මෙදා නත්තලේ පේලේ රෝහලේ

315

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වන බ්‍රසීල ජාතික පේලේ මෙම දිනවල පිළිකාවක් හේතුවෙන් රෝහල්ගත කර සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය පවසයි. ඉකුත් වසරේ (2021) සැප්තැම්බර් මාසයේදී පේලේ මහාන්ත්‍රයේ හටගත් පිළිකාවකින් පෙළෙන බව වෛද්‍ය පරීක්ෂණවලදී හඳුනාගෙන තිබූ අතර වැළඳී තිබූ ශ්වසන ආසාදනයකට ප්‍රතිකාර ලැබීමට හා ඔහුට සිදු කරන කීමෝ තෙරපි ප්‍රතිකාරයේ තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ඉකුත් නොවැම්බර් මස 29 වැනිදා බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරයේ පිහිටි ඇල්බර්ට් අයින්ස්ටයින් යුදෙව් රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබිණි.

පේලේ ගේ වකුගඩු හා හෘදය වස්තුව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔහුට විශේෂිත ප්‍රතිකාර ලබා දෙන බව රෝහල විසින් ප්‍රකාශ කර තිබේ. සිය පියා අසාධ්‍ය තත්ත්වයේ පසු වීම හේතුවෙන් මෙවර සිය නිවසේ පැවැත්වීමට නියමිතව තිබූ නත්තල් සැමරුම අවලංගු කළ බව පේලේ ගේ දියණියක් වන කෙලි නස්සිමෙන්ටෝ පවසන්නීය. නත්තල සමරනවාට වඩා පවුලේ සාමාජිකයන්ට අවශ්‍යව ඇත්තේ පියා ළඟ අවශ්‍ය මොහොතේ රැඳී සිටීම බව ඇය සඳහන් කර තිබේ. 82 හැවිරිදි වියෙහි පසුවන පේලේ බ්‍රසීලය වෙනුවෙන් ලෝක කුසලාන පාපන්දු ශූරතා තරගාවලි 4ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තුනක් එනම් 1958,1962 හා 1970 යන වසරවල පැවති තරගාවලි ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය. පේලේ සිය ක්‍රීඩා ජීවිතයේ පාපන්දු තරග 1363කට සහභාගි වී ගෝල 1281 ක් ලබා ගෙන තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment