මෙහෙමත් කජු කෑමක්

1704

ඇත්ත බොරු නොදනිමු; අග්නිදිග ආසියාවේ ලොකුම මුළුතැන්ගෙය වන්නේ කොළඹ වරායේ කුස්සිය බව කියනු ලැබේ. කොළඹ වරායේ 3500 ක සේවක පිරිසක් ඇති අතර මේ අය සඳහා අවුරුද්දකට වේල් තිස්නව ලක්‍ෂ හයදාහක් මේ මුළුතැන්ගෙය තුළ පිසිනු ලැබේ. කොළඹ වරායේ බත් එක බ්‍රෑන්ඩඩ් බත් එකකි. මේ බත් එක ඇතැම් වරාය සේවකයන් විසින් වරාය ගේට්ටුවෙන් පිටතට ගෙනවුත් විකුණනු ලැබේ. ඉන්පසු එම මුදලින් කසිප්පු හෝ ගංජා ගසනු ලැබේ. කොළඹ වරාය අසල රා කඩයකුත් ඇත. කසිප්පු භාගයක් ගසා ලබන වෙරිය රාවලින් ලැබීමට නම් රා බෝතල් පහක්වත් පානය කළ යුතුය. එබැවින් බත් එක විකුණා ගන්නා මුදලින් වැඩි උපයෝගීතාවයක් ඇති කසිප්පු හෝ ගංජා සුරුට්ටුවකට යොමුවීමට ඇතැම් වරාය සේවකයන් තුළ කැමැත්තක් ඇත. වරාය බත් එක කොතරම් ප්‍රනීත ද යත් ඇතැම් ව්‍යාපාරිකයෝ ලාභ එළවළු සහ කුණු මාළු දැමූ බත් පැකට් පිළියෙළ කර ඒවා වරාය බත් එකට සමාන වන ලෙස ඔතා වරාය බත් ලෙස විකිණීමේ ජාවාරමක් ද තිබිණි. දැන් ඒ ජාවාරම නැත. එයට හේතුව වෙළෙඳපොළේ තිබෙන සහල්, එළවළු සහ මස්, මාළු මිල ඉහළ ගොස් තිබෙන නිසා මේ රටේ බත් පාර්සල් ව්‍යාපාරය කඩාවැටී තිබීමය. දැන් අපි මේ කතුවැකියේ මුඛ්‍ය කාරණය දෙසට හැරෙමු. වරායේ ආහාර සැපයීම සඳහා යන මුළු මුදලින් අඩක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය භාර ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා කීවේය. මේ දිනවල මඟුල් ගෙවල්වල හැර අන් කිසිම තැනක කජු පිසිනු නොලැබේ. මේ කජු පිසිනු ලබන්නේ ද 25%ක් කජු සහ 75%ක් ග්‍රීන්ෆීස් දැමීමෙනි. අවසානයේදී කෑමට ලැබෙන්නේ කජු මාළුවක් නොව ග්‍රීන්ෆීස් මාළුවකි. වරාය බත් එකේ ඔය කියන තරමට කජු තිබේදැයි අපි සොයා බැලුවෙමු. එහෙත් එවැනි දෙයක් නැත. මෙයින් හැඟෙන්නේ වරාය සේවකයන්ට කජු කවන මුවාවෙන් වෙනත් අය කජු කන බවය.

පසුගිය කාලයේදී මේ රටේ කජු මිල බෙහෙවින් ඉහළ ගියේය. ඇතැම් විට වියළි කජු කිලෝවක් රු. 5000 ඉක්මවීය. සුපර්මාර්කට්වල විකිණීමට ඇති කජු කිලෝව රු. 10,000 කි. ඒවා රෝස් කර ලුනු දමා වෙනත් රසකාරක ද යොදා ප්‍රනීත කර ඇත. මෙවැනි මිල අධික ආහාරයක් වරායේ බත්පතට එකතු කිරීමට තරම් එම ආයතනය නිර්ලෝභී වීම සමස්ත ලංකා මට්ටමේ පුදුමයකි. කෑමවලින් ගසා කෑම රාජ්‍ය ආයතන රැසක තිබෙන පුරුද්දකි. මේ ආකාරයෙන් කෑමවලින් වැඩියෙන්ම ගසා කන්නේ බන්ධනාගාරයයි. ඊළඟට ලංකාවේ ඉස්පිරිතාල වැඩිහරියක රෝහල් ස්ටාෆ් එකේ ඇතැම් කට්ටිය ආහාර ගසා කනු ලැබේ. මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලයේ ඇතැමුන් රෝගීන්ට ගෙනෙන බිත්තර සොරකම් කරගෙන ගෙදර ගෙන යෑම ගැන අප කිසිවක් සඳහන් කරන්නේ නැත. වරායේ කුස්සිය අවුරුදු 45ක් පැරැණි බව කියනු ලැබේ. මෙහි ඇති ගෑස් ලිප් ඉතා පැරැණි බැවින් ඒවා යොදාගෙන ආහාර පිසීමේදී ගෑස් විශාල වශයෙන් අපතේ යන බව වරාය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර ඇත. මෙය ආණ්ඩුවේ කැඩුනු ටැප් එක හා සමාන කතාවකි. ටැප් එක කැඩුනු විට ආණ්ඩුව එය හදන්නේ නැත. කැඩුනු කරාමයෙන් වතුර ඔහේ ගලාගෙන යන අතර වතුර අවශ්‍ය අය එහි පැමිණ වතුර රැගෙන යති. ඔවුන් ගිය පසුද ටැප් එක දිගටම වැඩ කරයි. මේවා පැය විසිහතරේ ඔන් ඩියුටි ටැප් ලෙස හැඳින්විය හැකිය. රාජ්‍ය ආයතන බොහොමයක පාවිච්චි කරන පරණ බඩු යථා තත්ත්වයට පත්කිරීමක් සිදුවන්නේම නැත. මේ නිසා පැරැණි රාජ්‍ය ආයතන හැම එකකම වතුර ලීක්, විදුලි කාන්දු යනාදිය පවතී. මේවායින් අවුරුද්දකට මේ රටට සිදුවන පාඩුව කිසිවෙක් විසින්වත් ගණන් බලා නැත. මේ ගණන් බැලීම ද ලෙහෙසි කෙලියක් නොවේ. ඒ සඳහා වෙනම විගණනයක් කිරීමටත් එකී විගණනය වෙනුවෙන් තිස් හතළිස් දහක් දෙනා පත්කිරීමට ආණ්ඩුවට සිදුවේ. ඒ නිසා හැම ආණ්ඩුවකම පුරුද්ද වන්නේ මෙවැනි දෙයක් දුටු සැණින් අහක බලාගෙන එතැනින් යෑමය.

රජයේ වියදම් බහුල බැවින් පාර්ලිමේන්තුවේ ආපනශාලාවෙන් මන්ත්‍රීවරුන්ට ලබාදෙන ආහාර වේල සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇත. වෙනදා මේ ආහාර වේල තෝර මාළු, කුකුළු මස්, එළවළු වර්ග, කජු මාළුව වැනි අයිතමයන්ගෙන් සමන්විත විය. කෑමෙන් පසු කදිම අතුරුපසක් ද ලබාදෙනු ලැබේ. දැන් මේ සියල්ල සාමාන්‍ය බත්පතක මට්ටමට ගෙනවුත් ඇතැයි කියනු ලැබේ. ඊට අමතරව අතුරුපස ද කපා දමා ඇත. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට සුපිරි ආහාර ගිල්ලවිය යුතු නැත. රටට කෙලවී තිබෙන මේ කෙලවිල්ලට මේ 225 දෙනාම වගකිව යුතුව තිබේ. මෙයින් සමහරුන්ට කන්න දිය යුත්තේ 2 × 2 ප්‍රමාණයේ පොලුවලිනි. පාර්ලිමේන්තු පැවැත්වෙන එක දවසකට රුපියල් මිලියන 10 ක් පමණ වැයවන බව දැනගන්නට තිබේ. මෙයින් සෑහෙන කොටසක් කෑමට වැයවන බව අප උපකල්පනය කරමු. අප ජීවත් විය යුත්තේ ආහාර පිණිස නොවේ. අප ආහාර ලබාගත යුත්තේ ජීවත් වීමට පමණි.

පසුගියදා මත්තල ගුවන්තොටුපළ ගැන නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කළ කතාවද ඉතා වැදගත්ය. මත්තල ගුවන්තොටුපළින් විශාල පාඩුවක් සිදුවන බවත් එය ඉදිකර ඇත්තේ වන සතුන්ට අයත් භූමියක බවත් ඔහු සඳහන් කළේය. අපේ භූමිය තව කෙනෙක් ඩැහැගන්නට තැත් කළොත් අපි ඔහුට එරෙහිව නඩු මඟකට පිවිසෙමු. එහෙත් සතුන්ගේ භූමිය අප ආක්‍රමණය කළාට සත්තු අපට විරුද්ධව නඩු යන්නේ නැත. මත්තල ගුවන්තොටුපළ ඉදිකරන සමයේදී නිමල් සිරිපාල ද සිල්වා මහතා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ සිටි ඇමැතිවරයෙකි. එදා ස්වකීය තනතුර රැකගැනීම සඳහාත් එම තනතුර හරහා ලැබෙන වෙනත් වරප්‍රසාද සඳහාත් කට වසාගෙන සිටින්නට ඔහුට සිදුවිය. අද ඔහු කට ඇර ඇති අතර එම කටින් තවත් බොහෝ වැදගත් දේ කියවෙනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.
 

advertistmentadvertistment
advertistmentadvertistment