මූල්‍ය ප‍්‍රතිපත්ති දැඩි කළ යුතුයි : ශ‍්‍රී ලංකාව පිළිබඳ IMF වාර්තාවෙන් පවසයි

439

විදේශ මුදල් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාව අඛණ්ඩව උත්සහයන් දරමින් තිබුණත් දිගටම පියවීමට තිබෙන විදේශ ණය වගකීම් හමුවේ ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත ප‍්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳ ආටිකල් ෂඪ සමාලෝචන වාර්තාව නිකුත් කර ඇති අතර එහි මේ බව සඳහන් වේ.

ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ප‍්‍රතිපත්තිය දැඩි කළ යුතු බව ද ශ‍්‍රී ලංකා රාජ්‍ය ණය තිරසාර භාවය ඉහළ අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

2019 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 94 ක් වූ රාජ්‍ය ණය ප‍්‍රමාණය 2021 වසර වනවිට සියයට 119 ක් දක්වා සැළකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයිද පුරෝකථනය කර ඇත. රජයට විදේශ ණය සීමිත වීම නිසා අයවැය හිඟය පියවීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් විශාල වශයෙන් ණය ලබාගෙන ඇති බවත් වසංගත තත්ත්වයට පෙර බදු කප්පාදු කිරීම වසංගතයෙන් පසු රාජ්‍ය ආදායමේ දුර්වල කාර්යසාධනය සහ වසංගතය මර්දනය සඳහා සිදුකළ වියදම් හේතුවෙන් 2020 සහ 2021 යන වර්ෂ දෙකේදීම අයවැය හිඟය තුළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 10 ඉක්මවා ගිය බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකාව මුහුණදී තිබෙන විදේශ විනිමය හිඟය සහ සාර්ව ආර්ථික අසමතුලිතතාත් ශ‍්‍රී ලංකාවේ ආර්ථික කටයුතුවලට සහ ව්‍යාපාරික විශ්වාසය මත ඇති කරන අහිතකර බලපෑම් හේතුවෙන් ආර්ථික වර්ධනය මත සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබේ.

රජය අනුගමනය කරන වත්මන් ප‍්‍රතිපත්ති සහ බදු සහන ආරක්ෂා කිරීමට බලධාරීන්ගේ කැපවීම හේතුවෙන් වර්ෂ 2022 සිට වර්ෂ 2026 දක්වා කාලය තුළ විශාල අයවැය හිඟයකට ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුවනු ඇතැයිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත. එසේම මැදිකාලීනව රාජ්‍ය ණය ඉහළ නංවනු ඇති බව ද එම අරමුදල නිකුත් කළ සමාලෝචන වාර්තාවේ සඳහන් වේ.

තිරසාර නොවන මට්ටම දක්වා ඉහළ ගොස් ඇති රාජ්‍ය ණය අඩු මට්ටමකට පහත වැටී ඇති විදේශ සංචිත සහ ඉදිරි වර්ෂවලදී ඇති විශාල මුදල් අවශ්‍යතා වැනි වර්ධනය වන අභියෝගයන්ට ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුවනු ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

මේ තත්ත්වය හමුවේ හොඳින් ඉලක්ක කළ සමාජ ආරක්ෂණ ජාලයන් මගින් අවදානමට ලක්වන කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ දරිද්‍රතාවය අවම කිරීම මෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහාත් ණය තිරසාර භාවය නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සඳහාත් විශ්වාසනීය සහ ඒකාබද්ධ උපායමාර්ගයන් ක‍්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවයද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචන වාර්තාව මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment