මෙහෙම ගියොත් රිම් එකෙනුත් යන්න බැරිවෙයිද?

359

ආර්ථික අගාධයේ තවත් පතුළට යනවාද ?

ආර්ථික අගාධය

දැන් මුළු රටම තිබෙන්නේ බලවත් ආර්ථික අගාධයකය. අපි මේ ආර්ථික අගාධයේ තවත් පතුළට යනවා ද ? එසේ නැත්නම් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා ද ? එහෙත් දැන් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ආණ්ඩුවට පමණක් කළ නොහැකිය. එසේම එය මහ බැංකුවට හෝ මුදල් අමාත්‍යාංශයට පමණක් කළ හැකි දෙයක් ද නොවේ. මේ ආර්ථික අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී රටේ විශාල දේශපාලන අස්ථාවරත්වයක් ද නිර්මාණය වී ඇත. එසේම මේ මොහොතේ ජනතා අසහනය ද ඉහළ ගොස් මහජනයා පාරට බැස විරෝධතා දක්වන්නට පටන් ගෙන ඇත. මේ නිසා දේශපාලන අස්ථාවරත්වයට අමතරව මේ මොහොතේ සමාජ අස්ථාවරත්වයක් ද ඇතිව තිබේ. ඒ නිසා මේ බලවත් අර්බුදයෙන් මිදීමට ආර්ථික විසඳුම් පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. කොවිඩ් වසංගතය සමග උග්‍ර වූ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා මේ රජය රට පාලනය කළ පසුගිය වසර දෙකහමාරක පමණ කාලයේ දී නිසි තීන්දු තීරණ නොගත් නිසාත් එසේම ඇතැම් වැරදි තීරණ ගෙන ඒවායේ දැඩිව එල්බගෙන සිටීම නිසාත් අද රටත් ජනයාත් මේ බලවත් අනතුරට මුහුණ දී සිටී. මෙයට මුළුමනින්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය පොදුවේ වගකිව යුතු බව කීමට සිදු වේ. මුදල් ඇමැතිවරු පත් කළේත් ඉවත් කළේත් නැවත පත් කළේත් ජනාධිපතිවරයාමය. දැන් පත්ව සිටින්නේ තුන් වැනි මුදල් ඇමැතිවරයාය. එසේම මේ ටික කාලයට මහ බැංකු අධිපතිවරු තිදෙනෙක් පත්ව ඇත. ඒ අය පත් කළේත් ජනාධිපතිවරයාමය. එසේම නොයෙකුත් උපදේශකයන් සහ ජනාධිපති ලේකම් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් පත් කරගත්තේත් ජනාධිපතිවරයාමය. ඒවාට කවුරු උපදෙස් දුන්නා ද කියා අප දන්නේ නැත. මේ ඇතැම් වැරදි පත් කිරීම් නිසා ද මේ ආර්ථික අර්බුදය උග්‍ර වී මේ ඛේදජනක තත්ත්වයට රට පත් විය. ඒ නිසා මේ ආර්ථික අර්බුදය අද පවතින තත්ත්වයට වර්ධනය විය. එනම් වෙන දෙයක් නොව රට බංකොලොත් බවට පත්ව අපේ විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි බව පසුගිය අප්‍රේල් 12 වැනිදා රජය විසින්ම ලෝකයට ප්‍රකාශ කර තිබේ. දැන් ජනාධිපතිවරයා කියන්නේ මෙහෙම කතාවකි.

“අපෙන් අතපසුවීම් සිදු වුණා. ඒවා නිවරැදි කර ගන්න ඕන. ඒවා නිවැරැදි කරගෙන තමයි අපි ඉදිරියට යන්න ඕන. ජනතාවගේ විශ්වාසය නැවත දිනාගන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට මීට පෙර යන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් කියලා මම හිතනවා.. අපි ඒවා නැවත ලබා දෙන්න ක්‍රියා කර තිබෙනවා. මේ ආර්ථික අර්බුදය නිසා මතුවූ ගැටලු රාශියකින් අද ජනතාව පීඩනයට පත්ව තිබෙනවා. ඒ ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා. ජීවන වියදම දරාගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව, අසහනය හා කෝපය ඉතාමත් සාධාරණයි.

ජනපතිගේ මේ කතාව කිසියම් පපොච්චාරණයක් බඳුය. මේ කතාව ගැන බොහෝ දෙනෙක් කියන්නේ ජනපතිවරයා විසින්ම ‘මම ෆේල්’ කියා පිළිගෙන ඇති බවය. එසේ නම් මේ ආණ්ඩුව හොඳටම කර නැත. කොවිඩ්වලට එරෙහි එන්නතකරණයෙන් පමණක් මේ සියල්ල මැනිය නොහැකිය. එනම් මේ ආණ්ඩුව ‘මම තමයි හොඳටම කළේ’ වැනි මානසිකත්වයෙන් දිගටම කටයුතු කර රට විශාල ආර්ථික අගාධයකට ඇද දමා ජනතාව මහ පාරට බසින තත්ත්වයක් විහින්ම නිර්මාණය කරගෙන ඇත. මේ පවතින ආර්ථික අර්බුදයේ හේතු සාධක බොහෝ කලක් තිස්සේ තිබෙන ඒවා බව ඇත්තය. ඒවා මේ කාලයේ පමණක් ඇති වූ ඒවා ද නොවේ. පසුගිය ආණ්ඩුවට ද මේවායේ සම්බන්ධයෙක් තිබේ. එහෙත් ඒ ආණ්ඩුව පරාජය කර ඇති විශාල ජනවරමක් ලබා දී ජනයා මේ ආණ්ඩුව බලයට පත් කළේ ගිය ආණ්ඩුවේ වැරදි කියා කියා සිටීමට ද නොවේ. රටේ ප්‍රශ්න විසඳිය යුතු වන්නේ පවතින රජයයි. කෙසේ හෝ වැරදි රාජ්‍ය පාලනය සහ අහිතකර ආර්ථික කළමනාකරණය නිසා දැන් රට බංකොළොත් වී රට පුරා මහජන විරෝධතා ඇති වී තිබේ. අපි තමයි හොඳටම කරේ කී ජනාධිපතිවරයා දැන් කියන්නේ කුමක් ද ? පසුගිය දා පත් කළ අලුත් ඇමැති මණ්ඩලය අමතා ඔහු මෙසේ කියා තිබුණි.

බදු වැඩි වෙයි

රුපියල පිරිහීම නිසා ජනයා දැඩි පීඩනයකට ලක්ව ඇති බව මුදල් ඇමැති අලි සබ්රි ඇමෙරිකාවේ වොෂින්ටන් සිට බ්ලූම්බර්ග් රූපවාහිනියට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් පවසා ඇත. එහිදී මාධ්‍යවේදිනිය බදු වැඩි කිරීම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බදු වැඩි කළ යුතුව ඇති බව මුදල් ඇමැති අලි සබ්රි මහතා පිළිගෙන ඇත. එහෙත් මේ වන විට ලාංකිකයන් රුපියල පිරිහීම නිසා දැඩි පීඩනයකට ලක්ව සිටින බව ද මුදල් ඇමැතිවරයා එම සම්මුඛ සාකච්ජාවේ දී කීවේය. මේ නිසා ආහාර මිල ඉහළ ගොස් උද්ධමනය වැඩි වී ඇති බව ද ඔහු සඳහන් කළේය. මේ වන රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8.6 ක් බව ද එය සියයට 13 ත් 14 ත් අතර මට්ටමකට මැදිකාලීනව වර්ධනය කරගත යුතු බව ද මුදල් ඇමැතිවරයා එහිදී කියා සිටියේය. ජනයා දැඩි පීඩනයකට පත්ව සිටින නිසා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට බදු වැඩි කළ යුතු වුවත් එය ක්‍රමානුකූලව කළ යුතු බව ද මුදල් ඇමැතිවරයා කියා තිබේ. රජයේ බදු ආදායම අඩු මට්ටමක තිබියදී ඒ පැවති බදු ආදායමට කෙලව ගත්තේ ද මේ ආණ්ඩුවමය. ඒ වැට් බදු සහනය ඇතුළු නොයෙකුත් ආකර්ෂණීය බදු සහන දෙමිනි. මේ නිසා 2020 වසරේ දී පමණක් බදු ආදායම රු. බිලියන 518 කින් පමණ පහත වැටුණි. අප දන්නා තරමින් ඒ බදු අඩු කිරීමෙන් වූයේ රජයේ බදු ආදායම විශාල වශයෙන් අඩු වීම මිස ජනතාවට ලැබුණු සෙතක් නැත. මේවා කාගේ තීරණ ද ? ඒ නිසා මේ විශාල බදු කප්පාදුවේ සිට රසායනික පොහොර ලබා නොදීමේ සිට සීනි බදු ශත 25 ට අඩු කිරීමේ සිට අයිඑම්එෆ් කලට වෙලාවට නොයෑම දක්වා මේ ආණ්ඩුව ගත් තරමක් ගත්තේ වැරදි තීන්දුය. මේවා ගොන් තකතීරු තීන්දුය. එක රැයින් ගැසට් ගසා රසායනික පොහොර ආනයනය කිරීම නවතා කාබනික කෘෂිකර්මයට ගමන් කළ නොහැකි බව තේරුම් ගැනීමට මහලොකු කෘෂි විශේෂඥයෙකු වීමට අවශ්‍ය නැත. එහෙත් ඒ දෙයවත් තේරුම් නොගෙන මේ ලෝක වසංගතය මධ්‍යයේ වහාම කාබනික කෘෂිකර්මයකට ගමන් කිරීමට ජනාධිපතිවරයා දැඩි මතයක සිටියේය. ඒ නිසා බොහෝ ගොවි ජනයා පීඩාවට පත් විය. ජනාධිපතිවරයාට තමා හෝ රජය ගත් ඇතැම් තීන්දු වැරදි බව පිළිගැනීමට ජනයා පාරට බසින තෙක්ම සිටියේය. කෙසේ හෝ මේ කියන වැරදීම් නිසා මේ වන විට ගොවි ජනයාට පමණක් නොව මුළු මහත් රටවැසියාටම විඳවීමට සිදුව ඇත. එසේම ඉතාහාසයේ ප්‍රථම වතාවට රට විදේශ ණය ගෙවාගත නොහැකි බංකොලොත් තත්ත්වයට පත් විය.

මේ පසුබිම තුළ ජනයාට අනාගතය පිළිබඳ ඇත්තේ ද ඉතාම අවිනිශ්චිත හැඟීමකි. කෙසේ හෝ ජනපතිවරයාගේ ගෙදරට යන මිරිහානේ පාර අසල කළ මහජන විරෝධතාවට පින්සිදු වන්නට ආණ්ඩුව ඇතුළේ බොහෝ වෙනස්කම් සිදුව ඇත. කොටින්ම අගමැතිවරයා ඇතුළු මුළු කැබිනෙට්ටුවම අස් වී මේ වන විට තවත් සංඛ්‍යාවෙන් අඩු සහ සාපේක්ෂව තරුණ අයගෙන් සමන්විත අලුත් ඇමැති මණ්ඩලයක් පත් කරගෙන ඇත. එහෙත් ඒ අරගලකරුවන් කියන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ කියාය. එනම් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යා යුතු බවය. අගමැතිවරයා හැර සෙසු රාජපක්ෂවරුන්ට ඇමති ධුර අහිමිව ඇත. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට මුදල් ඇමැතිධුරය ද අහිමිව ඇත. මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම තනතුරින් ඉල්ලා අස් වී ඒ වෙනුවට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්ව ඇත. එසේම මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි මහින්ද සිරිවර්ධන මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ද පත්ව සිටී. ඔවුන් දෙදෙනාම දැන් වැඩට බැස ඇත. ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ඔවුන් මේ වන වන විටත් හදිසි තීරණ කිහිපයක්ම ගෙන ඇත. පොලී අනුපාත වැඩි කිරීම්, අයිඑම්එෆ් සාකච්ජා කඩිනම් කිරීම, විදේශ ණය ගෙවීම අත්හිටුවීම සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන කරුණු මේ අතරින් ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැකිය.

අඩියටම වැටුණු විදේශ සංචිත

මෙහෙම ගියොත් රිම් එකෙනුත් යන්න බැරිවෙයිද?

රජය වෙනුවෙන් විදේශ ණය පියවීම් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවයි. මහ බැංකුව පසුගිය කාලයේ නිල නිවේදන මගින්ම කීවේ සියලු විදේශ ණය ගෙවිය හැකි බවත් අයිඑම්එෆ් යෑමට හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්ය. එහෙත් අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් ඒ අයුරින්ම නොලැබීම සහ රට හමුවේ පැවති ඉහළ විදේශ ණය පියවීමේ වගකීම් නිසා අපගේ විදේශ සංචිත තත්ත්වය වේගයෙන් පිරිහීමට ලක් විය. මේ අනුව 2022 පෙබරවාරි මස අග පැවති අමෙරිකානු ඩොලර් මිලියන 1939 ක් වූ විදේශ මුදල් සංචිතය ඉකුත් මාර්තු අගවන විට සියයට 14.9 කින් පහත වැටී ඇමෙරිකානු ඩොලර් මිලියන 1724 දක්වා අඩු විය. එහෙත් මෙහි චීන මුදල්වලින් ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 1500 ක් පමණ වන විදේශ විනිමය හුවමාරු පහසුකමේ අගය අඩු කළ පසු අපගේ ඉතිරි වන විදේශ මුදල් සංචිත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 224 ක් පමණ වන ඉතාම අඩු අගයකි. ඒ 2022 මාර්තු අගදී වන නිසා විදේශ ණය ගෙවීම අත්හිටුවීමේ තීරණය ගත් 2022 අප්‍රේල් 12 දින වන විට තෙල් සඳහා ගෙවීම් ඇතුළු වෙනත් විදේශ විනිමය වියදම් ද දැරීමෙන් පසු එම විදේශ සංචිත මුදල තවත් අඩුවේ. ඒ නිසා විදේශ ණය ගෙවීම තබා අපගේ අත්‍යවශ්‍ය ආනයන සඳහාවත් විදේශ විනිමය නොමැති තත්ත්වයකට රට පත්ව තිබුණි. මේ ගැන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එදින (12 ) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී කීවේ විදේශ ණය ගෙවීමේ හැකියාව නැත්තටම නැති වී ඇති බවකි.

ප්‍රපාතයකට ගමන් කරමින් සිටි ආර්ථිකය

මෙහෙම ගියොත් රිම් එකෙනුත් යන්න බැරිවෙයිද?

මහ බැංකුව විසින් රජයේ විදේශ ණය ගෙවන්නේ අප මේ සාකච්ජා කරන විදේශ සංචිතයේ ඇති මුදල්වලිනි. මේ නිසා වූයේ අපේ විදේශ සංචිත මට්ටම පිරිහෙන අතරම මහ බැංකුව නිල වශයෙන් කියන විදේශ සංචිතයේ ඇති චීන විනිමය හුවමාරු පහසුකමේ මුදල් තිබෙන්නේ චීන මුදල්වලින්ම නිසා එය ණය ගෙවීමට අපට භාවිත කළ එකක් නොවීමයි. එය භාවිත කළ හැකි එකක් නොවන බව මුදල් ඇමැති අලි සබ්රි මහතාම මාධ්‍යයට පවසා තිබුණි. ඒ නිසා චීන විනිමය හුවමාරු පහසුකමේ මුදල් විදේශ සංචිතයට එකතු කර සාපේක්ෂව ඉහළ විදේශ සංචිතයක් තිබෙන බවට කීවත් එයින් ඵලක් නැත. එය අපට හිත සනසා ගැනීමට හොඳ වුවත් ඉන් අපට භාවිත කළ හැකි ද්‍රවශීල සංචිත ප්‍රමාණය සොච්චමක් විය. මේ නිසා අප ගමන් කරමින් සිටියේ විදේශ ණය නොකියාම පැහැර හැරීමට සිදුවන ඉතා භයානක තත්ත්වයක් කරාය. කෙසේ හෝ නව මහ බැංකු අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙස මහින්ද සිරිවර්ධන මහතා පත් කිරීමෙන් පසු මේ සංචිතයේ තත්ත්වය අනුව අපට තවදුරටත් විදේශ ණය ගෙවීමට සහ අත්‍යවශ්‍ය ආනයන සඳහා විදේශ විනිමය ලබා දීම යන දෙකම එකවර කළ නොහැකි බව තේරුම් ගෙන විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ප්‍රකාශයට පත් කළේය. එය ද අපගේ ඉතිහාසයේ කළු පැල්ලමක් බව සැබෑය. අපගේ විදේශ සංචිත තත්ත්වය අඩියටම වැටී තිබුණු තත්ත්වය හමුවේ ගත හැකිව තිබූ වෙනත් විකල්පයක් නැත. ඒ නිසා කළ යුතුව තිබුණේ ඇත්ත තත්ත්වය කියා විදේශ ණය ගෙවීම අත්හිටුවීමටය. දැන් එම තීරණය ගෙන තිබේ. එහෙත් ඒ තීරණය ගත්තේ කෙසේ ද කියා ඇතැම් අය ප්‍රශ්න කරන බව ද පෙනේ. නමුත් එසේ නොකරා නම් වන්නේ කොහොමත් නොකියාම විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වීමයි. එසේ නොකියාම අපට අපගේ විදේශ ණය ගෙවීම පැහැර හැරීමට සිදුවීම ඉතා ආසන්න මට්ටමකට පත්ව තිබුණි. එය එසේ වූවා එය ඊටත් වඩාත්ම නරක තත්ත්වයයි. ඒ නිසා අලුතින් පත් වූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා එම වඩාත්ම නරක තත්ත්වයට පත් වීම වළක්වා ගෙන තිබේ. කෙසේ හෝ සිදුව ඇත්තේ අපට අපගේ විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි මට්ටමකට අපගේ විදේශ සංචිත ඉතිහාසයේ පහළම අඩියට ඇද වැටීමයි. එවැනි ප්‍රපාතයක් කරා අපේ විදේශ ආර්ථිකය ගමන් කරමින් සිටියත් ඒ ඇත්ත මහ බැංකුව පැත්තෙන් රටට ප්‍රකාශයට පත් වූයේ නැත. එහෙත් එම භයානක තත්ත්වය මේ විෂය දන්නා සියලු දෙනාම පාහේ රටට කියමින් සිටියහ. එසේම එම භයානක තත්ත්වය රජයට, විශේෂයෙන් ජනාධිපතිවරයාට සහ මුදල් ඇමැතිවරයාට හෝ මහ බැංකුව විසින් දැනුම් දුන්නා ද යන්න ප්‍රශ්නයකි. මහ බැංකුව විසින් පසුගිය කාලයේ රජයට කරන ලෙස මුදල් අමාත්‍යාංශයට වෙත දැනුම් දුන් නිර්දේශ තිබුණත් එම නිර්දේශවලින් පමණක් අපගේ විදේශ ණය පැහැර හැරීමට සිදුවන තත්ත්වය වළක්වා ගැනීමට හැකි නොවන බව පැහැදිලිව පෙනේ.

අයිඑම්එෆ් සාකච්ජාවල ඉදිරිය

මෙහෙම ගියොත් රිම් එකෙනුත් යන්න බැරිවෙයිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොගෙන අපගේ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමට හැකි වූවා නම් එය එය වඩාත්ම හොඳම තත්ත්වයයි. එසේ නම් ඒ සඳහා අපට විදේශ ණය පැහැර හැරීමක් සිදු නොවන පරිදි මේ විනිමය අර්බුදය කළමනාකරණය කරගත හැකි විකල්ප වැඩපිළිවෙළක් මුල සිටම තිබිය යුතු විය. එහෙත් එවැන්නක් නොතිබිණි. 2021 ඔක්තෝබර් 01 වැනිදා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සය මාසික මාර්ග දැක්මක් ප්‍රකාශයට පත් කළ විට මේ ප්‍රශ්නය අපට කළමනාකරණය කරගත හැකිවනු ඇති බවට විශ්වාසයක් ඒ මොහොතේ ජනිත වුවත් දිගටම ඇමෙරිකානු ඩොලරයේ අගය රු.203 ක ස්ථාවර අගයේ පවත්වාගෙන ගියේය. එසේම එම වැඩපිළිවෙළේ අපේක්ෂා එලෙසම ඉටු නොවූ අතර ලැබෙමින් තිබූ විදේශ විනිමය ප්‍රේෂණ පවා තවත් අඩු වීමට පටන් ගත්තේය. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොගෙන අපගේ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමට යම් හැකියාවක් තිබුණා නම් ඒ හැකියාව ද නොමැති අහිතකර තත්ත්වයකට අප පත්විය. මේ නිසාම මේ විෂය ගැන ඉතා හොඳින් දන්නා පිරිස්, ආර්ථික විද්වතුන් සහ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු බොහොමයක් දෙනා රජයට කියා සිටියේ අයිඑම්එෆ් සහාය ගන්නා ලෙසයි. එය බීරි අලින්ට කළ වීණා වාදනයක් පමණක්ම විය. එහෙත් ජනාධිපතිවරයා දැන් කියන්නේ කුමක් ද ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට මීට පෙර යන්න තිබුණා කියලා තමා විශ්වාස කරන බවයි. කෙසේ හෝ බොහෝ ප්‍රමාද වී අයිඑම්එෆ් සමග සාකච්ජා කිරීමට අප පටන් ගෙන තිබේ. අපගේ මුදල් ඇමැති අලි සබ්රි මහතා ඇතුළු නියෝජිත පිරිස ඇමෙරිකාවේ වොෂින්ටන්හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානය වෙත ගොස් අපගේ විදේශ විනිමය අර්බුදය ගැන සාකච්ජා කළේය. ඒ ගැන පසුගිය දිනවල මාධ්‍ය වාර්තා බොහොමයක් පළ විය. ඒ සාකච්ජාවල ප්‍රගතියක් තිබේ. එහෙත් අපගේ විදේශ ණය තිරසාර නොමැති නිසා අපට මූල්‍ය පහසුකම් ගැනීමට නම් ප්‍රථමයෙන් අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගෙන තිරසාර මාවතකට පත් කරගත යුතු වේ. එතෙක් අපට මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ලැබෙන්නේ ද නැත. එසේ නම් දැන් අපට තිබෙන්නේ තිරසාර නොවන මට්ටමකට පත්ව ඇති අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගෙන තිරසාර මාවතකට පත්කර ගැනීමයි.

ඉන්දියාවේ සහාය නැවත සහතික කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග සාකච්ජා කරන අතරවාරයේ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ඉහළ මට්ටමේ ඉන්දීය නියෝජිත පිරිස සමග වොෂින්ටනයේ මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී සාකච්ජා කිරීමට ද අපගේ මුදල් ඇමැති අලි සබ්රි මහතා ඇතුළු නියෝජිත පිරිසට හැකි විය. අප්‍රේල් 18 වැනිදා පැවති එම එම හමුවේ දී සීතාරාමන් මහත්මිය ඉන්දියාවේ පූර්ණ සහයෝගය අමාත්‍ය අලි සබ්රි වෙත සහතික කර ඇත. ඉදිරියට යෑමට ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට ඉන්දියාවේ කැපවීම ඇය අවධාරණය කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදු කරන සාකච්ඡා සඳහා ඉන්දියාව පූර්ණ සහාය ලබා දෙන බව ද ඉන්දීය මුදල් ඇමැතිනිය අමාත්‍ය අලි සබ්රි මහතාට පවසා ඇත. ණය තිරසාර මාවතකට ගෙන මූල්‍ය අරමුදලෙන් අපට මුදල් ලැබෙන තෙක් අපට රට ඉදිරියට ගෙන යෑමට ද විදේශ විනිමය අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා විදේශ රටවල්වල මෙන්ම ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ණය දෙන ආයතනවල සහාය ද අපට අවශ්‍ය වනු ඇත. මේ සඳහා අපට කිසියම් කාලයක් ආර්ථික අමාරුකම් දරා ගනිමින් ඉවසීමෙන් කටයුතු කිරීමට ද සිදුවනු ඇත. රටේ සියලු පාර්ශ්වයන්ගේ සහාය මෙයට අවශ්‍ය වනු ඇත. එසේ නොවුවහොත් වනු ඇත්තේ අප වැටී මේ ආර්ථික අගාධයේ තවත් පතුළට ගමන් කිරීමට අපට සිදු වීමයි.

● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment