මෙතෙක් පමාවී තිබූ විශ්‍රාමික පාරිතෝෂිකය ගෙවන්න කැබිනට් අනුමැතිය

131

මෙතෙක් පමාවී තිබු රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ අනුව 2021 වර්ෂයට අදාළව මේ වනවිට ගෙවිය යුතුව පවතින විශ්‍රාම පාරිතෝෂික ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් මේ වසරේ ඔක්තෝබර් මාසය අවසානයට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබාදීමට නියමිතය. 2022 වර්ෂයට අදාළ විශ්‍රාම පාරිතෝෂික මුදල් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මාස 06ක් ඇතුළත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබාදීමටද අනුමැතිය හිමිවී තිබේ.

විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේ ක්‍රමවේදය තිරසාරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කර යෝජනා ඉදිරිපත් කිරීම සඳහා හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමටද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

මෙම කමිටුවේ සභාපතිත්වය මහා භාණ්ඩාගාරයේ ලේකම් විසින් නම් කරනු ලබන භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකුට හිමිවන අතර ලේකම් වශයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් නම් කරනු ලබන අදාළ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කටයුතු කළ යුතුව ඇත. මෙම කමිටුවේ සෙසු නිලධාරීන් ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් නම්කරන එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්, විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්, ජාතික අයවැය අධ්‍යක්‍ෂ ජනරාල්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළත්ය. මෙහි වාර්තාව මාසයකදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුවේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment