මෙදා අවුරුද්දේ ඇයි ඇහුණේ නැත්තේ රතිඤ්ඤා සද්දේ…රතිඤ්ඤා නිෂ්පාදකයා හාන්සියි

314

නිලා මෙන් ලස්සන නැති ගිනිකෙළි නිෂ්පාදකයාගේ කඳුළු කතා

මේ සටහන ලියන මොහොත වනවිට 2023 වසරේ මුල්ම මාසයේ මුල්ම සතියයි. වෙනදාට වසර අවසාන මුළු රටම මේ කාලය වන විට එකම නව පිබිදීමකින් නව වසර පිළිගන්නට ලකලෑස්ති වෙයි. සෑම ගමක් නගරයක් පාසාම අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරී ඉතිරී යයි. ඒ නව වසරට අලුත් ඇඳුම් ආයිත්තම්, ගෙදරට අවශ්‍ය අනෙකුත් බඩු භාණ්ඩ මිලට ගැනීමටය. නමුත් මෙවර කිසිදු නගරයක අලුත් අවුරුද්දට සූදානම් වන බවක් පෙනෙන්නට තිබුණේ නැත. අතේ සතේ නැතිව ඉන්න ජනතාවට අලුත් අවුරුද්ද කියන වචනය ඇසෙන විටත් යන්නේ කේන්තියකි. ඒ එදා වේල පිරිමසා ගන්නේ කෙසේ දැයි අසන්නේ කල්පනා කරන ජනතාවට අලුත් අවුරුද්ද හිසට බරක් වන බැවිනි.

අලුත් අවුරුද්ද, නත්තල ළඟ එන බව රටටම කියාපාන එක් මාර්ගයක් වන්නේ රටපුරා දැල්වෙන රතිඤ්ඤා සද්දයයි. නමුත් ගෙවී ගිය නත්තල් සමය තුළ රතිඤ්ඤා ශබ්දය ඇසුනේ නැති තරම්ය. වෙනදාට නත්තලට සතියකට පෙර සිටම හා නත්තල් දවසට විනාඩි 5-10 එක දිගට දැල්වෙන රතිඤ්ඤා මෙවර දැල්ලුනේ නැත. කොළඹ නගරය ආශ්‍රිතවද රතිඤ්ඤා හඬ අහන්න ලැබුණේ ඉතාමත් අඩුවෙනි. එයට ප්‍රධාන හේතුව මිනිසුන් අත මුදල් නැතිකමද? නැතිනම් රතිඤ්ඤා මිල ඉහළ යෑම ද එසේත් නැතිනම් රතිඤ්ඤා දැල්වීමෙන් අනතුරු සිදුවන බවට නිරන්තර දැනුවත් කිරීම ද යන්න වැඩිදුරටත් සොයා බැලීමට අප තීරණය කළේ එය නත්තල් සමයේ ලොකුවට අඩුවක් සේ දැනුණු නිසාය. වෙනදා පාර අයිනේ තැන තැන දැකිය හැකි කුඩා රතිඤ්ඤා අලෙවි ස්ථාන දැකිය නොහැකි බැවිනි.

රතිඤ්ඤා යැයි කියූ සැණින් සිහියට නැගෙන්නේ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයයි. මේ ආශ්‍රිතව පිහිටි කටියල, කදිරාන, කඳවල, මිරිස්වත්ත, දාගොන්න, වල්පොල, කටුවැල්ලේගම ලෙස කටාන ආසනය තුළ ගෘහ ආශ්‍රිතව මෙන්ම තරමක් විශාල කර්මාන්තශාලා වශයෙනුත් රතිඤ්ඤා නිෂ්පාදනය කරයි. රතිඤ්ඤා කර්මාන්තය මේ වනවිට කිඹුලාපිටියට අමතරව, ගාල්ල, මහනුවර, පූගොඩ, පුත්තලම ආදී ලෙසින් රටේ ප්‍රදේශ කිහිපයකම ක්‍රියාත්මක වේ. නමුත් රතිඤ්ඤා කරලේ මහ ගෙදර මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයයි. රතිඤ්ඤා කරලට සිදුව ඇති විපත්තිය විමසා බැලීමට අප ඒ ප්‍රදේශවල පිහිටි රතිඤ්ඤා නිපදවන ආයතන කිහිපයකටම කතාකොට බැලුවෙමු. මුලින්ම පසුගිය නත්තලේ හඬ නිහඬ වූ රතිඤ්ඤාව පිළිබඳ අදහස් දැක්වූයේ ගිනිකෙළි නිපදවන ප්‍රමුඛ ආයතනයක් වන ශ්‍රී රාම් ගිනිකෙළි ආයතනයයි. එහි හිමිකරු වන සුරේෂ් සංජීව කුමාර මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

මේ පාර නිෂ්පාදනය කළේ 25%යි ඒකෙනුත් භාගයක් ඉතුරුයි

මේ වනවිට රතිඤ්ඤා කර්මාන්තය කරගෙන යා නොහැකි ලෙස අමුද්‍රව්‍ය මිල තුන් හතර ගුණයකින් වැඩිවෙලා. එම අමුද්‍රව්‍ය යොදා නිපදවන භාණ්ඩ මිලත් තුන් හතර ගුණයකින් වැඩිවෙලා. මෙවර අපේ නිෂ්පාදන අලෙවි වුණේ 20% – 25% වගේ. අලෙවිය වගේම සමස්ත රතිඤ්ඤා කර්මාන්තය තුළම නිෂ්පාදනයත් අඩුවෙලා. වෙඩි බෙහෙත් හිඟය ඒකට ප්‍රධාන වශයෙන්ම බලපානවා. කිලෝ හතළිහක ඇලුමිනියම් පවුඩර් බැරල් එකක් රු. 39,900 සිට 1,28,000 දක්වා වැඩිවෙලා තියෙනවා. ඒව නැතුව ඉඳල ඉඳල අපිට හම්බවුණේ ගිය සතියෙ. පොටෑසියම් නයිටේ්‍රට් 11,250ට තිබුණෙ. දැන් 34,000 බේරියම් නයිටේ්‍රට් 8000 සිට 28,000 වෙලා. ඒ වගේම කාඩ්බෝඩ්, කොළ, ගම් මේ හැම දෙයක්ම වැඩිවෙලා. ඒකත් එක්කම රතිඤ්ඤා කරලක තොග මිල 3-4 සිට 8-10 දක්වා වැඩිවෙලා. වෙනදා මේ කාලෙ වෙද්දි අපේ නිෂ්පාදන 80% – 90% ක් විකිණිලා ඉවරයි. මේ පාර නිෂ්පාදනය කළේ 25% වගේ ප්‍රමාණයක්. ඒකෙන් භාගයක්වත් තවම අලෙවිවෙලා නැහැ.

පුපුරන ද්‍රව්‍ය ආනයනය කරන්නෙ රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව (STC) හරහා. එහෙම ගෙනල්ලත් මිල වැඩියි. පාස්කු ප්‍රහාරයට කලින් බේරියම් නයිටේ්‍රට් සහ ඇලුමිනියම් පවුඩර් පෞද්ගලික අංශය හරහා ආනයනය කරා. නමුත් දැන් ඒව ගේන්නෙත් (STC) එක හරහා. කීප දෙනෙක් ගෙන්වනවනම් තරගකාරිත්වයක් ඇතිවෙන නිසා මිල අඩුවෙයි කියල හිතෙනවා. මගේ ළඟ වෙන අවුරුදුවල 6-7 දෙනෙක් වැඩ කළා. මේ පාර ඒක 02 කට බැහැලා. අමුද්‍රව්‍ය මිලත් එක්ක මිනිස්සුන්ට පඩි ගෙවන්න බැහැ බඩු අලෙවි වෙන්නෙත් නැතිව. ඊට අමතරව වක්‍ර රැකියා ලෙස පැකිං කරන සහ බම්බු සපයන වෙනත් දේවල් සපයන ගොඩ දෙනෙක්ට රැකියා අහිමිවෙලා.

මීළඟට රතිඤ්ඤා කර්මාන්තයට පාවී ඇති අඳුරු වලාකුළ සහ කර්මාන්තයේ හෙට දවස කෙසේ වේවිද යන්න අදහස් දැක්වූයේ දිවයිනේ ප්‍රමුඛ පෙළේ රතිඤ්ඤා නිෂ්පාදන ආයතනයක් වන අලිඩෝං රතිඤ්ඤා කර්මාන්තායතනයේ අශාන්ති මහත්මියයි.

මෙදා අවුරුද්දේ ඇයි ඇහුණේ නැත්තේ රතිඤ්ඤා සද්දේ…රතිඤ්ඤා නිෂ්පාදකයා හාන්සියි

25ක් වැඩකළ තැන දැන් ඉන්නෙ 5යි.කෙමිකල් නිසි කලට වේලාවට නොලැබීම සහ මිල තුන් හතර ගුණයකින් වැඩිවීම රතිඤ්ඤා මේ පාර අඩුවීමට ප්‍රධාන වශයෙන්ම බලපෑව. අපි වගේ තරමක් ලොකුවට නැතිවගෘහාශ්‍රිතව කුඩාවට රතිඤ්ඤා නිපදවන අයට මේක තදින්ම බලපාල තියෙනවා. එයාලට ඒක දරන්න අමාරුයි. රතිඤ්ඤා කර්මාන්තය ගත්තොත් මහා පරිමාන ප්‍රැක්ටි්‍රවල නිපදවන භාණ්ඩයක් නෙවෙයි. මේක ගෘහාශ්‍රිත කර්මාන්තයක්. ඒ මිනිස්සු ගොඩක් දෙනෙක් මේකෙන් දැන් ඈත් වෙනවා. වෙනදට සාපේක්‍ෂව මෙවර නත්තල් සමයේ අපේ නිෂ්පාදන අලෙවිය 40% – 50% පහළ බැහැල තියෙනවා. ඊට අමතරව විදුලි බිල වැඩිවීමත් යම් තරමකින් බලපෑමක් එල්ල කරනවා. අලුත් බදු වැඩිවීම අප්‍රේල්වල එන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනකොට ගොඩක් බලපායි කියල හිතෙනවා. ඒ වගේම ගිය පාර 25ක් වැඩ කරපු අපේ ආයතනය මේ වෙනකොට 5 දෙනාට අඩුවෙලා තියෙනවා.

දකුණු පුරවරයේ නම ගිය ගිනිකෙළි කර්මාන්තායතනයක් වන්නේ සීබ්‍රා ගිනිකෙළි කර්මාන්තායතනයයි. එහි හිමිකරු වන දයාවංශ මහතා මෙම කර්මාන්තය පවත්වාගෙන යෑමේදී මුහුණදී ඇති ගැටලු පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි. පෞද්ගලික අංශයට පුපුරන නොවන අමුද්‍රව්‍ය ගෙන්වන්න දෙනවනම් හොඳයි.

අප මේ වෙද්දි ගැටලු රාශියක් මැද්දෙ මේ කර්මාන්තය පවත්වාගෙන යන්නෙ. වෙලාවට බඩු නොලැබීම මෙන්ම මිල අධිකවීම ප්‍රධානයි. ඒක නිසා වෙලාවට බඩු හදාගන්න බෑ. හදා ගත්තත් ඒව ගන්න මිනිස්සු අතේ සල්ලි නැහැ. කලින් 250- දීපු රතිඤ්ඤා පෙට්ටියක් දැන් 800 ක් වෙනව. 30-40 ට දීපු නිලා පෙට්ටියක් දැන් 250ක් වෙනව. අහස් කූරක් වුණත් එහෙමයි. මේ පාර රතිඤ්ඤා හඬ නැතිවෙන්න ප්‍රධාන හේතුව බඩු මිල වැඩිවීමයි. නමුත් අපිට ඊට අඩුවෙන් දෙන්නත් බැහැ අමුද්‍රව්‍ය මිල වැඩි නිසා. වෙන අවුරුදුවල මගේ ළඟ 10-15 ක් වැඩ කරනව. මේ පාර ඒක 2-3ට බැහැල. මම ලංකාවේම හෝටල් 30-40ක විතර නත්තල් දවස්වල මල් වෙඩි සංදර්ශන කරනව. මේ පාර ඒක 10-15 ට අඩුවෙල.

ආණ්ඩුව කියන තරම් විදේශිකයො ඇවිල්ලත් නැහැ. බොහෝ හෝටල්වලට දැන් තියෙන වියදනුත් එක්ක මේව කරගන්නත් බැහැ. වෙනද ලංකාව පුරාම මම ගියත් මේ පාර තෙල් මිලත් එක්ක දුර පළාත්වල හෝටල් මම අතහැරිය. වෙනද මම මාලදිවයිනේ පවා මල් වෙඩි සංදර්ශන පවත්වනවා.

ඒ වගේම ඉස්සර තිබුණ වගේ පුපුරන ද්‍රව්‍ය නොවන මේ කර්මාන්තයට අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය පෞද්ගලික අංශයට ගේන්න දෙනවනම් ගොඩක් හොඳයි. මමත් ඉස්සර අපට අවශ්‍ය දේවල් ආනයනය කළා. දැන් බඩු ගේන්න ඩොලර් ඇත්තෙත් නැහැ. ආණ්ඩුවෙන් ඩොලර් නිකුත් කරන්නෙත් නැහැ. මේ පාර නිලා පෙට්ටියක් ප්‍රින්ට් කරන්නම රුපියල් 22ක් යනව. වෙනද නිලා එක්කම නිලා පෙට්ටියක් විකුණුවෙ 30ට. මේ පාර ඒ ගානට නිලා නැතිව හිස් පෙට්ටියක් විතරක් දෙන්න පුළුවන්.

අපට අදහස් දැක්වූ තිදෙනාම සඳහන් කළේ අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යෑමත් සමග මේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටීමේ අවදානමක් මතුව ඇති බවයි. ඒ පිළිබඳ වැඩිදුරටත් විමසා බැලීමට අප සමස්ත ලංකා ගිනිකෙළි සංගමයේ ලේකම් ජීවන් මහතා සම්බන්ධ කර ගත්තෙමු. මේ ඔහු දැක්වූ අදහසයි. කටාන ආසනයෙන් හතරෙන් තුනක් ජීවත් වෙන්නෙ මේ කර්මාන්තයෙන්. ඍජුවම වෙඩිබෙහෙත් හා සම්බන්ධ නොවුණත් බම්බු එතීම, අහස් කූරට අවශ්‍ය ඉරටු ශුද්ධ කිරීම, ලේබල් ඇලවීම ආදී ලෙසින් ගමේම පිරිසගේ දායකත්වයෙන් තමයි මේ කර්මාන්තය කරන්නෙ. හැබැයි කෙටියෙන්ම කියනවනම් මේ පාර කර්මාන්තෙ ‘බුදි’. මේ වෙනකොට ගිනිකෙළි කම්හල් වැසීමත් සමග බොහෝ පිරිසකට රැකියා අහිමි වෙලා. මේ පාර අලෙවිය 25% කටත් වඩා අඩුයි. එක අතකින් බඩු වෙලාවට නොලැබුණ එක හොඳයි. බඩු හම්බවෙලා හැමෝම බඩු හැදුවනම් අලෙවියක් නැති නිසා කර්මාන්තකරුවා හාන්සියි. එහෙම බැලුවම මෙහෙම වුණ එක හොඳයි. නැත්නම් අමාරුවෙ වැටෙන ප්‍රමාණය තවත් වැඩියි.

සමස්ත ලංකා ගිනිකෙළි සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

මේ පාර ගිනිකෙළි කර්මාන්තය ඉවරෙටම ඉවරයි. ලංකාවේම බලපත්‍රලාභීන් 250ක් සිටිනවා. මේ වසරේ ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් 2 බලපත්‍රලාභීන් 207ක් සිටිනවා. ලංකාවේම මේ කර්මාන්තය හරහා 50,000 අධික පිරිසකට රැකියා අවස්ථා උදාවෙලා තියෙනවා. නමුත් දැන් තියෙන තත්ත්වයත් සමග ඉන් හරි අඩකට රැකියා අවස්ථා නැතිවෙලා. මේ කර්මාන්තයේ හෙට දවස අවිනිශ්චිතයි.

මේ සෑම දෙනකුගේ කතාවන් තුළින් කියැවෙන එක් පොදු කරුණක් තිබේ. ඒ මේ වන විටත් දහස් ගණනකට රැකියා, කීයක් හෝ උපයාගත් ආදායම් මාර්ග අහිමි වී ඇත බවයි. එම දහස් ගණනින් යැපෙන්නෝ ලක්‍ෂ ගණනකි. හෙට දින ඔවුන්ගේ කුස පුරවන්නේ කෙසේද යන්න මේ සියලු දෙනා හමුවේ ඇති අභියෝගයයි. ආණ්ඩුවෙන් බදු මෙන්ම විදුලි බිලත් ජනවාරි සිට වැඩි කිරීමට සූදානම් වේ. නමුත් මේ තීරණ ගන්නා පාලකයන් නිකමටවත් ඔවුන්ගේ මෝඩ තීරණ නිසා කීදෙනකුගේ රැකියා අහිමි වී ඇත්ද, කීදෙනෙක් බඩගින්නේ සිටිනවාද කියා බලනවාද. අලුත් අවුරුද්ද පැමිණෙන බව රටටම මුලින්ම හඬගා කියන ඔවුන්ගේ හඬ අද වනවිට නිහඬ වී ඇත. ඒ හඬ නැවත ඇතිවීමට නම් රටේ සිව් දිගින් රතිඤ්ඤා හඬ ගිඟුම් දිය යුතුය. එයට ඇති එකම මාර්ගය වන්නේ රතිඤ්ඤා නිෂ්පාදකයාට අඩු මිලට අමුද්‍රව්‍ය සැපයීම හා කලට වේලාවට හිඟයකින් තොරව භාණ්ඩ සැපයීමයි. එසේ නොවුණහොත් ළඟ එන ඡන්දයේදී රතිඤ්ඤා හඬට වඩා ඔවුන්ගේ හඬ උස්ව නැගෙනු ඇත. රතිඤ්ඤා නිපදවන ප්‍රදේශවල මැති ඇමැතිවරු හෝ කුඩා කර්මාන්ත ඇමැතිවරයාවත් පාර්ලිමේන්තුවේදී මොවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කරනු දක්නට නොලැබිණි. නැතිනම් අලුත් අවුරුද්දට පත්තු කරන්නට සිදුවනු ඇත්තේ උණ බම්බු වෙඩිය. මන්ද ඒ වනවිට ගිනිකෙළි කර්මාන්තය මෙරටින් තුරන් වී තිබිය හැකි බැවිනි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment