මෙවර රයිගම් ටෙලීස් හෙල්ලූ නිෂ්පාදකවරයා මෙන්න….

217

– මාණික්කාවතටයි පීතෘටයි නිර්දේශිත නාම 23 ක්

O/L වලින් බුද්ධාගමට සම්මානයක් ගත්තු සිංහල ටෙලි හදන “ෆාහීම් මවුජුඩ්” කියන කතාව
ඒ කාලෙ අම්මගේ චේන් එක උකස් තියලා නාට්‍ය පෙන්නුවා

ඇත්තටම කොච්චර හොඳ පිටපතක් ලැබුණත් කොතරම් දක්ෂ නළු නිළි වරණයක් තෝරාගත්තත් අධ්‍යක්‍ෂවරයකුගේ සිහිනය යථාර්ථයක් බවට පත්වෙන්න නම් යහමින් මුදල් ටිකක් වියදම් කරන නිෂ්පාදකවරයකු මුණගැසිය යුතුමය. එතකොට තමයි මේ මහපොළොවට අධ්‍යක්‍ෂවරයා සිහින දකින වස්තු බීජය පැළ කරගන්න පුළුවන් වෙන්නේ. හොඳ වැඩක් කරන්නට නම් නිෂ්පාදකවරයා පැහැදිලිවම නිර්ලෝභී විය යුතුමය. ආනන්ද අබේනායක අතින් නිර්මාණය වුණු තාරා, බැද්දේ කුලවමිය, වීරයා ගෙදර ඇවිත්, පීතෘ වගේ සුදත් රෝහණයන්ගේ අතින් නිමැවුණු ගිරිකුල සහ මාණික්කාවත ඇතුළු මෑත කාලයේ දැඩි කතාබහට ලක්වුණු රොෂාන් රවීන්ද්‍රගේ කුළුඳුල් අධ්‍යක්‍ෂණයක් වූ තණමල්විල කොල්ලෙක් වැනි නිර්මාණ රැසකට බරපැන දැරූ ෆාහීම් මවුජුඩ් සමගයි අද අපේ කතාබහ. මොකද ඔහුට මේ ශනිදාව සැබැවින්ම සුවිශේෂය. ඒ මන්ද යත් ඔහු වියදම් කළ මුදලට නිසි වටිනාකම ලැබෙන දිනය මේ ශනිදාව නිසාමය. ඒ ඔහු නිෂ්පාදනය කළ සුදත් රෝහණයන්ගේ මාණික්කාවත සහ ආනන්ද අබේනායකයන්ගේ පීතෘ යන ටෙලි නාට්‍ය ද්විත්වයම මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් ගොන්නේ නිර්දේශිත නාම විසිතුනට නිර්දේශවීම නිසාමය. මේ කතාබහට හේතුවත් ඒ කාරණාවමය.

මෙවර රයිගම් ටෙලීස් හෙල්ලූ නිෂ්පාදකවරයා මෙන්න….

පාසල් කාලයෙන් මේ කතාව පටන් ගත්තොත්?

මගේ ගම වේයන්ගොඩ. මම උසස් පෙළ වෙනකම් පාසල් ගියේ වේයන්ගොඩ බණ්ඩාරනායක මහා විද්‍යාලයට.

පවුලේ විස්තර එහෙම?

මට හිටියේ අයියයි, අක්කලා දෙන්නයි.

ඒගොල්ලො ඔක්කොම ඉගෙන ගත්තේ කොළඹ. අනික් එක ඒගොල්ලො හිටියෙත් හොස්ටල්වල. ඒගොල්ලො ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරුවේ. මම විතරයි පවුලේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය කළේ. මම ගෙදර ඉඳල තමයි පාසල් ගියේ. එතකොට මම ආගම විදිහට ඉගෙන ගත්තේ බුද්ධාගම. අනික මම පුංචි කාලෙ පොත්පත් කියවන්න ආසයි. මම පන්සිය පනස් ජාතකය පවා කියවලා තියෙනවා. මට සාමාන්‍ය පෙළ බුද්ධාගමට ක්‍රෙඩිට් එකක් තියෙනවා.

මෙවර රයිගම් ටෙලීස් හෙල්ලූ නිෂ්පාදකවරයා මෙන්න….

බුද්ධ ධර්මය විෂයයක් විදිහට හැදෑරුවට ගෙදරින් විරුද්ධ වුණේ නැතිද?

ගෙදරින් විරුද්ධ වුණේ නැහැ. මොකද ඒ කාලෙ විෂයයක් හැටියට මම මොකක් හරි ආගමක් හදාරන්න එපායැ. එතකොට මට තිබුණේ ක්‍රිස්තු ධර්මය හෝ බුද්ධ ධර්මය කියන විෂයයන් දෙකෙන් එකක් තෝරාගන්නයි. ඉතිං මට ගොඩක් ලෙහෙසියි. බුද්ධ ධර්මය විෂයය ඉගෙන ගන්න එක. මොකද ගොඩක් ළමයි ඉගෙන ගන්න විෂයය ඒකනේ.

උසස් පෙළ හැදෑරුවේ?

කෘෂි විද්‍යාව තමයි උසස් පෙළට හැදෑරුවේ

උසස් පෙළින් පස්සේ මොනවද කළේ?

විභාගෙන් ෆේල් වෙලා චාටර් වෙලා යාළුවො කට්ටියක් එක්ක රස්තියාදු ගගහා ඉන්නකොට මගේ මස්සිනා කෙනෙක් මාව යොමුකළා අයි ටී ක්‍ෂේත්‍රයට. අයි ටී ක්‍ෂේත්‍රයේ පළමුවැනි රස්සාව මම කළ් හන්ටර් කොම්පැණියේ. ඊට පස්සෙ තමයි මම විදෙස්ගත වෙලා අයි ටී ක්‍ෂේත්‍රයෙන් ඉවත්වෙලා ව්‍යාපාර පැත්තට එහෙම යොමු වුණේ.

මෙවර රයිගම් ටෙලීස් හෙල්ලූ නිෂ්පාදකවරයා මෙන්න….

එතකොට කොහොමද ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමු වුණේ?

මම නිතරම ලංකාවට එනවා. ඒ ඇවිත් අවුරුද්දට මාස හතරක් පහක් ලංකාවෙ ඉන්නවා. මට මුලින්ම මුණගැසුණේ බුද්ධික ජයරත්න නළුවා.

පළමුවැනි ටෙලි නාට්‍යය මොකක්ද?

මම 2008 අවුරුද්දෙ ඔස්ටේ්‍රලියාවේදී රූගත කළ ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒකෙ ප්‍රධාන චරිතයට රඟපෑවේ ජගත් චමිල. අදටත් ඒ ටෙලි නාට්‍ය ටෙලිකාස්ට් කරන්න බැරි වුණා. ටෙලි නාට්‍යයේ නම තමයි ‘පමාවී ආ වසන්තය.’

එතකොට මුලින්ම විකාශනය වුණේ මොන ටෙලි නාට්‍යයද?

රොෂාන් කුරුප්පු අධ්‍යක්‍ෂණය කළ ‘අමුතු මිනිස්සු’ ටෙලි නාට්‍යය තමයි මුලින්ම විකාශනය වුණේ.

එතැනින් පසුව ඔබ ටෙලි නාට්‍ය රැසක් නිෂ්පාදනය කරනවා?

මම සුදත් රෝහණ සමඟ 2011 සහ 2012 වසරවල ‘ගිරිකුල’ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරනවා. ඒ නාට්‍යය 2013 වසරෙ විකාශනය කරනවා. ඊට පසුව මම ආනන්ද අබේනායක මුණගැසෙනවා. 2017 වසරේ ඉදලා අද වෙනකම් ඔහුගේ ටෙලි නාට්‍ය සියල්ලම මම තමයි නිෂ්පාදනය කළේ. ඔහුත් සමඟ මම මුලින්ම කළේ ‘තාරා.’ ඊට පස්සෙ ‘බැද්දේ කුලවමිය’, ‘වීරයා ගෙදර ඇවිත්’, ‘පීතෘ’ කියන ටෙලි නාට්‍ය හතරම නිෂ්පාදනය කළා.

මෙවර රයිගම් ටෙලීස් හෙල්ලූ නිෂ්පාදකවරයා මෙන්න….

මෙවර රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී ඔබ නිෂ්පාදනය කළ මාණික්කාවත නිර්දේශිත නාමයන් 12 ක් වගේම පීතෘ ටෙලිනාට්‍යය නිර්දේශිත නාමයන් 11 කට නතුවෙලා තිබෙනවා. මොකද හිතෙන්නේ?

නාට්‍ය දෙකක් විකාශනය වීමත් එක්කයි ඒක සිද්ධ වුණේ. මීට කලින් මම නිෂ්පාදනය කළ බැද්දේකුලවමිය ටෙලි නාට්‍යය නිර්දේශිත නාමයන් දාහතරකට නිර්දේශිත වුණා. අනික අපිට සම්මාන උළෙලකදී නිර්දේශිත අංශයන් තිබෙන්නේ දහනවයක් විතර වගේනේ. ඒ වගේම මම නිෂ්පාදනය කළ ගිරිකුල නාට්‍යයත් එවැනි නිර්දේශිත නාමයන් ප්‍රමාණයකට නිර්දේශ වෙලා තිබෙනවා. මෙවර නාට්‍ය දෙකේම එකතුවක් හින්දා මම නිෂ්පාදනය කළ නාට්‍ය දෙකම නිර්දේශිත නාමයන් 23 කට නිර්දේශවෙලා තිබෙනවා.

හොදම නිළිය ගත්තහම පීතෘ ටෙලි නාට්‍යයේ උමාලි වගේම මාණික්කාවතේ උමා සහ වොල්ගත් නිර්දේශ වෙලා තිබෙනවා.

නිර්දේශිත නාමයන් එළිදැක්වීමේ සන්ධ්‍යාවේදී මෙම නාමයන් ටික කියනකොට මොනවගේ හැඟීමක් ද ආවේ?

ඇත්තටම නිහතමානී සතුටක් තියෙනවා මොකද මගේම ටෙලි නාට්‍ය දෙකක්නේ. මොකද මේ ටෙලි නාට්‍ය දෙකම එකම වසරේ තිරගත වීම තමයි ඒකට ප්‍රධානම හේතුව. මට මේ අවස්ථාවත් මීට කලින් හම්බවෙන්න තිබුණා, නමුත් ඒක ගිලිහුණා. ඇත්තටම ආනන්ද අබේනායක සමග මම මුලින්ම කරන්න හිටියේ වෙස් ටෙලි නාට්‍යය. ඒ තාරා ටෙලි නාට්‍යයටත් කලින්. වෙස් ටෙලි නාට්‍යය මම නිෂ්පාදනය කරලා තිබුණා නම් ගිරිකුලයි වෙස් ටෙලිනාට්‍යයයි විකාශනය වෙන්නේ එකම වසරේ. පසුව ආනන්ද අයියම තමයි වෙස් ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළේ. අන්තිමේ ඒ අවුරුද්දේ ගිරිකුලයි වෙස් ටෙලි නාට්‍යයයි අතරෙයි සම්මානවලට තරගය තිබුණේ.

ඔබ රටින් පිට. ඔබේ නිර්මාණ ලංකාවෙ. වැඩේ කොතරම් දුරට සාර්ථක ද?

මට ඉන්නවා ගොඩක් විශ්වාසවන්ත නිෂ්පාදක සම්බන්ධීකාරකවරයෙක්. ඔහු නමින් අරවින්ද වික්‍රමසිංහ. ඔහු නොසිටින්න මම ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන එකක් නැහැ. ඔහු වගකීම් සියල්ල හරියාකාරව ඉෂ්ට කරනවා. මගේ අවසානයට කරපු ටෙලි නාට්‍ය දහයක විතර ඔහු තමයි නිෂ්පාදන සම්බන්ධීකරණය සිදු කළේ.

තණමල්විල කොල්ලෙක් නිර්මාණය ගැන රටම කතාබහ වෙන්න ගත්තා?

ඇත්තටම මේ කතාව හැමෝගෙම ජීවිතයට කොහෙන් හරි සම්බන්ධයිනේ. මාත් ඉතිං ගමේ ඉස්කෝලෙන් ඉවත්වුණාට පස්සෙ ලබපු අත්දැකීම් ගොඩක් තිබෙනවා. තණමල්විල කොල්ලෙක් නාට්‍යය හා සමානයි, මම ඉස්කෝලෙ යන කාලෙ අම්මගෙ චේන් එක උගස් කරලා වේයන්ගොඩ වේටෙක්ස් ශාලාවේ වේදිකා නාට්‍ය පෙන්වල තිබෙනවා. තව ගායක ගායිකාවෝ ගෙන්වල ප්‍රසංග පවා පවත්වලා තිබෙනවා.

ලංකාවේ නාලිකාවන් නිෂ්පාදකවරු ආරක්‍ෂා කරනවාද?

ඇත්තටම නාලිකාවලින් නිෂ්පාදකවරුන්ට ගෙවන්න තිබෙන මුදල් ගෙව්වේ නැතිනම් ඉදිරියට හොඳ නාට්‍ය කලාවක් ආපහු එන්නේ නැහැ. නාලිකාවලින් මට කෝටි හතරක් ගෙවන්න තිබෙනවා. ඇත්තටම දැන් මටත් හිතිල තිබෙනවා මේ වැඩේ කරලා තේරුමක් නැහැ කියලා. මොකද නාලිකාවකට ටෙලිනාට්‍යයක් දීලා ඒ සල්ලි ටික ගන්න සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වෙලා තිබෙනවා. අනික මම මේක කරන්නේ බිස්නස් එකක් බලාගෙන නෙමෙයි. මේක කරන්නේ ආත්ම තෘප්තියට. ලංකාවෙ මෙගා නාට්‍ය කියන්නේ බිස්නස් එකක්. ඒක හින්දා මම මෙගා කරන්න කැමැති නැහැ. මේ වෙනකොට පටන් ගත්තු වැඩ කිහිපයක් නවත්වලා තියෙන්නේ. මම නාට්‍ය නිෂ්පාදනය කරන්නෙත් සම්මාන බලාගෙන නෙමෙයි.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment