මූල්‍ය වංචා නඩුවෙන් ප්‍රකට චිත්‍රපට නිෂ්පාදිකාව නිදොස් කොට නිදහස්

1283

රුපියල් ලක්ෂ 55ක මූල්‍ය වංචාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවකින් ප්‍රකට චිත්‍රපට නිෂ්පාදිකාව මෙන්ම ප්‍රධාන පෙළේ ව්‍යාපාර හිමිකාරිනියක ද වන සුධර්මා නෙත්තිකුමාර මහත්මිය නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.

වැඩි මූල්‍ය ප්‍රතිලාභ ලබාදෙන බවට එකඟ වී ලොකු එදිරිසිංහ ආරච්චිගේ සමන්ත දිල්රුක් නමැත්තාගෙන් එකී මුදල ලබා ගත්තේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ එම නඩුවේ සාක්ෂි විභාගයේදී විත්තිකාරිය වෙනුවෙන පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ම විත්තිකාරිය නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියගේ මාර්ගයෙන් හඳුනාගත් පැමිණිලිකරු සමග සිය සේවාදායිකාව අතර මූල්‍ය ගනුදෙනුවක් සිදු වී ඇති බව සත්‍ය නමුත් පොරොන්දු නෝට්ටු හා චෙක්පත් කිහිපයක් ලබාදී සිදුකළ එම ගනුදෙනුව සම්බන්ධයෙන් සත්‍ය වසන් කර ඇති බවත් එකී පොරොන්දු නෝට්ටු හෝ චෙක්පත් වංචා විමර්ශන අංශයට හෝ අධිකරණයට භාරදී නොමැති බවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. නීතිපතිවරයා එම නඩුව පවරා ඇත්තේ ද එකී නඩු භාණ්ඩ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් තොරව වන්නේ යැයි ද විත්තියේ නීතිඥවරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය. නීතිඥ චමින්ද්‍රි අර්සකුලරත්න, තේජිත කෝරළග, නාමල් කරුණාරත්, උදාර මුහන්දිරම්ගේ, තිළිණ පුංචිහේවා, පුන්සිසි ගමගේ හා සාරංග යකන්දාවල යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විත්තිය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment