මූල්‍ය විනයක් නෑ; විමල් එක්ක බෑ… ලේකම් අස්වෙයි

382

මනෝජ් අබයදීර
 
 කර්මාන්ත සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාට මූල්‍ය විනයක් නොමැති බවත්, අමාත්‍යවරයා විසින් තමා වෙත ලබාදෙන නීති විරෝධී නියෝග පිළිපැදීමට නොහැකි බවත් සඳහන් කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.
 
 ඒ අනුව තවදුරටත් තමා රාජ්‍ය පරිපාලන සේවයේ නිරත නොවීමට තීරණය කර ඇති හෙයින් තමාට විශ‍්‍රාම යෑම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ද අනුෂ පැල්පිට මහතා සිය ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
 අමාත්‍යාංශ ලේකම්වරයාගේ මෙම විශ‍්‍රාම යෑමත් සමග කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජෙනරල් දයා රත්නායක මහතා ද වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු හාබර් මාස්ටර්වරයකු වන කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා ද පත් කර තිබේ.
 
 රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අනුෂ පැල්පිට මහතා, 2015 ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් වැය කර සිල්රෙදි බෙදාදීම ඇතුළු අධිචෝදනා තුනකට, එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග මහාධිකරණය විසින් වරදකරුවන් ලෙස තීන්දු කරනු ලැබීය.
 
 ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා 2017 සැප්තැම්බර් 17 වැනි දින නියෝග කළේ ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර 3 ක සිර දඬුවම්, රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ සහ රුපියල් ලක්ෂ 500 බැගින් වූ වන්දියක් ගෙවන ලෙසයි. පසුව 2020 නොවැම්බර් 19 වැනිදා අභියාචනාධිකරණය විසින් සිල්රෙදි නඩුවේ චෝදනාවලින් අනුෂ පැල්පිට මහතා සහ ලලිත් වීරතුංග මහතා නිදොස් කොට නිදහස් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment