මෙල්බන් පිටියේදී එංගලන්තය සුදු පන්දුවේ රජ වෙයි

231

අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා සෑම් කරන්

පාකිස්තානයට දෙවන වරටත් අනුශූරතාව

ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (13 වැනිදා) පැවති 2022 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී පාකිස්තානය කඩුලු 5කින් පරාජයට පත් කරමින් දෙවන වරටත් පන්දු වාර විස්සයි විස්ස ලෝක ශූරයන් බවට පත් වීමට එංගලන්තය සමත් විය.

එංගලන්තය වත්මන් එක් දින ලෝක ශුරයන් ද වන අතර 2010 වසරේද පන්දු වාර විස්සයි විස්ස ලෝක ශූරයෝ ලෙස ඔවුහු කිරුළු පැළදූහ.

මෙල්බන් පිටියේදී එංගලන්තය සුදු පන්දුවේ රජ වෙයි

පකිස්තානය 2009 වසරේ ලෝක ශූරයන් බවට පත්ව සිටි අතර 2007 වසරේද අනුශූරයන් වූ ඔවුන්ට නැවත වරක් අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට ඊයේ සිදුවිය.

තීරණාත්මක අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායක ජොස් බට්ලර් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී පාකිස්තානයට පිරිනැමුවේය.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි පකිස්තාන පිතිකරුවන්ට ස්ථාවර වීමට ඉඩ ලබා නොදුන් එංගලන්ත පන්දු යවන්නෝ පාකිස්තාන ඉනිම ලකුණු 137 කට සීමා කිරීමට සමත් වූහ.

එම ලකුණු සංඛ්‍යාවෙන් මෙපිට එංගලන්ත ඉනිම නතර කර ගැනීමට පකිස්ථාන පන්දු යවන්නන් මහත් වෙහෙසක් දැරුවද එංගලන්ත ඉනිමේ 19 වන පන්දු වාරයේදී ජයග්‍රහණය අත්කර ගැනීමට ජොස් බට්ලර් ප්‍රමුඛ ක්‍රීඩකයෝ සමත් වූහ.

එංගලන්ත ඉනිමේ පවර්ප්ලේ අවස්ථාව නිමාවන විට කඩුලු තුනක් දවා ගැනීමට පකිස්ථාන පන්දු යවන්නන් සමත්ව සිටිය ද ඉවසිලිවන්ත පරිණත ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටොක්ස් පවුරක් මෙන් නොසැලී සිට එංගලන්තය ජයග්‍රහණය කරා ගෙන ගියේය.

අසූ දහසකට අධික ප්‍රේක්ෂකයන් රැස්ව සිටි මෙල්බර්න් පිටිය නියම අවසන් තරගයක ස්වරූපයක් ඉසිලූ අතර මීට පෙර 1992 වසරේ මෙම කණ්ඩායම් දෙක එක් දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ දී එකිනෙකා හමු වූ අතර එහි ජයග්‍රහණය පකිස්තානයට හිමි විය. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සෑම් කරන් ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත් අතර එම දක්ෂතාව හේතුවෙන් ඔහුට අවසන් තරගයේ වීරයා සම්මානය හිමි විය. එමෙන්ම එකී දක්ෂතාවය ද ඇතුළුව සුපිරි 12 වටයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් හිමි කර ගත් ක්‍රීඩකයා බවට ද පත්වූ සෑම් කරන් 2022 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙසට ද සම්මානයට පාත්‍ර විය. බෙන් ස්ටොක්ස්ට පසුව එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගැනීමට නායක ජොස් බට්ලර් සමත් වූ අතර ඔහු ලකුණු 26ක් ද හැරී බෲක් ලකුණු 20ක් ද ලබා ගත්තේය.

පාකිස්තානය වෙනුවෙන් ශාන් මසූඩ් (38) වැඩිම ලකුණු ලාභියා වූ අතර බාබර් අසාම් ලකුණු 32ක් සහ ශදාබ් ඛාන් ලකුණු 20ක් ලබා ගත්තේය.

එංගලන්තයට එරෙහිව තර්ජනාත්මක පන්දු යැවීමක නිරතවූ ශහීන් ශා අෆ්රිඩි තරගය අතරතුර ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර හරිස් රවුෆ් කඩුලු දෙකක් දවා ගත්තේය.

ලකුණු සාරාංශය – පකිස්තානය 137/8 (20)

බාබර් අසාම් 32, ශාන් මසූඩ් 38,

ශදාබ් ඛාන් 20

පන්දු යැවීම- සෑම් කරන් 12/3, අඩිල් රශිඩ් 22/2, ක්‍රිස් ජෝර්දාන් 27/2

එංගලන්තය 138/5 (19)- බෙන් ස්ටොක්ස් නොදැවී 51, ජොස් බට්ලර් 26,

පන්දු යැවීම- හැරිස් රවුෆ් 23/2, ශහීන් ෂා 13/1
කසුන් රණවීර ඔස්ටේ්‍රලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment