මෙන්න ඇත්ත! වන්නි හමුදා ප‍්‍රධානීන්ගේ ජීවිත අනතුරේ: ඇමරිකානු සම්බාධක දිගටම

714

වන්නි මෙහෙයුමේ අවසාන සතියේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කළ මේජර් ජෙනරාල් උදය පෙරේරා සිය පවුලේ අය සමඟ ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් බලා යෑම සඳහා සිංගප්පූර් ගුවන් සේවා යානාවට ගොඩවීමට යන අවස්ථාවේ ඇමරිකානු රජය තහනමක් පැනවීමට ක‍්‍රියාකර ඇත.

මේ බව ඇමරිකානු බලධාරීන් සිංගප්පූර් ගුවන් සේවාවට විගස දන්වා තිබුණි. මෙහෙයුම දියත් කළ හමුදා ප‍්‍රධානීන් 58කට යුද අපරාධ චෝදනා එල්ලකර ඔවුන්ට විදේශ ගමන් බිමන් තහනම් කරනු ඇතැයි අපි මෙයට පෙර අනතුරු ඇඟ වූයෙමු. එහෙත් විදේශ කටයුතු නිලධාරීන් ඒ ගැන අවධානය යොමු කළේ නැත. හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පසු ප‍්‍රධාන අපරාධ චෝදනා එල්ලවී තිබූ නිලධාරියා මේජර් ජෙනරාල් උදය පෙරේරා ය.

ඒ සඳහා පසුබිම සකස් කළේ කවුරුන්ද? යහපාලන රජය සමයේ හමුදාවේ හිටපු මේජර් ජෙනරාල්වරයෙක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ගොස් පිටු 100ක දිවුරුම් ප‍්‍රකාශයක් ලබාදී තිබුණි. එහෙත් වත්මන් රජය ද ඔහුට එරෙහිව රාජ්‍ය ද්‍රෝහී චෝදනා ඉදිරිපත් කළේ නැත.

මේ පසුබිම මැද ජගත් යුක්තිය පිළිබඳ ඇමරිකානු තානාපති මයිකල් කොසැක් දින කිහිපයකට පෙර ශ‍්‍රී ලංකා රජයට අනතුරු ඇඟවීම් කර බරපතළ යුද අපරාධ කළ හමුදා නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බව ඇමරිකාවේ සිටින ශ‍්‍රී ලංකා තානාපතිවරයාට අනතුරු අඟවනු ලැබීය.

එම අනතුරු ඇඟවීමෙන් පසු මේජර් ජෙනරාල් උදය පෙරේරා සහ පවුලේ අයට තහනම පැනවීමට ක‍්‍රියා කෙරුණි. ඊට පෙර ලූතිනන් කොමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි සහ සුනිල් රත්නායකට තහනම පැනවුවත් අපේ විදේශ කටයුතු බලධාරීන් මෙරට කාර්යභාර ඇමරිකානු බලධාරියා ගෙන්වා විරෝධය පෑවේ නැත.

මෙන්න ඇත්ත! වන්නි හමුදා ප‍්‍රධානීන්ගේ ජීවිත අනතුරේ: ඇමරිකානු සම්බාධක දිගටම

මේජර් ජෙනරාල් උදය පෙරේරාට එරෙහි තහනම පැනවීමේ පසුබිමේ සිටින්නේ කවුද? මෙරට හිටපු මානව හිමිකම් කොමසාරිස්වරියක සහ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිනියක් ඒ සඳහා දායක විය. මොවුන් ඇමරිකානු කොංග‍්‍රසය හමුවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව සාක්ෂි දී ඇති අතර රජය හෝ විදේශ කටයුතු බලධාරීන් ඒ ගැන විමර්ශනය කළේ නැත.

ඊට සම්බන්ධ වූ තැනැත්තියක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් විසින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක් ලෙස පත්කර තිබේ. කොටි ත‍්‍රස්තවාදය පැරදවූ මෙරට මෙරට වන්නි මෙහෙයුමේ හමුදා ප‍්‍රධානීන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ඇමරිකාවට ඇති අයිතියක් නැත. රජයෙන් වැටුප් ලැබූ අම්බිකා නමැත්තියට ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ව පාවා දීමට ඇති හිමිකම කුමක්ද? ඇය රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කිරීමකි.

මේජර් ජෙනරාල් උදය පෙරේරා සහ පවුලේ අයට ඇමරිකාවට යෑම තහනම් කිරීම යුද අපරාධකරුවන් විසින් නඩු ඇසීමට සමානය. ඇමරිකාව අද ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ද්‍රෝහී පිළිවෙතකි. ට‍්‍රම්ප් පාලනය හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව විදේශ ගමන් තහනම පනවනු ලැබීය. ඔහු 51 වැනි සේනාංකය මෙහෙයවනු ලැබීය. ඉන්පසු මේජර් ජෙනරාල් උදය පෙරේරා නම් කෙරිණි. ඊට පෙර ඔස්ටේ‍්‍රලියාව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට එරටට යෑමට වීසා දුන්නේ නැත.

කමල් ගුණරත්න ද ඇමරිකානු ලැයිස්තුවේ සිටී. එහෙත් රජය ඇමරිකාවේ මෙම දීන ක‍්‍රියාව ගැන විරෝධය නොදක්වන්නේ මන්ද?

වන්නි මෙහෙයුමින් ශ‍්‍රී ලංකා හමුදාව පරාජය වී ප‍්‍රභාකරන් ජය ලැබුවේ නම් මෙවන් යුද අපරාධ චෝදනා එල්ලවන්නේ නැත. මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ සාක්ෂි 1,20000 ක් තමන් සතුව ඇති බවට ශ‍්‍රී ලංකාවේ රජයට ඇනතුරු අඟවා තිබේ. එසේම එදා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගිය විවිධ පාර්ශ්ව අද නිහඬවී සිටිති.

කොටි අපරාධ ලොවට ම හෙළි කළ බි‍්‍රතාන්‍යයේ ජෙයරාජ් පලිහවඩනට එරෙහිව හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා බි‍්‍රාතන්‍යයේ අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත. මේ තත්ත්වය මත ඉදිරියේදී වන්නි මෙහෙයුමේ සියලූ හමුදා නිලධාරීන් ඇමරිකානු තහනමට ගොදුරුවන බවට සැක කළ හැකිය.

එය බරපතළ තත්ත්වයකි. ත‍්‍රස්තවාදය පැරදවූ හමුදා ප‍්‍රධානීන් යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගසා ඇත්තේ යුද අපරාධ සිදු කළ ඇමරිකාවයි.

මේ සඳහා ගතහැකි පියවර කුමකද? මෙරට ආණ්ඩුපක්ෂ විපක්ෂ දේශපාලකයෝ නිහඬව සිටිති. එහෙත් කොටි ත‍්‍රස්තවාදීන් රාජ්‍ය නොවන සංවිධාන සහ ඔවුන්ගේ කොන්ත‍්‍රාත්කරුවන් වන ඒජන්තකරු බොරු සාක්ෂි තොග පිටින් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ වෙත යොමුකර තිබේ. එහෙත් රජයේ බලධාරීන් කිසිවක් කළේ නැත. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි.

එසේම ශ‍්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බවට ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද චෝදනා කර ඇතත් සාක්ෂි ඉදිරිපත් කර නැත.

මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ හමුදා නිලධාරීන්ට එරෙහිව 1,20000කට අධික සාක්ෂි ඇතැයි පැවසුවත් එම සාක්ෂිකරුවෝ හෙළි නොකරන්නේ මන්ද?

හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව 4000 සිට 7000 තෙක් වැඩි කළේය. බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා මා සමඟ පැවසුවේ ඇය සෑම වසරකම මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව වැඩි කරන බවයි. සත්‍ය වශයෙන්ම මියගිය සංඛ්‍යාව 6000 ත් 7000 ත් අතරවේ. බි‍්‍රතාන්‍ය ආරක්ෂක උපදේශක ඇන්ටන් ගෑෂ්ගේ වාර්තාවේ ඒ බව සනාථ කර තිබෙනවා. එහෙත් පසුගිය රජය එම වාර්තාව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වෙත ඉදිරිපත් කළේ නැහැ යැයි නේස්බි සාමි තවදුරටත් පළ කළේය. එහෙත් ඇමරිකානු රජය ද එම සත්‍ය වාර්තාව ගැන අවධානය යොමුකර නැත. මේ පසුබිම මත ශ‍්‍රී ලංකා රජය ද 120000ක් සාක්ෂිකරුවන්ව හෙළිකරන ලෙස මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ්ට අභියෝගනොකරන්නේ මන්ද?

දරුස්මාන් වාර්තාව කෙටුම්පත් කරන අවස්ථාවේ සාක්ෂිකරුවන් 4000 ක් පමණක් ඉදිරිපත්වී තිබුණි. එහෙත් වසර 30කට පසු එම සාක්ෂි සංඛ්‍යාව 120000 ක් බවට පත්වූයේ කොසේද?

මෙය විශ්වාස කළ හැකිද?

එසේම මේ සාක්ෂිකරුවෝ ඉදිරිපත් කරන්නේ යස්මින් සුකා නමැත්තියයි. කොටි හිතවාදීහු ඇයට සහය වී ඇත. එහෙත් ඇමරිකානු රජය කොටි න්‍යායචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ බිරිය වූ ඇඩෙලා බාලසිංහම්ව මේ වනතුරු යුද අපරාධ චෝදනා එල්ල කර නැත.

නෝර්වේ, ස්විස්, ප‍්‍රංශය සහ බි‍්‍රතානයේ ද කොටි අපරාධකරුවෝ 1000කට වඩා සිටිති.

මේ හැර රජයේ සමාව ලත් 12000ක කොටි අපරාධකරුවන් නොවේද?

මගීන් රැගත් ගුවන් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කළ කොටි ත‍්‍රස්තයන්ද වත්මන් රජය පසුගියදා නිදහස් කළේය.

එසේ වුවත් ඇමරිකානු රජය ඔවුන්ට විදේශ ගමන් බිමක් තහනම් කළේ නැත. මෙවන් වාතාවරණයක් මත කොටි පැරදවූ හමුදා ප‍්‍රධානීන් රැකගැනීම සඳහා බි‍්‍රතාන්‍යයට මෙම ශ‍්‍රී ලංකා රජය පාර්ලිමේන්තුව හමුවට පනතක් ගෙන ඒමට ක‍්‍රියා නොකරන්නේ මන්ද?

ඇමරිකාව බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් යුද අපරාධ පිළිබඳව අනුගමනය කරන්නේ දෙබඩි පිළිවෙතක. එහෙත් එම පිළිවෙතට අභියෝග කිරීමට පසුගිය කාලය තුළ රජය ක‍්‍රියාකර නැත. ඇමරිකාවේ යුද අපරාධ ගැන විමර්ශනය කළහොත් ඒබ‍්‍රහම් ලින්කන්ගේ සිට බරක් ඔබාමා දක්වා යුද අපරාධකරුවන් වේ.

ඇමරිකාවේ දකුණු කැරලිකරුවන් පැදවූ ජෙනරාල් ලී ද අංක එකේ යුද අපරාධකරුවෙකි ඇමරිකානු ඉතිහාසය ද ඊට සාක්ෂි දරයි. එහෙත් ඇමරිකාව ඇඟිල්ල දික්කරන්නේ ශ‍්‍රී ලංකාව – බංගලිදේශය වැනි රටවලට පමණකි.

මෙම පසුබිම මැද 2022 මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය ශ‍්‍රී ලංකාවට ඉතා දුෂ්කර තත්ත්වයක් උදාකරනු නියතය.

යුද අපරාධ චෝදනා එල්ලවූ හමුදා නිලධාරීන් 26 ක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් ලැයිස්තුවේ ඇත. ඔවුන්ටද ඉදිරි කාලයේ සර්වලෝක අධිකරණ නීතිය යටතේ සම්බාධක පැනවෙනු ඇත.

එහෙත් රුසියාව සහ චීනය හැර වෙන කිසිදු රටක් ඊට එරෙහි වන්නේ නැත. චීනය සහ රුසියාව නිසා ශ‍්‍රී ලංකාවට එරෙහිව එක්සත්ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවට යෝජනාවක් ගෙන ඒමට ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යයට නොහැකිය.

එහෙත් රාජ්‍ය නොවන ක‍්‍රියාකාරීන් ශ‍්‍රී ලංකාවට එරෙහි සතුරු ක‍්‍රියා දිගින් දිගට ම ක‍්‍රියාත්මක කරති. එසේ තිබියදී රාජ්‍ය බලධාරීහු නිහඬව බලා සිටිති. මෙම රාජ්‍ය නොවන සංවිධාන ජාලය මේ දේශපාලන ක‍්‍රියාව සිදුකරන්නේ මිනීමරු ප‍්‍රභාකරන්ගෙන් රට ගලවා ගත් හමුදාවට එරෙහිව බව රජය අවබෝධ කර නොගන්නේ මන්ද?

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment