මෙරට ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන සංවිධානය 22 ක් – නවසීලන්ත ඉස්ලාම් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය හෙළාදැක මාධ්‍ය නිවේදන නිකුත් කිරීම විහිළු සහගතයි

946

– ගලගොඩඅත්තේ ඥානසාර හිමි

මෙරට ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන සංවිධාන 22 ක් නවසීලන්ත ඉස්ලාම් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය හෙළාදැක මාධ්‍ය නිවේදන නිකුත් කිරීම විහිළු සහගත සහ කූට කටයුත්තක් බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (05 වැනිදා) ‘දිවයින’ ට පැවැසූහ.

නවසීලන්තය ප‍්‍රහාරය හෙළා දැක මෙරට මුස්ලිම් සංවිධාන විසිදෙකක් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවත් එහි ශ‍්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කළ යුතු බවට ‘කිලාෆත්’ සංකල්පය හඳුන්වාදුන්, ඇෆ්ගනිස්තානයේ පැවති යුද්ධයට පවා සිය සාමාජිකයන් යැවූ, මරාගෙන මැරෙන ප‍්‍රහාර සාධාරණීකරණය කළ ජමාතේ ඉස්ලාම් සංවිධානය සමග වහාබි සහ සලෆි මතවාදවලින් පෝෂණය වන තවත් සංවිධාන 21ක් සිටින බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මෙම නිවේදනය නිකුත් කිරීමෙන් මෙතෙක් අන්තවාදය නමැති හෙළුව වසාගෙන සිටි සුදු පිරුවට ගැලවී ගොස් සමස්ත ලෝකයටම ශ‍්‍රී ලංකාවේ අන්තවාදීන්ගේ හෙළුව නිරාවරණය වී ඇති බවත් කී උන්වහන්සේ සහරාන් ජීවත් වූවානම් ඔහුත් නිසැකවම මෙම ප‍්‍රහාරය හෙළාදැක නිවේදනයක් නිකුත් කිරීමට ඉඩ ඇති බවත් පැවසූහ.

ඉස්ලාම් ආගම ම්ලේච්ඡු ත‍්‍රස්ත ආගමක් බවට ලෝකයා හැඳින්වීමට පාදක වූ ප‍්‍රභලම මතවාද ලෙස ‘වහබ්වාදය සහ සලෆිවාදය’ හැඳින්වෙන බවත් කී ඥානසාර හිමියෝ මෙම ඒකාබද්ධ ප‍්‍රකාශය නිකුත්කළ සංවිධාන 22ක එවැනි ප‍්‍රකාශ නිකුත් කිරීමට පෙර ‘වහබ්වාදය සහ සලෆිවාදය ප‍්‍රතික්ෂේප කරනවා’ යැයි ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් හැකිනම් සිදුකරන ලෙසට බොදු බල සේනා සංවිධානය අභියෝග කර සිටින බවත් කීහ.

ඉස්ලාම් අන්තවාදයට තිත තැබීමට අවශ්‍ය නිසි ක‍්‍රියාමාර්ග ගන්නා තෙක් නවසීලන්ත ඕක්ලන්ඞ් ප‍්‍රහාරය වැනි හුදකලා ප‍්‍රහාරයන් ද මෙරට පාස්කු දින ප‍්‍රහාරය වැනි සැලසුම්ගත ප‍්‍රහාරයන් ද වැළැක්වීමට නොහැකිවනු ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

ඉස්ලාම් ආගමේ නාමයෙන් සිදුවෙන ප‍්‍රහාර නැවැත්වීමට නම්, වහබ්වාදය, සලෆිවාදය, ඉහ්වාන් සහ ජමාතේ ඉස්ලාම් යන මතවාදය සහිත සංවිධාන, රාජ්‍ය නොවන ආයතන, සුබසාධන ආයතන, අධ්‍යාපනික ආයතන තහනම් කළ යුතු බවත් එවැනි නව සංවිධාන ක‍්‍රියාත්මක කිරීම ද තහනම් කළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

එමෙන්ම මෙම මතවාද සහිත මුද්‍රිත ප‍්‍රකාශන, ශ‍්‍රව්‍ය දෘශ්‍ය ප‍්‍රකාශන, මෙරටට ගෙන ඒම, නිෂ්පාදනය කිරීම, මුද්‍රණය කිරීම ද එකී දේශනා, පොත්පත් අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීම ද තහනම් කළ යුතු යැයිද පූජ්‍ය  ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කියා සිටියහ.

මීට වසර 10 කට පමණ ඉහතදී ශ‍්‍රී ලංකාවෙන් පිටව ගොස් නවසීලන්තයේ වාසය කරමින් සිටි මුස්ලිම් ජාතිකයෙකු විසින් පසුගියදා (2 වැනිදා) දින පිහියක් යොදාගෙන අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ඉස්ලාම් ආගමේ නාමයෙන් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඥානසාර හිමියෝ කීහ. අහමඞ් ආදිල් මොහොමඞ් සම්සුදීන් නමින් දැනට හඳුනාගෙන ඇති පුද්ගලයා ප‍්‍රහාරය එල්ලකරන තෙක් බලාසිටීමට නවසීලන්ත ආරක්ෂක අංශවලට සිදුවී ඇති බවත් මෙවැනි තත්ත්වයක් ශ‍්‍රී ලංකාවේ ඇති වූවානම් ජීවිත පරිත්‍යාගයෙන් සේවය කරන ආරක්ෂක අංශ වෙත අවස්ථාවාදී දේශපාලකයන් ඇඟිල්ල දිගු කරනු ඇති බවත් උන්වහන්සේ පැවැසූහ.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment