍රියාත්මක වීමට සුදුසු ඒවා බව ද කිව යුතු වේ. දැනටම ආර්ථිකය යථාවත් කිරීමේ පියවර රැසක් රජය විසින් ගෙන ඇති අතර ඒවා නිසා ජනසමාජය කිසියම් පීඩාවකට ද පත්ව ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද සඳහන් කරන්නේ මේ පීඩාවට සියලු දෙනා අඩුවැඩි වශයෙන් දායක විය යුතු බවයි. එහිදී වැඩි බරක් දැරිය යුතු වන්නේ ඒ බර දැරිය හැකි පිරිස් විසින් බව ද අප මතක් කළ යුතු වේ. එසේම අතිශය අවදානමට ලක්වෙන පිරිස් වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් දියත් කළ යුතු අතර ඒ සඳහා වන අයවැය ප්‍රතිපාදන නොකැපීමට ද මේ චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබේ. එසේම වඩාත්ම වැදගත් වන්නේ මේ සමාජ ආරක්ෂණ වැඩසටහන් එසේත් නැත්නම් සුබසාධක ප්‍රතිලාභ ලබා දීම සමාජයේ පීඩාවට පත් වඩාත් අත්‍යවශ්‍යම අය වෙත ලැබෙන බවට සහතික කර ගැනීම ද අත්‍යවශ්‍යව පවතින බවයි. ඒ නිසා එම සුබසාධක ප්‍රතිලාභ ලබා දීම ඉතා හොඳින් ඉලක්ක කළ යුතුව ද තිබේ. නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියා නිසා මේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයන් සිදුව ඇති අතර ඒ සඳහා විසඳුම් ලබා දෙමින් ඒවා කඩිනම් කිරීම ද මේ මොහොතේ අත්‍යවශ්‍ය දෙයකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment