මූල්‍ය විනය කොහිද?

799

අප රට මේ මොහොතේදී දරුණු ආර්ථික අර්බුදයක ගිලී තිබේ. රටට අවශ්‍ය ඩොලර් සංචිත නොමැති නිසාවෙන් තෙල් පෝලිම්ද, ගෑස් පෝලිම්ද, කිරිපිටි පෝලිම් ද ඇති වී තිබේ. අවශ්‍ය ප‍්‍රමාණයෙන් විදුලි බලාගාරවලට තෙල් ලබාදීමට නොහැකි වීමෙන් පැය හතකට වැඩි ප‍්‍රමාණයක් විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇත. එනිසා මේ මොහොතේ රට හමුවේ ඇති ප‍්‍රධාන අභියෝගය වන්නේ අප රටේ ඩොලර් සංචිතය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යෑමයි. සම්මතය අනුව රටක් ලෙස අප මාස තුනකට හෝ සෑහෙන ඩොලර් සංචිත පවත්වාගෙන යා යුතුව තිබේ. නමුත් දැනගන්නට ඇති ආකාරයට එම ප‍්‍රමාණය මේ වනවිට සති තුනකට සීමා වී තිබේ.

මෙම තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට ඉදිරි කාලය තුළ දැඩි මූල්‍ය විනයක් සහිතව රටේ ආර්ථිකය හැසිර විය යුතුව තිබේ. ශ‍්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතකදී නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ අප රට විදේශ මුදල් ලබා ගැනීමට අඛණ්ඩ උත්සාහයක නිරතව සිටියත් විදේශ ණය වගකීම හමුවේ ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත ප‍්‍රමාණවත් නොවන බවයි. ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ප‍්‍රතිපත්තිය දැඩි කළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද නිර්දේශ කර ඇත.

කොරෝනා අර්බුදය අප රටට ද සිදු කළ බලපෑම් නිසා අප රටේ ඩොලර් සංචිතය ශක්තිමත් කළ විදේශ පේ‍්‍රෂණ අඩු විය. එසේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම අහිමි වීම ද ඊට සෘජු බලපෑම් එල්ල කළ බව නොරහසකි. අපේ විදේශ සංචිතය ශක්තිමත් කළ අපනයන ආදායම පසුගිය වසර (2021) ඇමරිකන් ඩොලර් බිලියන 12.5 ක් දක්වා ඉහළ ගිය ද ආනයන වියදම ඇමරිකන් ඩොලර් බිලියන 20.6 දක්වා ඉහළ යෑම නිසා අපේක්ෂිත ඉලක්ක සපුරා ගත නොහැකි විය. එනිසා දැඩි මූල්‍ය හිඟයක් සහිතව අප ක‍්‍රියා නොකළත් ඉදිරියේදී අර්බුදය තවත් තීව‍්‍ර වනු ඇත.

උදය ගම්මන්පිල ඇමැතිවරයා ඇමැති පට්ටම ගැලවීමට පෙර මාධ්‍ය හමුවේ කියා සිටියේ මේ මොහොතේ රට තුළ පවතිනුයේ ඉන්ධන අර්බුදයක් නොව විදේශ සංචිත අර්බුදයක් බවයි. එනිසාම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කළ යුතු බවට ඔහු රජයට යෝජනා කර තිබිණි. මිදි, ඇපල්, දොඩම්, චොක්ලට්, මී පැණි පමණක් නොව වතුර පවා ආනයනය කිරීමට අප රටින් පිටරටට විදේශ විනිමය වැය වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබිණි. ඔහුගේ තර්කයේ සත්‍යයක් තිබේ. රටක් මූල්‍ය අර්බුදයක ගිලූණු විට අප මුලින්ම කළ යුත්තේ අත්‍යවශ්‍ය නොවන වියදම් සීමා කිරීමය. එය සාමාන්‍යයෙන් පුංචි ළමයකුට වුවද තේරෙන කාරණයකි.

අප රටක් වශයෙන් පසුගිය දශක ගණනාවක් කරන වැරැද්දක් වනුයේ අපේ රටේ නිෂ්පාදනය කළ හැකි බොහෝ දේ පිටරටින් ගෙන්වීම ය. ඒ අතරින් පිටිකිරි සහ ටින් මාළු විශේෂය. අපේ රටේ කිරි කර්මාන්තය රටේ පරිභෝජනය ඉක්මවා වුවද ව්‍යාප්ත කර ගැනීමට තිබියදී ඒ ගැන කිසිදු රජයක් පියවර ගත්තේ නැත. රට වටේටම මුහුද ඇතත් අපේ රටේ පරිභෝජනයට සරිලන ප‍්‍රමාණයට ටින් මාළු නිෂ්පාදනය කර ගැනීමට අපොහොසත්ව සිටී. එනිසා දැන්වත් අපේ රටේ ආර්ථිකය නිසි පීල්ලට ගැනීමට නම් මේවා පිළිබඳව අයවැය යෝජනාවල සුන්දර කතාවලට සීමා නොකර ක‍්‍රියාත්මක කළ යුතුය.

මූල්‍ය විනය සෑදීමේදී රාජ්‍ය ආයතනවලටද ඇත්තේ සුවිශේෂී වගකීමකි. ඉකුත් සමයේ මෙරට විෂය භාර අමාත්‍යවරයාගේ අභිමතය පරිදි මුදල් වැය කිරීම හේතුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාවක් සිදුව ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබිණි. එය ඉදිරියේ නොවීමට අවශ්‍ය නීති හඳුන්වා දිය යුතු බවද අගමැතිවරයා මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබිණි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පමණක් නොව අප රටේ බොහෝ රාජ්‍ය ආයතනවල මුදල් භාවිතය පිළිබඳව ඇත්තේ එතරම් ප‍්‍රසාදජනක හැඟීමක් නොවන බව කිව යුතුය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පමණක් නොව අනෙක් රාජ්‍ය ආයතනවලද සිදුවන අක‍්‍රමිකතා හා දූෂණ නැවැත්වීම සඳහා අවශ්‍ය නීතිරීති සම්පාදනය කරන්නැයි අපි ඇමැතිවරුන්ට යෝජනා කිරීමට කැමැත්තෙමු. යම් පුද්ගලයකුට මූල්‍ය විනයක් නැතිවුවහොත් එය ඔහුගේ ආර්ථිකය පිරිහීමට කාරණයක් වන්නේය. මෙම තත්ත්වය යම් පවුල් සංස්ථාවකට වුවද පොදුය. එසේම එය රටකට වුවද පොදුය. රට තුළ සිදුවන සෑම ගනුදෙනුවක්ම මූල්‍ය විනයක් සහිතව සිදු නොවුණොත් එතැන සිදුවන්නේ අවැඩකි. වංචාවකි. එය රටේ සමස්ත ආර්ථිකයේම කොඳු නාරටිය බිඳවැට්ටීමට තරම් ප‍්‍රබල වීමට පුළුවන. එනිසාම පවතින අර්බුදයෙන් ගොඩයෑම සඳහා මූල්‍ය විනයක් සහිත රටක් හැදීමට පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment