මෙවරද එය එසේම වේවා

1012

ග්‍රීක හෝඩියේ පසළොස්වැනි අකුර කුමක් දැයි වැඩිදෙනා තුළ කල්පනාවක් නැත. OMICRON නමැති ඒ පසළොස්වන අකුර මේ වන විට මාරක කොවිඩ් 19 වෛරසයේ අලුත්ම ප්‍රභේදය හැඳින්වීමට යොදාගනු ලැබේ. කොරෝනා යනු සූර්යයා වටේ ඇති ප්‍රභා වළල්ලට කියන තවත් නමකි. ඇතැම් විට ඔටුන්නට ද කොරෝනා යන නම යොදනු ලැබේ. කොවිඩ් – 19 වෛරසයේ ආරම්භක තත්ත්වය හඳුන්වන්නේ ද කොරෝනා යන නමින් බව එය හැදුනු නොහැදුනු සියලු දෙනාම දනිති. කොවිඩ් 19 නිසා ශ්‍රී ලංකාවේ ජනයාගෙන් 17000 කට කිට්ටු ප්‍රමාණයක් මියගියහ. හත්ලක්‍ෂයකට ආසන්න පිරිසක් රෝගී වූහ. 2019 දී චීනයෙන් පහළ වුණු කොවිඩ් 19 වෛරසය මාස 3 ක් තුළ ඉතාම සුවපහසු ලෙස ලංකාව ආක්‍රමණය කළේය. එතැන් සිට ගත වූ අවුරුදු දෙකක පමණ කාලය සිහිනයක් වැනි කාලයකි. මේ කාලයේදී විටින් විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම වසා දමන ලදී. ලංකා ඉතිහාසයේ මුල්වරට
LOCK DOWN යන වචනය සමාජගත වන්නේ කොවිඩ් වසංගතය හේතුවෙනි. මීට පෙර මේ රටේ මිනිසුන් දැන සිටියේ පොලිසියේ ‘ලකප් එක’ හෙවත් LOCKUP එක ගැන පමණි. ලොක්ඩවුන් එක ද එක්තරා ආකාරයක ලොක්අප් එකකි. මේ නිසා ජනයාට එළියට යෑම තහනම් වූ අතර තම තමන්ගේ ආහාර ප්‍රශ්න සහ ආදායම් ප්‍රශ්න ජනයාටම විසඳා ගැනීමට සිදුවිය. එක්තරා අතකින් බලන විට කොරෝනා සමය මීට වඩා හොඳය. එකල ජනයා මෙපමණ දුකක් වින්දේ නැත. එකල හාල් මිල හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල මේ තරමට ඉහළ මිලකට ගියේ නැත. සියලුම බඩු භාණ්ඩ රැගත් ලොරි ගෙවල් අසලින් ගමන් කළ අතර, සල්ලි අතේ ඇති එකා ඒවා මිලදී  ගත්තේ ය. අද වන විට සල්ලිත් නැත, බඩුත් නැත. කොටින්ම එක දවසින් පුස් අල්ලන පාන් රාත්තලක් රුපියල් 200 දක්වා වූ මිල ගණන්වලට අලෙවි කරනු ලැබේ. දවස් 5 ක් තබා ගත හැකි  BRANDED පෙති පාන් රාත්තලක් රුපියල් 450 කි. මීට හාර මාසයකට පෙර කේක් රාත්තලකුත් රුපියල් 450 කි. අද වන විට කේක් රාත්තලක් එමෙන් දෙගුණයකි. එබැවින් පාන් වෙනුවට කේක් කෑම කිසිසේත්ම කළ නොහැකිය. කේක් කොතරම් ලාභයට යන කලක වුවද ඒවා පරිප්පු හෝ පොල් සම්බෝල සමඟ අනුභව කිරීමට නොහැක.

ගෝඨාභයගේ රාජ්‍ය පාලන සමයේ ඔහුට සාපේක්‍ෂව හොඳම කාලය කොවිඩ් කාලය විය යුතුය. ඒ සමයේදී රටේ ජනතාව මරණ බිය නිසා මී පැටවුන් සේ ගුලි වී සිටි අතර කිසියම් වූ නාඩගමක් නටන ලද්දේ දොස්තරලා සහ සෞඛ්‍ය අංශයේ සේවකයන් පමණි. දොස්තරලා නිතරම කීවේ රට තවදුරටත් වැසිය යුතු බවය. එහෙත් ඉන්දියාව කොවිඩ් රෝගයට ඒ ආකාරයට බය වූයේ නැත. සතියක් හෝ දෙකක් පමණ රටේ තැන් කිහිපයක් වසා තිබූ ඉන්දියාව ටික දවසකින් කොවිඩ් මෙන්ම රට වැසීම ද අත්හැර දමා දෛනික රාජකාරි පටන් ගත්තේය. මේ නිසා කොව්ඩි රෝගයෙන් මැරෙන්නට ඇති එකා මළේය. ජීවත් වෙන්නට ඇති එකා ජීවත් විය. ඉස්පිරිතාලේ ලගින්නට සිටි එකා එසේ ලැග්ගේය. ඒ අතර ගෙදර සිට රෝගය සනීප කරගත් අයද සිටියහ. ඒ එක පැත්තකි. අනෙක් පැත්තෙන් කොවිඩ් එන්නත ඉන්දියාවේ පුද්ගලික ව්‍යාපාරික අංශයට ඇදුනු ස්වීප් එකකි. බි්‍රතාන්‍යයේ නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද්දේ එරට බෙහෙත් සමාගමක් විසිනි. මේ එන්නත එම සමාගමෙන් තොග වශයෙන් මිලට ගෙන අධික මිලට අලෙවි කිරීම ඉන්දියාවේ දේශපාලනඥයන්ගේ පාතාල කණ්ඩායම්වලත් බිස්නස් එක විය. ඒ අතර එම එන්නත විශාල වශයෙන් ආණ්ඩුවට විකිණීම ද සමාගමේ වගකීමක් විය. එහෙත් පාතාලයටත් දේශපාලනඥයන්ටත් එන්නත විකිණූ පසු ආණ්ඩුවට දෙන්නට දෙයක් එන්නත් සමාගමට ඉතිරි වූයේ නැත. අන්තිමට එම සමාගම දේශපාලනඥයන්ට හා පාතාලයට එන්නත් දීම නතර කර ඉන්දියන් ආණ්ඩුවට පමණක් එන්නත් විකුණන්නට පටන් ගත්තේය. එකල්හි පාතාල මැරයෝත් දේශපාලනඥයෝත් එම සමාගමේ ප්‍රධානියා සහ පවුලේ අය උස්සා මරණ බවට තර්ජනය කළහ. බියගත් සමාගම් අයිතිකාරයා සමාගම වසා පවුල පිටින්ම එංගලන්තයට පැන ගත්තේය. මෙයින් ලංකාවට ද ලොකු පාඩුවක් සිදුවිය. ශ්‍රී ලංකාවට අවශ්‍ය අස්ට්‍රාසෙනිකා එන්නත සඳහා විශාල ඕඩරයක් ඒ වන විට ලක් රජය මගින් ඉන්දියානු සමාගමට ලබා දී තිබුණි. ලොක්කා පැන ගිය නිසා සමාගම වැසුණු බැවින් එම මුදල් ආපසු ශ්‍රී ලංකාවට එවන ලදී. මේ නිසා  ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් වැඩපිළිවෙළ මුලදී පසුබැසීමකට ලක්විය. මෙය කොවිඩ් අතුරු කතාවකි.

අලුත්ම ඔමික්‍රෝන් වෛරසය BA5 ලෙස හඳුන්වනු ලැබේ. පසුගිය දින දෙක තුළ අලුත්ම වෛරසයෙන් 8 දෙනකු මියගොස් තිබිණ. එම වෛරසය වැළඳුණු රෝගීන් 300 කට කිට්ටු ගණනක් මේ මොහොතේ දී මේ රටේ සිටිති. ඒ අතර කොවිඩ් එන්නත් මාලාවේ තුන්වැනි එන්නත ලබා නොගත් අවුරුදු 20 ට වැඩි පිරිස ලක්‍ෂ 8 කි. එසේම අවුරුදු 60 ට වැඩි ලක්‍ෂ 10 ක් තුන්වැනි එන්නත ලබාගෙන නැත. සාමාන්‍යයෙන් ලංකාවේ ජනයා ගෙවල්වල වහළ ගහන්නට පටන් ගන්නේ වැස්ස වහින විටය. වැස්ස පෑයූ ගමන් වහළ ගැහීම නවත්වා ඊළඟ වැස්ස එන තුරු ඔහේ සිටීම මේ මිනිසුන්ගේ පුරුද්දය. ඒ ආකාරයෙන් ම කොරෝනා දෙවැනි එන්නතෙන් පසු රටේ රෝග තත්ත්වය සාමාන්‍යකරණය වීමට පටන් ගත් සැනින් ජනයා තුන්වැනි එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටියහ. දැන් හතරවැනි එන්නත ගැසීමට ද කාලය පැමිණ තිබේ. සාමාන්‍යයෙන් අලුත් රාජ්‍ය නායකයෙක් රටේ වැඩ භාරගත් විට පැතිර යෑම කොරෝනාවල සිරිතය. ගෝඨාභයට වුණෙත් එයයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ සැනින් ද ඔහුගේ තනි නොතනියට කොරෝනා පැමිණ සිටී. කොරෝනා එන්නත්කරණය පිළිබඳ හොඳම පළපුරුද්ද ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවට ය. ශ්‍රී ලංකා යුද හමුදාව කොටින් සමඟ යුද කළ විලාසයෙන්ම කොවිඩ් 19 ද පරදවාලූ බව අපි දනිමු. මෙවරද එය එසේම වේවා!

advertistmentadvertistment
advertistmentadvertistment