මෙහෙම ගියොත් ජනවාරි වන විට කොවිඩ් මරණ 18000 ක්… ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරයි… සති තුනක් සියලු උත්සව අවලංගු කරන්න

277

මේ වන විට මෙරටේ පවතින කොවිඞ් ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු නොකළහොත් ලබන ජනවාරි මාසය වන විට රටේ සමස්ත කොවිඞ් මරණ ගණන 18,000ක් දක්වා ඉහළ යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ සමීක්ෂණ අනුව පුරෝකථනය කරගෙන තිබේ. 04 – පිටුවට

 ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට වෛද්‍ය විශේෂඥයින් 30දෙනකුගෙන් සමන්විත පිරිසක් සමග එක්වී සිදුකළ සමීක්ෂණ ප‍්‍රතිඵල අනුව මෙම පුරෝකථනයට එළැඹී තිබේ. එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙරේදා (12 දා* දිනයේ දී භාර දී ඇත.

 දැනට පවතින කොවිඞ් තත්ත්වය පාලනය කිරීම සඳහා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔවුන් ප‍්‍රබල ලෙස ඉන් දන්වා ඇත්තේ සංචරණ සීමා පැනවීමය.

 දැනට ක‍්‍රියාත්මක පළාත් සංචරණ සීමා වර්තමාන කොවිඞ් තත්ත්වය පාලනය කිරීම සඳහා ප‍්‍රමාණවත් නොවන බව මෙහිදී ඔවුන් පෙන්වා දී තිබේ. ඒ අනුව දිස්ත‍්‍රික් අතර සංචරණ සීමා පැනවීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු බව ද එම නිර්දේශවල සඳහන්ය.

 අවම වශයෙන් කෙටි කාලයකට හෝ ඇඳිරිනීතිය පැනවීම මෙන්ම සති 03ක කාලයක් සියලූ උත්සව නවතා දමා දැඩි සෞඛ්‍ය ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීම සිදුකළ යුතු බවට ද එම සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

 මේ අතර සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳව ද ඔවුන් අදාළ සමීක්ෂණය මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇත. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සියලූ දෙනා එන්නත්කරණ වැඩසටහනට සහභාගී කරවීම පිළිබඳව ද අදහස් ඉදිරිපත් කර ඇත.

 එමෙන්ම කොවිඞ් රෝගයේ පවතින බරපතළකම සම්බන්ධයෙන් ජනතාව ඉතා දැඩිව දැනුවත් කළ යුතු බව අදාළ සමීක්ෂණය මගින් පෙන්වා දී තිබේ.

 ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට විශේෂඥ වෛද්‍යවරුන් වනුයේ පාලිත අබේකෝන්, නිහාල් අබේසිංහ, රජීව් ද සිල්වා, ලක්මාලි ප‍්‍රනාන්දු, පද්මා ගුණරත්න, ආනන්ද විජේවික‍්‍රම යන මහත්ම මහත්මීන් මෙන්ම මහාචාර්යවරුන් වන කාමිනී මෙන්ඩිස්, මලික් පීරිස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසකි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment