රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්රතිලාභ සඳහා අයවිය යුතු බදු (Tax on non-cash benefit) නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා අවධාරණය කළේය.
මූල්‍ය නොවන ප්රතිලාභ ලෙස යම් තනතුරක් දරන පුද්ගලයෙකුට හිමිවන වාහන, නිවාස, සේවකයන් ආදි ප්රතිලාභ අයත් වන බැවින් ඒ සියල්ල සළකා බලා නිවැරැදිව මෙම බදු අයකිරීම් සිදුකළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙන ලදී.
2023 වසර සඳහා බදු අයකර ගැනීමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවා තිබූ අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය.
2022 එකතු කරන ලද බදු ප්‍රමාණය රු. බිලියන 860 කට ආසන්න බවත් 2023 වසර සඳහා අයකර ගැනීමට අපේක්ෂිත බදු ප්‍රමාණය රු. බිලියන 1667ක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පෙන්වා දෙන ලදී. මේ අනුව ගිය වසරට සාපේක්ෂව රු. බිලියන 922 කට ආසන්න බදු මුදල් ප්‍රමාණයක් මෙම වසරේ වැඩිපුර ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.
2023 අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින්ය. එම මුදල රු. බිලියන 603 කි. එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රු. බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරන බවද දේශීය ආදායම් නිලධාරීහු පෙන්වා දුන්හ.
මෙම බදු මුදල් අයකර ගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. බදු ගෙවීම් පැහැර හැරීම්වලට අදාළව අධිකරණයේ පවතින නඩු කල්ගතවීම ඇතුළු ගැටලු පිළිබදව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කරුණු දක්වන ලදී. මෙම ගැටලු සමාලෝචනය කොට ඊට විසඳුම් ලබාදීමට රජයේ මුදල් කාරක සභාව ඉදිරියේදී මැදිහත් වන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසීය.
රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සහන් ප්‍රදීප් විතාන සහ මධුර විතානගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන