මූල්‍ය වගවීම් ගැන විභාගයක් නොමැතිකම ආර්ථික අර්බුදයේ ප්‍රධාන හේතුවක් වුණා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

107

2023 – අයවැය විවාදය

මාධ්‍ය පරපුරකින් පැවත එන ජනාධිපති ජනමාධ්‍ය අමතක කරලා – ගයන්ත කරුණාතිලක (සජබ)

දූෂිතයන්ට දඬුවම් නොදීමෙන් රට හෑල්ලුවට ලක්වුණා – හරිනි අමරසූරිය (ජාජබ)

තානාපති සේවය පූර්ණ ප්‍රතිසංවිධානයක් කළ යුතුයි – මෛත්‍රිපාල සිරිසේන (ශ්‍රීලපොපෙ)

මූල්‍ය කළමනාකරණ වගවීම් පනත පාර්ලිමේන්තුව තුළ නිසි ආකාරයට ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම වත්මන් ආරථික අර්බුදයට ප්‍රධාන හේතුව බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. ප්‍රථමයෙන් ලිපි ලේඛන, කාරක සභා වාර්තා, ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, 27/2 යටතේ විශේෂ ප්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු දීමෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ විය.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව, යන ආයතනයන්හි වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය ආරම්භ කරමින්,

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා (ස.ජ.බ) –

සමාජ සුරත්ෂිතභාවයක් ඇති කළ යුතු අවස්ථාවක් තමයි මේක. නමුත් මේ අයවැයෙන් ඒ සඳහා අවධානය යොමු වෙලා තිබෙනවාද කියන එකයි ප්‍රශ්නය. දේශපාලන, සමාජ ප්‍රතිසංස්කරණ මේ අයවැයේ නෑ. ලෝකේ බලවත් රාජ්‍යයක් වෙමින් පවතින ඉන්දුනීසියාව මුලින්ම කළේ නිදහස් ජනමාධ්‍ය ආයතන ශක්තිමත් කිරීමයි. කීර්තිමත් ජනමාධ්‍ය පරපුරකින් පැවත එන අපේ වත්මන් ජනාධිපතිතුමාට මේ අයවැයෙන් ජනමාධ්‍යය ක්ෂේත්‍රය අමතක කරලා තිබෙනවා. අද මේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය සංකීර්ණ වෙලා තිබෙනවා. අද අපේ සම්ප්‍රාදායික මාධ්‍ය වෙනුවට සමාජ මාධ්‍ය කියන යෝධයා පැමිණ තිබෙනවා. බොහෝ දෙනෙක් දැන් සමාජ මාධ්‍යයි භාවිතා කරන්නේ. ඒ පිළිබඳ නිසි නියාමනයක් අවශ්‍ය වී තිබෙනවා. සමාජ මාධ්‍ය නියාමනය කිරීමට වත්මන් රජය නීති ගේන්න හදනවාද කියලා මම පසුගිය දිනෙක ප්‍රශ්නයක් ඇහුවා. මේ පිළිබඳ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වී තිබෙනවා. සමාජ මාධ්‍ය භාවිතා කරන අයට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි දුරකථන බිල සහ ඩේටා ගාස්තු වැඩිවීම. ඒවායේ මිල ගණන් අඩු කරන්න කියලා මම ඉල්ලනවා.

තොරතුරු දැනගැනීමේ පනත ගෙන ආ ඇමැතිවරයා වශයෙන් මම කිවයුතුයි. මේ වන විට තොරතුරු දැන ගැනීමේ පනත අක්‍රිය වෙමින් පවතිනවා. ඒ කාලේ මේ තොරතුරු පනත ගේන්න කිව්වහම තොරතුරු දැන ගන්න පනත් මොකටද? ඕනෑ තොරතුරක් මගෙන් අහන්න කියපු නායකයෝ තමයි වත්මන් ජනාධිපති වටේ ඉන්නේ. මම මහාමාර්ග අමාත්‍යංශය ගැනත් කතා කරන්න ඕනේ ආණ්ඩු වෙනස් වෙනවා ඇමැතිවරු වෙනස් වෙනවා. ඒත් මහාමාර්ග අමාතයංහයේ ලේකම් නම් වෙනස් වෙන්නේ නෑ. ඒ තනතුර යාවජීව තනතුරක් වෙලා.රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදය ඇති අයෙක් තමයි මහාමාර්ග ලේකම් වෙලා ඉන්නේ. ඒක ප්‍රසිද්ධ රහසක්.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා-

අද වන විට රට තුළ ඇති වී තිබෙන තත්ත්වය ගතහොත් මේ පාර්ලිමේන්තුවට රාජ්‍ය මූල්‍යමය වගකීම හරිහැටි ඉටු කරන්න බැරිවීම නිසායි මේ රට බංකොලෙත් කියලා දැන් කියන්නේ. ඒ වගේම මුදල් අමාත්‍යංශයේ ප්‍රධාන නිලධාරීන් මහබැංකුව, මූල්‍ය මණ්ඩලයේ ප්‍රධාන නිලධාරීන් කියන අයත් මේකට වගකියන්න ඕනේ. මුදල් මහා පරිමාණයෙන් අච්චු ගසා තිබෙනවා කියා තොරතුරු තිබෙනවා. මහ බැංකුව තමයි මුදල් අච්චු ගහන්නේ. නමුත් අපියි මෙතන බැණ

ගන්නේ. දැන් බැංකු අනුපාතය සියයට 30යි. ලෝකයේ කිසිම රටක් පොළී අනුපාතය තනි ඉලක්කමට තියා ගත්තේ නැති රටවල් දියුණු වෙලා නෑ. මුදල් අච්චු

ගහන්නේ පොළී අනුපාත තීරණය කරන්නේ විනිමය අනුපාත ආදීඒ සියල්ල තීරණය කරන්නේ මහ බැංකුව නමුත් අපේ ගෙවල් තමයි ගිනි තියන්නේ. අයවැය හදන්නෙත් නිලධාරීන්. ඒක තමයි අපි ඇවිත් මෙතන කියවන්නේ.

(මූලාසනයට ඉම්රාන් මහරැෆ් මහතා පැමිණේ)

බන්දුල ගුණවර්ධන මහතා-

අපි කිසිම ලෙසකින් මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක කරන්නේ නෑ. රට වැටිලා තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න මාධ්‍යයටත් වගකීමක් තිබෙනවා. රට ගැන විශාල වශයෙන් ප්‍රතිරෑප මාධ්‍ය ඔස්සේ කඩා වැටි තිබෙනවා. යම්කිසි දූෂණයක්, වංචාවක් තිබෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්න. දූෂණයෙන් තොර අමාත්‍යංශයක් ක්‍රියාත්මක කරන්නයි අපේ උත්සාහය.

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා –

අපි මේ විදේශ කටයුතු අමාත්‍යංශය මෙහෙයවන්නේඉතාමත්අසීරූ තත්ත්වයකයි. විශාල ප්‍රශ්න රැසක් මධ්‍යයේයි විදේශ කටයුතු අමාත්‍යංශය ගෙනියන්නේ. මේ ආර්ථික අර්බුදයේදී අපේ කෙටි කාලීන ඉලක්කයක් වන ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන කාරණයේදී අපි මුදල් අමාත්‍යංශයත් එක්ක ඉතාමත් කිට්ටුවෙන් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මෙරටට තවත් ගුවන් සේවා කිහිපයක් ගේන්න වගේම විදේශ

රැකියාවලට යවන ප්‍රමාණය සම්බන්ධයෙන් අපි ක්‍රියා කරලා තිබෙනවා.

පත් කළ මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය (ජා.ජ.බ)-

මේ වන විට රාජ්‍ය සේවය දේශපාලනීකරණය වෙලා කියන දෙය රහසක් නොවෙයි. ඒ තුළ විශාල ව්‍යාකූලත්වයක් ඇති වෙලා තිබෙනවා. අද බන්ධුල ඇමැතිතුමා කිව්වා අපේ රට ගැන ප්‍රතිරූපයට හානියක් වෙලා තිබෙනවා කියලා. එහෙනම් ඒක නිවැරදි කරන්න වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයටයි. ඒක කරන්න නම් ඒ අමාත්‍යංශයේ දූෂණ අඩු කරන්න ඕනා වගේම ඒ සඳහා දක්ෂ නිලධාරීන් අවශ්‍ය වෙනවා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා-

මේ කාලය තමයි අපේ රට ජාත්‍යන්තර වශයෙන් ඉතාම හෑලුලු වුනු කාලය. අපිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් විතරක් නොවෙයි ආර්ථික විනාශයත් කතා බහට ලක්වුණා. මේ ආණ්ඩුව බලයට එන්න වඳ බෙහෙත් , වඳ කොත්තු වගේ දේවල් කතා කරලා. දුර්වල නායකයාට පැනලා යන්න වුණා විතරක් නොවෙයි රටවල් ගණනාවකින් දේශපාලන රැකවරණයත් ගන්න බැරි වුණා. එදා ඉඳන් බීන්, කොටියා, මහ බැංකු හොරා කියලා කියපු කෙනාවම මෙතුමන්ලාට තමන්ගේ නායකයා කර ගන්න වුණා. බලන්න මන්ත්‍රීවරුන්ගේ ගෙවල් මෙච්චර ගිනි තියපු රටක් වෙන කොහේද තියෙන්නේ.

(ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා මූලාසනයට පැමිණේ)

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා –

මේ වන විට මාධ්‍යය ආණ්ඩුවේ තර්ජනවලට යටත්වෙලායි ඉන්නේ. හිට්ලර් පන්නයේ ආණ්ඩුවක්

ගැන කතා කරන කොට වක්‍රාකාරයෙන් කියන්නේ මාධ්‍යය දඩයමක් කරන්න යන බවයි. අපේ රටේ අද ඉන්න ජනාධිපති ඉන්දියාවේ සිටින ජනාධිපතිට සමානයි. ඉන්දීය ජනාධිපති ජනතා ඡන්දයෙන් නොවෙයි තේරී පත් වෙලා ඉන්නේ. මේ ජනාධිපතිත් එහෙමයි. ඒ නිසා අපේ රටේ ජනාධිපතිට තිබෙන්නේ ඉන්දියාව පන්නයේ ජනාධිපතිකමක්. තෝරා ගත්ත ජනාධිපතිවරයෙක්. නැතුව තේරී පත්වූ ජනාධිපති කෙනෙක් නොවෙයි. ඒ නිසා තෝරා ගත්තු ජනාධිපතිවරයකුට ඕනා ඕනා දේ කරන්න බෑ.

සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය-

මේ රටේ ප්‍රවාහන සේවය සංචාරක ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය දෙයක්. මේක දියුණු කළ යුතුයි ඇත්තටම. ඒ වගේම මම මාධ්‍ය ගැන කියන්න ඕනා. අපි දකින්නේ මඩ ගහන දේවල් තමයි. මේවා නවත්වන්න ඕනා.ඒවාට නීති ගේන්න ඕනා.

පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා (සජබ)-

අපට මාධ්‍ය මර්දනයක් පෙනෙන්න තිබෙනවා. මේකෙන් වෙන්නේ ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්වෙන්න වෙනවා. අපට මතකයි මාධ්‍යවේදීන් ඒ කාලේ ඝාතනය වුණා. ඒකෙන් වෙන්නේ රටේ කිරීතියට හානියක් වෙන එක පමණයි.

පත්කළ මන්ත්‍රී හරිනි අමරසූරිය (ජාජබ)-

දුම්රිය මාර්ග හා ප්‍රවාහන නඩත්තුවීම් වලට අවශ්‍ය මුදල් වෙන්කර නෑ. එතුළින් ජනතාව අසීරුවට පත්වෙලා. නිලධාරීන්ගේ කැපවීම හා ශක්තිය විනාශ වෙනවා. ආණ්ඩුවේ ක්‍රියා මාර්ග නිසා පරිපාලන ගැටලු විසඳීමට ක්‍රියා කරන්න.

රටේ කීර්ති නාමයට හානි වුණේ ආණ්ඩුව අරගලකරුවන්ට එරෙහිව ක්‍රියා කළ ආකාරය අනුවයි. දූෂිතයන්ට නිසි දඬුවම් නොදීමත් ජාත්‍යන්තරව රට හෑල්ලු වීමට හේතු වුණා.

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න-

ලබන වසරේ මුල් කාර්තුව තුළදී අකුසලතා ක්‍රමය රියැදුරන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා. ඒ තුළින් රිය අනතුරු පාලනය කළ හැකියි. දඩ කොළ මගින් රුපියල් බිලියනයක් පමණ රජයට උපයා දෙනවා. ඉන් සියයට 40 ක් පමණ ත්‍යාග දීමට පොලිසිය යොදනවා. රිය අනතුරුවලට අනුව ත්‍යාග දීමට මෙම මුදල් පොලිසිය භාවිත කළ යුතුයි. වෙන වෙන ඒවාට භාවිත කළ නොහැකියි.

වාහන ප්‍රමාණය වැඩිවීම නිසා පරිසර හානිය වැඩියි. දුම් සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළ නිසා පාරිසරික වශයෙන් වාසි ලැබී තිබෙනවා.

ලබන ජනවාරි මාසයේ සිට හෙරොයින් කොකේන් භාවිත කර වාහන පැදවීම ගැනත් සෙවීමට ජනවාරි සිට ක්‍රියා කරනවා. එක්සත් රාජධානිය රටවල් කිහිපයක මෝටර් බලපත්‍ර පිළිගන්නවා. ලංකාවේ බලපත්‍රයන්

පිළිගැනීමට එම රට ක්‍රියා කරමින් ඉන්නවා. බිහිරි අයට වාහන තිබුණත් රියැදුරු බලපත්‍ර ලැබුණේ නෑ. නියාමක ව්‍යාපෘතියක් 50 දෙනකු යොදාගෙන කරනවා. මාස තුනකින් එහි ප්‍රගතිය බලලා ඔවුන්ට බලපත්‍ර දීමට ක්‍රියා කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ (සජබ)-

අද වාහන තදබදය අවම කළ හැක්කේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමෙන් පමණයි. වැයවන ඉන්ධන ප්‍රමාණයත් අඩුකළ හැකියි.

ලංගම බස් රථ 4500 ක් පමණ දිනකට ධාවනය වෙනවා. මේවා ලොරි චැසි මත තියෙන්නේ. අලුත් බස් රථ ගෙන්විය යුතුයි. සුඛෝපභෝගී බස් 67 න් 35 යි දැන් ධාවනය වෙන්නේ.

දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව අසීරුවට පත්වෙලා. පීලි 50000 ක් විතර වසරකට අවශ්‍යයි. දසදහසක් පමණයි මේ වසරේ ගෙන්වා තියෙන්නේ. දුම්රිය මාර්ග හා සංඥා දුර්වලතා දුම්රිය ප්‍රමාදයට හේතු වෙලා. මාර්ග නඩත්තුව නිසි පරිදි වෙන්නෙ නෑ.

කැලණිවැලි දුම්රිය මාර්ග ව්‍යාපෘතිය නතර වෙලා. තවදුරටත් දුම්රිය ප්‍රමාදය පැවතියහොත් ජනතාව ඉන් ඉවත් වේවි. ප්‍රවාහන ක්‍ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම අත්‍යවශ්‍යයි. ප්‍රවේශපත්‍ර ඩිජිටල් විය යුතුයි. සැහැල්ලු දුම්රිය ගමනය මේ ආණ්ඩුව නැවැත්වූවා. එය ජපානය අපේ රටට ණය දීම නැවැත්වීමටත් හේතු වුණා.

ප්‍රවාහන ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කරන්න.

කිලෝ මීටර් ලක්‍ෂයක් කාපට් කරන්න අති විශාල මුදලක් වැයවෙනවා. මේවා නිසා රටේ ආර්ථිකයට දැඩිව බලපානවා. රටේ මාර්ග තියෙන්නේ කිලෝ මීටර්

75000 ක් විතර ලක්‍ෂයක් නෑ.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

අපි ජාත්‍යන්තර වශයෙන් විනාශ වී අවසන්. නිදහස ලැබුණුදා සිට ආණ්ඩු ගණනාවක් තිබුණා. රට බංකොලොත් කරලා ගියා. ණය ගත්තා. ණය කළමනාකරණය කළේ නෑ. පළවෙනි අය වැයෙන්ම මේ ආණ්ඩුව බිලියන 800 ක් නැති කර ගත්තා.

ලොකු සමාගම්වලින් බිලියන 800 ක් යහපාලන ආණ්ඩුව බදු ගත්තා. ඔවුන් මුදල් හංගගෙන හිටියේ. එදා පාරවල් හැදුවේ ලංකාවේ සල්ලිවලින්. කඩවත, මීරිගම අධිවේගී කොටසටත් ලංකාවේ මුදල් වැය කරන්න හිටියේ. එය 2021 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා චීනයට දුන් ලියුමක් නිසා නොහැකි වුණා. දැන් චීනය ඒ කොටස දාලා ගිහිල්ලා.

රාජ්‍ය ඇමැති කනක හේරත්-

පොදු ප්‍රවාහනය දියුණු කිරීම වර්තමාන රටේ තත්ත්වය අනුව අත්‍යවශ්‍යයි. දුම්රිය සේවාව භාණ්ඩ ප්‍රවාහනයට යොදවා ගන්න. ආර්ථිකය ශක්තිමත් කිරීමට පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍යයි. ප්‍රවාහන ප්‍රතිපත්ති කඩිනමින් ගෙන එන්න.

පත්කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් (ශ්‍රීලපොපෙ)-

රටේ පවතින අර්බුදය හමුවේ විදේශ අමාත්‍යාංශයට විශාල කාර්ය භාරයක් තියෙනවා. නොබැඳී ජාතීන්ගේ සහාය ලබාගෙන අපේ ගැටලු නිරාකරණයට යා යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ආධාර ගැනීම වැනි කටයුතු

රැසක් පවතිනවා. ඒවා නිවැරදිව මෙහෙයවීමේ වගකීම එම අමාත්‍යාංශයට තිබෙනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න (ශ්‍රීලපොපෙ)-

කවුරු ආණ්ඩු කළත් සුබ සාධනයට බලගතු ඉඩක් තබන්න අසීරුයි. මම රජයට යෝජනා කරනවා යළි ජනමාධ්‍ය රක්‍ෂණ වැඩපිළිවෙළ සිදුකරන ලෙස.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන-

තානාපති කාර්යාල කිහිපයක් වසා දැම්මා. වැසිය යුතු ඒවාමද වැහුවේ කියා සොයා බැලිය යුතුයි. නෝර්වේ තානාපති කාර්යාලය වසා දැම්මා. ඒ රට අපට ආර්ථික අතින් විශාල සහයක් දුන්නා. තවත් වැසිය යුතු කාර්යාල තිබියදී නෝර්වේ තානාපති කාර්යාලය වසා දැමීම සුදුසු නෑ.

ජාත්‍යන්තර හොඳ හිත නැතිව ගියේ 2015 ට පෙර ආණ්ඩු පක්‍ෂයේ සිදුවූ සිද්ධීන් කිහිපයක් නිසයි.

තානාපති සේවය හා කාර්යාල පූර්ණ ප්‍රතිසංවිධානයක් කිරීම අවශ්‍යයි. අපි ලෝකය පුරා කටයුතු කළ යුත්තේ කෙසේද කියලා සිතා කටයුතු කළ යුතුයි. මගේ කාලයේ විදේශ ආයෝජන සිය ගණනක් රටට ගෙනාවා. අපි කරන දේවල් දෙස මුළු ලෝකයාම බලා සිටිනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ)

ජනාධිපතිවරයා මාධ්‍යට තර්ජනය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න මාධ්‍ය අයිතීන් ශක්තිමත් කළ යුතුයි. තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කළ යුතුයි. මාධ්‍යයෙන් පලිගන්න ඉඩ දෙන්න බැහැ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නිසි පුහුණුවක්, ගරුත්වයක්, වැටුපක් ලැබෙනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. අද එදාට වඩා තොරතුරු ගලායෑම වේගයෙන් සිදු වෙනවා. ඒ නිසා රජය මේ ගැන සොයා බලන්න.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

විදේශ අමාත්‍යාංශය මුළුමනින්ම ප්‍රතිසංවිධානය විය යුතුයි. ඒ තරමට නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිගත නොහැකියි.

විදේශ තානාපති සේවයට යැවිය යුත්තේ විභාගයක් කරලා. එහි භාෂාව අත්‍යවශ්‍යයි. රටේ සම්බන්ධතා පුළුල් කිරීම විදේශ නිලධාරීන්ගේ වගකීමක්. සම්බන්ධතා වැඩි නොකරන තාක් රටට කිසිම සහනයක් ලැබෙන්නේ නෑ.

අන්තර්ජාලය හරහා පවතින මාධ්‍ය අද ඉතා වේගවත්ව ජනතාව අතරට යනවා. ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. ලංකාවේ පෞද්ගලික හෝ රාජ්‍ය මාධ්‍ය කියා දෙකක් තිබිය යුතු නෑ. රජයට මාධ්‍ය අවශ්‍යත් නැහැ. සං්‍යාත අයිති රටට. ඒ නිසා ජනතාවට වගකියන තත්ත්වයක් මාධ්‍යවල ඇති විය යුතුයි. ලෝකයේ කිසිම රටක් රාජ්‍ය මාධ්‍ය පවත්වාගෙන යන්නේ නෑ.

රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

තැපල් දෙපාර්තමේන්තුවේ සේවකයන් 27000 ක් පමණ සේවය කරනවා. නිදහස් තැපෑල මන්ත්‍රීවරුන්ට නොමිලේ දෙනවා. මේ ගැන කතා කරන්නේ නෑ. බිලියන 7 ක විතර පාඩුවක් ලබනවා. එය පියවා

ගැනීමට නිසි වැඩපිළිවෙළක් සූදානම් කර තියෙනවා. තැපැල් කාර්යාල පනත තැපෑල දියුණු කිරීමට බාධාවක් වී තිබෙනවා. අවුරුදු 14 ක් පැරණි පනත 2023 දී සංශෝධනය කිරීමට පියවර ගන්නවා.

පත් කළ මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන (ශ්‍රීලපොපෙ)

කැලණිවැලි දුම්රිය මාර්ගයේ වැඩකටයුතු වහාම පටන් ගන්න. ඒ සඳහා වහාම පාර්ලිමේන්තු අනු කමිටුවක් පත් කරන්න. පොදු ප්‍රවාහනය මීට වඩා ආකර්ෂණය කළ යුතුයි. දිනපතා කැලණිවැලි මාර්ගය පාවිච්චි කරන්නේ 20,000 ක් විතරයි. ඉදිරියේදී එය ලක්ෂය ඉක්මවාගත යුතුයි. ඉන්දියාව මෙන් සූර්ය ශක්තිය මගින් විදුලිය ලබාගෙන විදුලි දුම්රිය 2023 දී වත් ඇති කිරීමට උත්සාහ කළ යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා

රාජ්‍ය මාධ්‍යවලින් ජනතාව ක්‍රමයෙන් ඈත් වෙමින් පවතිනවා. පාලක පක්ෂය හැම විටම බෝක්කුවක්, පාරක්, ඇළක් හැදුවත් සංවර්ධනය මුවාවෙන් පුළුල් ප්‍රචාර ලබා ගන්නවා. ඒ අය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යක් බවට රාජ්‍ය මාධ්‍ය පත් කරගෙන. ඒ ආයතන අද පවත්වාගෙන යන්න බැරි තත්ත්වයට පත්වෙලා.

මුද්‍රිත මාධ්‍ය ප්‍රාදේශීය මුද්‍රණය අඩු කරලා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ටත් ලොකු පහරක් එල්ල වෙලා.

පාර්ලිමේන්තුව අද 29දා පෙරවරු 9.30ට යළි රැස්වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment