මෙහෙකාර තරුණියට අතවර කළ විශ‍්‍රාමික හමුදා නිලධාරියා පොලිසිය යද්දී නිවසින් පලා ගිහින්

852

තන්තිරිමලේ 20 හැවිරිදි තරුණියක සිය නිවසේදී අතවරයට ලක් කළ බව කියන උතුරු පළාත භාරව සිටි යුද හමුදාවේ විශ‍්‍රාමික උසස් නිලධාරියා නිවසින්

පලාගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.

තන්තිරිමලේ ප‍්‍රදේශයේ පදිංචි එම තරුණියගෙන් ඉකුත් 13 වැනිදා පානදුර දකුණ පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බි‍්‍රගේඩියර්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා අවස්ථා කීපයකදී පොලිස් කණ්ඩායම් ඔහුගේ පානදුර නිවසට ගියද ඔහු නිවසින් බැහැරව ගොස් ඇති බව ඔහුගේ බිරිඳ පවසා තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මීට සිව් මසකට පෙර බි‍්‍රගේඩියර්වරයාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා පැමිණ සිටි තන්තිරිමලේ තරුණිය නිවසේ කාත් කවුරුත් නොමැති අවස්ථාවකදී අතවරයට ලක්කර අනතුරුව අවස්ථා කීපයකදී ඇය සමග අඹුසැමියන් ලෙස හැසිරී තිබූ බව තරුණියගේ ප‍්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

එම සිද්ධියෙන් අනතුරුව බි‍්‍රගේඩියර්වරයාගේ නිවසේදී තරුණියට හදිසියේ ක්ලාන්ත ගතියක් ඇති වීම නිසා ඔවුන් විසින් ඇය පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබිණි. අනතුරුව තරුණියගේ මව ගෙන්වා ඇය තන්තිරිමලේ ගමට පිටත් කර හැරීමට බි‍්‍රගේඩියර්වරයා ඇතුළු පිරිස කටයුතු කර තිබිණි.

එම සිද්ධියෙන් අනතුරුව තරුණියට වරින් වර තදබල හිසේ කැක්කුමක් ඇති වී අනුරාධපුර ප‍්‍රදේශයේ රජයේ රෝහලකට ප‍්‍රතිකාර සඳහා ගිය අවස්ථාවේදී වෛද්‍යවරයා රෝග නිධානය පිළිබඳ විමසීමේදී බි‍්‍රගේඩියර්වරයාගෙන් තමන්ට වූ අතවරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර තිබිණි.

එම වෛද්‍යවරයා විසින් පානදුර දකුණු පොලිසියට ඒ පිළිබඳව සිදුකළ දැනුම් දීමකින් අනතුරුව තරුණිය පොලිසිය වෙත ගෙන්වා ප‍්‍රකාශ ලබාගැනීමට කටයුතු කෙරිණි.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment