මෙන්ඩිස් සමාගම එකම දේපළ බැංකු දෙකකට ඇපයට තබලාද  – කෝප් කමිටුවේ අවධානය යොමුවේ

206

සීමා සහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේදැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) අවධානය යොමුවී තිබේ.

 මෙම බැංකු දෙකෙන් එකම දේපළ ඇපයට තබා රුපියල් කෝටි 700 ක පමණ ණය මුදලක් ලබාගෙන ඇති බවත් මේ සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දොපර්තමේන්තුව පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවටත් කෝප් කාරක සභාවේදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

 මේ පිළිබඳ තොරතුරු හෙළි වූයේ ලංකා බැංකුවේ 2018 – 2019 මුදල් වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට එහි ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඉකුත් දා ( 24 දා) කැඳවූ අවස්ථාවේදී ය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සහභාගිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්විය.

 ඉහළම අක්‍රීය ණය ශේෂ සහිත සමාගම් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර එම සාකච්ඡාවේදී සීමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම පිළිබඳව විශේෂ අවධානය යොමු විය.

 මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී පරීක්‍ෂණයක් කළ යුතු බව සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

 මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටු සභාපතිවරයා ද මෙහිදී පෙන්වා දුන්නේය.

 මේ අනුව ඉදිරියේදී අදාළ බැංකු දෙකම කෝප් කමිටුව ද සමගින් මෙම කරුණ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

 එසේම 2020 වර්ෂයේදී අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණයකට අනුව, බැංකුව විසින් පූර්ව පරිණත විශ්‍රාම ප්‍රතිලාභ ලෙස හිටපු සාමාන්‍යාධිකාරිට කරන ලද රු 32039733 ක මතභේදයට තුඩුදෙන ගෙවීමක් සම්බන්ධයෙන් ද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරිණි.

 එහිදී අදහස් දැක්වූ ලංකා බැංකුවේ සභාපතිවරයා මෙම සාමාන්‍යාධිකාරිවරයාගේ පූර්ව පරිණත විශ්‍රාම යෑමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය වැඩවර්ජනයක් පැවැත්වූ බවත් වැඩ වර්ජනය හේතුවෙන් දිනකට රුපියල් කෝටි 7 කට වැඩි පාඩුවක් සිදුවූ බවත් පැවසීය.

 මේ නිසා එම වැඩවර්ජනය ඉක්මනින් අවසන් කිරීමේ අරමුණෙන් මෙම තීරණය ගන්නට සිදුවූ බවද ඔහු කීවේය.

 මේ පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කළ බවද, බැංකුවට එක් දිනකදී සිදුවූ පාඩුව දින කිහිපයක් සිදුවිය හැකි නිසා මෙම තීරණය ගෙන ඇති බවද ලංකා බැංකුවේ සභාපතිවරයා සඳහන් කළේය.

 රජය සතු ව්‍යවසායයන්ට අයත් ණය සහ අත්තිකාරකම්වල මුළු හ`ිග ශේෂය පිළිබඳව ද කෝප් කමිටුවේදී සාකච්ඡා විය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ ණය අයකර ගැනීමට අපහසු රජයේ ව්‍යවසායයන් වෙනුවෙන් ණය ලබාදීම නුසුදුසු බවයි.

 එසේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා ලබා

 ගැනීම සඳහා ලංකා බැංකුව සතු හැකියාව සහ ඉදිරි පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

 මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, රවුෆ් හකීම්, පාඨලි චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය සරත් වීරසේකර, ජගත් පුෂ්පකුමාර ආචාර්ය නාලක ගොඩහේවා සහ එස්. එම්. මරික්කාර් යන මහත්වරු ද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment