මූල්‍ය පද්ධතිය ශක්තිමත් කරන්න කරුණු 13 ක් යටතේ
අයි එම් එෆ් සහාය

175

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට කරුණු 13 ක් යටතේ තාක්‍ෂණික සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව එකඟතාවය පළකර ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ජනාධිපති කාර්යාලයේදී අයි. එම්. එෆ්. නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවය ප්‍රකාශ කර තිබේ. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් හා මෙරට ආර්ථික ස්ථායිකරණයට උපකාර කිරීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට ලෝක බැංකු හා මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් මෙරටට පැමිණ තිබේ.

මුදල් ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි මෙම පිරිස මෙරටට පැමිණ සාකච්ඡා වට කිහිපයක් පසුගිය කාලය පුරා පැවැත්වූහ. එහි ප්‍රගතියක් ලෙස මෙලෙස කරුණු 13 ක් යටතේ සහාය පළ කිරීමට ඔවුන් එකඟතාවය පළකර තිබේ. ඒ අනුව මෙරට මූල්‍ය පද්ධතියේ විනිවිධභාවය වැඩිකිරීම, යහපත් මූල්‍ය කළමනාකරණය, බදු පරිපාලන ප්‍රතිපත්ති සැකසීම, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවයක් ඇති කිරීම, වියදම් කළමනාකරණය, වංචා දූෂණ ඉවත් කිරීම, මහ බැංකුව දෙන මුදල් මත යැපෙන රාජ්‍ය ආයතන අවම කිරීම, රාජ්‍ය ආයතන පද්ධතියේ අවදානම් අඩු කිරීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, ආනයන අපනයන තීරුබදු වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසීම, විදේශ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම, ප්‍රවාහන හා බලශක්ති ක්‍ෂේත්‍රය පොසිල ඉන්ධනවලින් පුනර්ජනනීය බලශක්තියට මාරුවීම හා රාජ්‍ය ආධාර සැබවින්ම අවශ්‍ය ජනකොටස් හඳුනා ගැනීම යනාදී කරුණු වෙනුවෙන් ඔවුන් තාක්‍ෂණ සහය ලබාදීමට එකඟවී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment