මෙරට වෙළෙඳාම් සරල කිරීමට ජාතික යෝජනාවලියක් කඩිනමින් සකස් කරන්න -ජනාධිපති ලේකම් සමන් ඒකනායක

79

ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ කටයුතු ආශ්‍රිත ක්‍රියාවලිය සරල කිරීම සහ කඩිනම් කිරීම සඳහා ජාතික යෝජනාවලියක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේ පසුගිය 07 වනදා ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමේ හදිසි අවශ්‍යතාව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

රට තුළ ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරුණු අතර එහිදී ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලයේ කාර්යභාරය ද විමසා බැලිණි.

ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය විසින් 2025-2030 කාලය තුළ සපුරාගත යුතු කාර්යයන් කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව ද සාකච්ඡා විය.

මෙහි මූලික පියවරක් ලෙස මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය පවත්වාගෙන යෑමටත්, එහි කාර්ය මණ්ඩල අවශ්‍යතා කඩිනමින් සම්පූර්ණ කිරීමටත් තීරණය කෙරිණි.

එසේම දැනට රේගු දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය සඳහා 2023 අය වැයෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය යටතට පැවරීම පිළිබඳවත්, එහි වෙබ් අඩවිය සංවර්ධනය සහ ප්‍රගතිය වාර්තා කිරීමේ පද්ධතිය සකස් කිරීම වැනි අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබාදීමටත් අවධානය යොමු විය.

ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපති කැනිසියස් ප්‍රනාන්දු, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ උප සභාපති ගයානි ද අල්විස්, ලංකා වාණිජ මණ්ඩලයේ සහකාර ලේකම් මනෝරි දිසානායක යන මහත්ම මහත්මින් සහ ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ කමිටුවේ සාමාජිකයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment