මෙරට පළමු ටෙලි නාට්‍යය රූගත කළ “තලේ අයියා” නික්ම යයි

354

ලාංකේය ටෙලි නාට්‍ය වංශ කතාවේ කිරුළු නොපන් කැමරා ශිල්පියා ඔහුය. ඔහු ප්‍රවීණ කැමරා ශිල්පී එම්. වී. හේමපාලය. ඉතා නිහඬ චරිතයක් වූ හේමපාල මහතා කලක් රෝගාතුරුව හිඳ ඉකුත්දා දිවි ගමන නිමා කළේය. මේ රටේ විකාශය වූ පළමු ටෙලි නාට්‍යය වන්නේ “ දිමුතු මුතු” ටෙලි නාට්‍යයි. එම ටෙලි නාට්‍යයේ මැවුණු

රංගනයන් කැමරාවට නැගීමේ ගෞරවය හිමිවන්නේ හේමපාල මහතාටය. තමන් උගත් ශිල්පය නොමසුරුව නවක පරපුරට කියාදෙන ගුරුවරයෙකු ලෙස ඔහු ක්‍ෂේත්‍රයේ ප්‍රකටය.

හේමපාල 1994 වසරේදී ගාල්ලේ පිලාව තල්හිටියාවත්තේ උපත ලබා ඇත. හේමපාල මහතාගේ උපන් ගම තල්හිටියාවත්ත නිසා එගමේ නමේ කොටසකින් ඔහු කා අතරත් ප්‍රසිද්ධ “තලේ” අයියා නමැති ආදරණීය නමින්ය. හේමපාල මහතා කලාවට පිවිසෙන්නේ සුගතපාල ද සිල්වා මහතාගේ නිර්මාණයන්හි කාර්මික ශිල්පියෙකු ලෙසය. එසේ ඇරඹි ගමන පසුව ඔහු නිහාල් සිංහයන්ගේ සත් සමුදුර චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියා වූයේය. සත් සමුදුර, පාරා වළළු, හාර ලක්ෂයේ මංකොල්ලය, මරුවා සමග වාසේ හත්දින්නත් තරු, බඩුත් එක්ක හොරු,

ගිම්හානේ ගී නාදේ වැනි චිත්‍රපට ගණනාවක සහාය කැමරා ශිල්පියා සහ ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස හේමපාල මහතා කටයුතු කළේය. ගිම්හානේ ගී නාදේ චිත්‍රපටය වෙනුවෙන් 1986 වසරේදී වසරේ හොඳම කැමරා ශිල්පියා ලෙස අභිසෙස් ලබන ඔහු 1991 වසරේ තිරගත වූ නිහාල් සිංහයන්ගේ “කෙළි මඩල” චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් හොඳම කැමරා ශිල්පියාට හිමි සම්මානය දිනාගත්තේය. දිමුතු මුතු ටෙලි නාට්‍යයෙන් පසු ජනප්‍රියත්වයට පත් සුදු සහ කළු, රේඛා, සුළඟ වැනි ටෙලි නිර්මාණ 12ක පමණ ප්‍රධාන කැමරා ශිල්පියා කටයුතු කළේය. ස්වර්ණවාහිනි නාලිකාව ආරම්භ කිරීමෙන් පසු එහි ආරම්භක ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස එක්වන හේමපාල මහතා දස වසරකට වැඩි කාලයක් ඊට සිය දායකත්වය දැක්විය. දරුවන් හතර දෙනකුගේ දයාබර පියෙකු වූ හේමපාල මහතා සිය දිවි ගමන නිමා කළේ 78 විය පසුවෙමින් තිබියදීය.

advertistmentadvertistment
advertistmentadvertistment