මෙහෙම ගියොත් 21ටත් ‘කපුට’ කොටයි!

417

මේ රටේ සමාජ-ආර්ථික හා දේශපාලන ක්‍ෂේත්‍රවල තවමත් ප්‍රමුඛ මාතෘකා බවට පත්ව තිබෙන්නේ දවසින් දවස උග්‍රවන සමාජ, ආර්ථික අර්බුද හා දේශපාලන ව්‍යාකූලත්වයයි. කොළඹ පමණක් නොව, බොහෝ නගර හා උප නගර ද ඇතැම් ගම් දනව්වල ද සිය දෛනික ජීවිත පවත්වා ගත නොහකිව වීදි බැස සිටින විවිධ ජන කොටස්වලින් ආණ්ඩුවට එරෙහිව නැඟෙන විරෝධාවල උණුසුමෙන් වාතලය ද ගිනියම් වී ඇත්තාක් මෙනි. ඒ ප්‍රබල මහජන ප්‍රතිචාර අබියස පොලිසිය මෙන්ම ආරක්‍ෂක හමුදාවෝ ද දුර්මුඛව සිටිති. ඉන්ධන හා ගෑස් පෝලිම්වල පමණක් පැය ගණන් නොව, ඇතැම්විට දින ගණනක්ම දුෂ්කර ක්‍රියාකරන ඒ බොහෝ ගැහැනුන් හා මිනිසුන් විසින් සමස්ත ආණ්ඩුවට ම එල්ල කරනු ලබන දෝෂාරෝපණ, ශාප කිරීම්, පළිගැසීම් ආදියෙහි ද කෙළවරක් නැත. ඔවුන්ගේ සාධාරණ කෝපය වෛරයක් බවට සැණකින් පෙරළී ඒ පිරවුම්හල් හා ගෑස් අලෙවි සැල් අබියස ඇන කොටා ගන්නා අවස්ථා ද බොහෝය. මේ කිසිවෙක් වරප්‍රසාද සහිත ජීවිත ගෙවන්නෝ නොවෙති. එදිනෙදා කුලියක් මලියක් කර දවස ගෙවන, අය මෙන්ම සුළු වෙළෙඳාමකින් වේල පිරිමසා ගන්නා අය ද ඒ පෝලිම්වලට දියවී යන තම දුක්බර කතා පිළිබඳ කරන විවරණ ද හද කම්පා කරවන සුළුය. මෙබඳු පුවත් අතරින් මුළු රට ම කම්පාවට පත් කළ එක් පුවතක් මෙහිලා දැක්විය හැකිය. ඒ දියතලාව රෝහලේ වෛiවරයකු විසින් සිය මුහුණු පොතේ තබන ලද සටහනකි. දින දෙකක් වයසැති බිලිඳියක් රෝහලට රැගෙන එද්දී ත්‍රිරෝද රියෙහි ඉන්ධන අවසන් වූ නිසා ඉන්ධන පිරවුම්හලක පෝලිමකට එක්ව ඇත. පැයකට කිට්ටු කාලයක් එහි ගෙවා, රෝහලට යනවිට ඒ බිලිඳිය අන්තිම අඩියෙහි සිට ඇත. පසුව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ ඒ බිලිඳිය මියගොස් ඇත. වෛiවරයා පවසා තිබුණේ තව පැය භාගයක් ඉස්සර වූවානම් ඇගේ ජීවිතය බේරා ගත හැකිව තිබුණු බවය. මෙසේ වාර්තා නොවන එබඳු මානුෂික පුවත් තව කොපමණ තිබිය හැකිද?

මෙයට අමතරව ඉන්ධන පෝලිම්වලදී මියගිය අය ගැන ද වාර්තා පළවී ඇත. කුමක් වුවත් මේ වූ කලී වගකීම් විරහිත පාලනයකදී ගොදුරු බවට පත්වන පොදුජන ජීවිතවල ස්වභාවයයි. එපමණක්ද? මෙයට දින කීපයකට පෙර ඉන්ධන පෝලිමක දැඩි නොසන්සුන්තාවක් ඇතිවී තිබේ. එයට හේතු වූයේ පෝලිමට එකතු වනවිට ඉන්ධන ලීටරයක මිල රු. 338/= ක් වුවද ඉන්ධන ලබාගැනීමේදී එහි මිල රු. 420/= ක් වී තිබීමය. මෙය උත්ප්‍රාසනීය සිදුවීමකි. ඇත්තෙන්ම සිදුව ඇත්තේ පෝලිමේ දිනක් ගත වෙද්දී දෙවන දවස වනවිට ආණ්ඩුව තෙල් මිල ඉහළ දමා තිබීමය. මැදියම් රැයෙහිදී මිල ඉහළ දමනවිට රට පුරා ඉන්ධන පෝලිම්ය. එහෙත් ඒ කිසිවක් ආණ්ඩුවේ නිල බලධාරීන්ගේ අවධානයට ලක්ව නැත. මේ වනවිට ඛනිජ තෙල් විෂය භාරව ඇමැතිවරු කීපදෙනෙක්ම ක්‍රියා කළහ. එසේ වුවද ඉන්ධන පෝලිම් දික් වූවා මිස ප්‍රශ්නය විසඳුනේ නැත. තෙල් නැව් මුහුදේ රඳවා තිබෙන බවත්, ඒවායේ විශාල වශයෙන් තෙල් තොග තිබෙන බව කීවත් ඒ එකම ඇමැතිවරයකුට හෝ ඉන්ධන අවුල ලිහා ගත නොහැකි විය. අද වනවිට ඒ ඉන්ධන අර්බුදය විසින් සමාජයේ ගැටලු රැසක්ම නිර්මාණය කරනු ලැබ ඇත. ඒනිසා පෞද්ගලික ප්‍රවාහන සේවා සියල්ලේම මිල ඉහළ දැමීමට සිදුව තිබේ. බස් රියෙහි අවම ගාස්තුව රු. 32 කි. ගෑස් මිලත් ඉන්ධන මිලත් නිසා කුඩා ආපනශාලා විශාල සංඛ්‍යාවක් වැසුණි. ඒ සමගම ඉහළ ගිය පාන් පිටි මිල සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදන නහුතයටම නැඟ තිබේ. එහෙත් ආණ්ඩුවේ එක ඇමැති උතුමෙක් හෝ මේ ජනතාවගේ දුකට සංවේදී වූ බවක් වාර්තා වී නැත. ඉවක් බවක් නැතුව හිතක් පපුවක් නැතුව පාන් ගෙඩියේ සිට හැම කන බොන දෙයකම මිල ඉහළ යද්දීත් මේ රටේ පොඩි මිනිහා ජීවත් වන්නේ කොහොමදැයි නිකංවත් විමසා බලන ඇමැතියෙක් නිලධාරියෙක් අද සිටිත්ද?

මෙහෙම ගියොත් 21ටත් 'කපුට' කොටයි!

කලකට පෙර චීනයේ මාඕ සේතුං විසින් කියන ලද අපූරු කතාවක් දේශපාලන ලෝකයේ ඇත. එනම් පරමාණු යුද්ධයකින් ලෝකයේ ජනගහනයෙන් සියයට 90ක් මරුමුවට පත් වුවත් ඉතිරි සියයට 10න් හෝ සමාජවාදය ගොඩනැංවිය යුතු බවය. අපේ ගරු ඇමැතිතුමන්ලාත් මේ රටේ දුප්පත් මිනිසුන් මැරෙන්නට හැර දුප්පත් කමත්, විරැකියාවත් දෙකම නැතිකොට සෞභාග්‍යවත් රටක් ගොඩනැඟිය හැකි යැයි කල්පනා කරත්දැයි සිතන්නෙහිද? අපට තෙල් නැති බව සැබෑය. එහෙත් ජනතාවට තෙල් සිහින පෙන්වූ ඇමැතිවරු ද සිටිති. ඒ වෙනම කතාවකි. තෙල් මිල ඉහළ යනවිට පාඩු පිට තෙල් දිය යුතු යැයි කීමට අපට බැරිය. හැබැයි මේ රටේ තෙල් සංස්ථාව පාඩු ලබා තිබෙන්නේ පොඩි මිනිහාට නිකං තෙල් ලබාදී නොවන බව පමණක් කිව යුතුය. කලින් කලට පාලනය භාරගත් ආණ්ඩුවල ඇමැත්තන්ගේ කෙරුම්වල ආදීනව ලෙස තෙල් සංස්ථාව නට්ටම් වී තිබේ. අනෙක් බොහෝ ආයතන විනාශ වූයේ ද ඒ ඒ දේශපාලන හාල්පාරුවන්ට ඒවා නින්දගම් ක්‍රමයට පවරාදීම නිසාය. හැම ආණ්ඩුවක්ම රට පාලනය කළේ ඒ නොසණ්ඩාල තාලයටය. බඩුත් සමග හොරුත් අසු වුවත් දඬුවම් දෙන සිරිතක් ද මෙ රටේ නැත. මහ දවල් මහ බැංකුව කොල්ලා කෑ එකෙක්වත් තවම හරියට අල්ලා ගැනීමට මේ ආණ්ඩුවමට මෙන්ම යහපාලනයට ද බැරි විය. එහෙව් රටක ආර්ථිකය මේ තරමට ඉතිරිවී තිබීමත් හාස්කමක් වැන්න. 69 ලක්‍ෂයක් ඡන්දය දී ගෝඨාභය ජනාධිපති පුටුවට ගෙන ආවේ මේ මනුස්සයා නම් හොර බොරු නැති, කෙළින් වැඩ කරන අයෙකියි ජනතාව සිතූ නිසාය. 20 වැනි සංශෝධනයත් පාස්කර රටේ ව්‍යවස්ථාවේ ඇද කුදත් අයින් කර දුන්නේද රට මකා හෝ හදනු ඇතැයි සිතූ හෙයිනි. එහෙත් සිදුවූයේ වෙනත් දෙයකි.

දේශපාලනය යනු මූනිච්චාවට කරන සෙප්පඩ විජ්ජාවක් නොව, පොදු ජනතාවගේ විමුක්තිය උදෙසා කරන සත් ක්‍රියාවක් බව අද ඒ ජනාධිපතිවරයාට පෙන්වා දීමට ගාලු මුවදොරට එක්වූ මේ රටේ බුද්ධිමත් තරුණයෝ උද්ඝෝෂණ කරති. ඔවුන් ‘ගෝඨා ගෝ හෝම්’ කියන්නේ ද මේ තුච්ඡ දේශපාලනය නඩත්තු කළ පාර්ලිමේන්තුවේ 225ම ඒ විනාශයට වගඋත්තරකරුවන් කරමින්ය. පාර්ලිමේන්තුව ගැන කතා කරන්නට ගොස් ඒ උත්තමයන්ගේ පිත ඇවිස්සුනෝතින් වරප්‍රසාද කෙවිට මානාගෙන අප ලුහුබඳින්නට ද බැරි නැත. එහෙත් අපේ පාර්ලිමේන්තුවේ මේ ජනතා පීඩනය ගැන මෙන්ම ඔවුන් ගොදුරු බවට පත්ව සිටින ආර්ථික අර්බුදය ගැන බරපතළ සංවාදයක්, විසඳුම් මාර්ගයක් යෝජනා නොවූ බව ද කිව යුතුය. ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කිරීම ද ‘දිවයින’ සතු වරප්‍රසාදයක් බව අපට සිතේ. අපට රකින්නට රටක් හා ජනතාවක් ඇත. ඒ ජනදුක නිවීමට බැරි ආණ්ඩු ගිනි තැපීමට ද? ගාලු මුවදොර අරගලය වෙත ජනතාවගේ ආකර්ෂණය පමණක් නොව, ආශීර්වාදය හිමි වන්නේ ද ඔවුන්ගේ විරෝධතා ව්‍යාපාරය ප්‍රබල මහජන හඬක් බවට පත්වීම නිසාය. මේ ආණ්ඩුව දණ ගැස්වීමට ද ඒ ව්‍යාපාරයට හැකිවී තිබීම නිසාය. රාජපක්‍ෂවරුන්ට බලය අතහැර (තාවකාලිකව හෝ) පසු බැසීමට සිදුවී තිබේ. අද ගෝඨාභය ජනාධිපතිවරයා ද 20 වැනි සංශෝධනයෙන් තමන්ට දුන් සුපිරි බලය අත්හැරීමට එකඟතාව පළකර ඇත්තේ ද ඒ ගාලු මුවදොර විරෝධතාකරුවන්ගේ දේශපාලන සංඥා වටහා ගැනීම නිසාය. මෙය මෙරටේ බුද්ධිමත් තරුණයන්ගේ විප්ලවයක් බව සෙසු සම්ප්‍රදායි දේශපාලන පක්‍ෂ මෙන්ම නායකයෝ ද තේරුම් ගත යුතු වෙති. නිදහසින් පසු මෙරටේ පාලන බලය අතට ගත් ස්වදේශික යැයි කියන බොහෝ ප්‍රභූවරුන්ගේ දේශපාලනයෙන් මේ රට ඉදිරියට ගොස් තිබේ ද යන්න ද මේ තරුණ අරගලකරුවන් විසින් නඟනු ලබන ප්‍රශ්නයකි. 56 දී බණ්ඩාරනායක විසින් සිදුකරන ලද දේශපාලන හා සංස්කෘතික විප්ලවය ගැන ද මෙහිදී සිහිපත් වේ. එහෙත් ඉනික්බිතිව රට යළිත් ආපසු ඒ අධිරාජ්‍යවාදී අනුකාරක පන්තිය සතු අභිමතයට යටත් විය. ඉංග්‍රීසීන්ගේ කතිර කොඩිය බිම දමා සිංහ කොඩිය ඔසවා තිබුණත් රට සිය ජාතික සංස්කෘතික අනන්‍යතාව ද විනාශ කරගෙන ඇත.

කෙසේ හෝ ගාලු මුවදොර විරෝධතාකරුවන් අපේක්‍ෂා කරන ශ්‍රී ලාංකික අභිමානයෙන් යුත් රටක් අපට ගොඩනැඟිය හැකිද? ඒ සඳහා මේ ගතානුගතික හා යල්පිනූ දේශපාලන හණමිටිකාරයන්ගෙන් ලැබෙන දායකත්වය කුමක්ද? අද අප මුහුණදී සිටින දේශපාලන අර්බුදය මේ වැඩවසම් ප්‍රභූ, වඩාත් නිවැරදිව කිවහොත් චෞර ප්‍රභූවරුන්ගේ ආධිපත්‍ය බිඳ දැමීමේ අභියෝගයයි. රටම ආර්ථික හා දේශපාලන සුනාමියකට හසුව තිබියදීත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂවලට ඒ විනාශයෙන් ගොඩ ඒමට වඩා ඇටුවන් බහින ලද දේශපාලන එදිරිවාදිකම් හා න්‍යායාත්මක තර්ක වැදගත්වී තිබෙන බවද රහසක් නොවේ. රනිල් අගමැති වීමේ ක්‍රියාවලිය හා ඔහුගේ භූමිකාව දෙස රටේ අවධානය යොමු වූයේත් ඒ පසුබිම තුළ නොවේද? අගමැති රනිල් ගැලවුම්කාරයා වන්නේ රටේ ද එසේ නොවේනම් රාජපක්‍ෂවරුන්ගේද යන ප්‍රශ්නය පක්‍ෂ දේශපාලන තෘෂ්ණාව රහිත සියලු පුරවැසියකු තුළම තිබෙන ස්වභාවික ප්‍රශ්නයකි. රනිල් සිය මාමණ්ඩිය වූ ජයවර්ධන මෙන් ෂේක්ස්පියර් උපුටා නොගෙන අග්‍රගණයේ මාක්ස්වාදී නාට්‍යකරුවකු වූ බර්චෝල්ඩ් බ්‍රෙෂ්ට් මතක් කරන්නේද නිකම්ම නොවේ. ඔහු හෙට අනිද්දා ධම්මපදය පමණක් නොව භගවත් ගීතාවද උපුටා දක්වනු ඇත. එහෙත් ඔහු පොහොට්ටුවෙන් යැපෙන දේශපාලන සරණාගතයකු පමණි. විමල්ලා, අනුර කුමාරලා කියන අර කපුටා ඔහුට කොටන්නට වුවහොත් කුමක් සිදුවිය හැකිද?

මේ ආණ්ඩුව සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් නොවන්නා සේම එය අන්තර්කාලීන ආණ්ඩුවක්ද නොවන බව ආණ්ඩුවත් එහි අනුගාමිකයනුත් හැර අන් සියල්ලෝම එකහෙළා පවසති. ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල පවසන්නේද මෙය පැරණි සාම්ප්‍රදායානුකූල ආණ්ඩුවක්ම බවය. ඒ මදිවාට තම පක්‍ෂයෙන් දෙදෙනකු ද බිලිබා ගෙන ඇමැති ධුර ලබාදීම ගැන ඔහුට කණස්සල්ලක්ද තිබේ. මෛත්‍රීපාල නිවැරදිය. මේ ආණ්ඩුවේ (කැබිනට්ටුවේ) සංයුතිය කුමක්ද? එහි ඇත්තේ මෙයට පෙර ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්‍ෂයක සාමාජිකයෙක් හා ශ්‍රීලනිපයෙන් කඩාගත් දෙදෙනෙකි. ඊට අතරව සිටින හරීන් හා මනුෂ ද ස.ජ.බ. නියෝජනය නොකරති. සෙසු ඇමැතිවරු සියල්ලෝම මෙයට පෙර ඇමැති පදවි ලද්දෝය. සමහරුන්ට අලුත් ඇමැතිකම් ලැබී ඇත. එනිසා ඒ ඇමැතිවරු, අලුත් ඇමැති ඇඳුම් ආයිත්තන්වලින් සැරසුණු පරණ මුහුණුමය. ඔවුන්ගෙන් කී දෙනෙකුට ජනතා ප්‍රසාදයක් තිබේද යන්නත් අපට කිව නොහැක. මේ රට මේ වළට ඇදගෙන ගොස් ඇත්තේද ඔවුන් ක්‍රියාකාරීව සිටි කැබිනට්ටුවක් යටතේම නොවේද? කුමක් වුවත් මුදල් ඇමැති ධුරය ද හිමිවූ අගමැති රනිල් කියන්නේ සංවර්ධන වැඩද තාවකාලිකව නවත්වා සහනසීලී කෙටි අයවැයක් ඉක්මනින්ම ඉදිරිපත් කරන බවය. එබඳු වාතාවරණයක් යටතේ මේ ඇමැතිවරුන්ගෙන් වැඩි දෙනකුගේ කාර්ය භාරය කුමක් විය හැකිද? ඒ මදිවාට තවත් රාජ්‍ය ඇමැතිවරුන් දුසිමක් දෙකක්ද පත්වුවහොත් සිදුවන්නේ කුමක්ද?

කෙසේ හෝ අගමැති රනිල්ගෙන් මේ ආර්ථික අර්බුදයට සහනයක් ලබාගත හැකි යැයි සිතන පිරිස්ද වෙති. නීතිඥ සංගමය ඇතුළු ඇතැම් වෘත්තිකයන් අදහස් කරන්නේද ඔහු ලවා මේ අර්බුදය විසඳා ගත යුතු බවය. එහෙත් ඔහුගේ දේශපාලන වාර්තාව දුර්වල එකකි. අගමැති පදවියට පත්වූ වහාම ඔහු කැඳවා ගත්තේ තම පරාජිත දේශපාලන නඩයයි. එයින් පැහැදිලි වන්නේ ඔහුගේ චින්තන සීමා පථය තවම පරණ රවුමේ හිර වූවක් බවය. එහෙත් මේ අර්බුදයට උරදී සිටින අගමැති රනිල්ගේ කකුලෙන් ඇදීම කෙළවර විය හැක්කේ කිසිවෙක් නොදකින විනාශයකින්ද විය හැකිය. ආර්ථික හා සමාජ පීඩනය උග්‍රවන විට නැඟෙන ජනතා විරෝධතාව මැඬලීම ද පහසු නොවනු ඇත. ඒ සැබෑ ජනතා විරෝධය තුළට රිංගා ගන්නා අවස්ථාවාදීන්, මංකොල්ලකාරයන් ඇතුළු මැර කණ්ඩායම්ද රට යළිත් ගිනි තබන තැනට පත්වුවහොත් ඊළඟට තිබෙන විකල්පය හමුදාව කැඳවීම පමණි. ඉන්පසු ඇතිවිය හැකි තත්ත්වය ගැන කිසිවකුට අනාවැකි කිව හැකිද? මේ වනවිටත් හමුදාව අපේ දොරකඩය. එසේම ප්‍රජාතන්ත්‍රවාදය සූදුවක් ලෙස යටිතලයේ ක්‍රියාකරන බවද අප තේරුම්ගත යුතුය.

මේ සියල්ලටම අමතරව මේ වනවිට තවත් දේශපාලන සංවාදයකට තුඩුදෙන මාතෘකාවක්ද සමාජ ගතවී තිබේ. ඒ 21 වන සංශෝධනය මගින් විධායකයේ බලය අඩුකර, ව්‍යවස්ථාදායකය බල ගැන්වීමය. තවමත් වලංගුව තිබෙන ජනාධිපති හා 225 දෙනාම ගෙදර යා යුතුය යන සටන් පාඨයට සවන් දුන් බව අඟවන යෝජනාවක් ලෙස ද 21 සංශෝධනය හැඳින්විය හැකිය. මේ සමස්ත දේශපාලනයම අවුල් කළ ද්විත්ව පුරවැසි බැසිල් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම ද මෙහිදී සිදුවන බව දැනටමත් සමහරු පවසති. එයට අමතරව විගණනය ප්‍රසම්පාදනය ඇතුළු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ ද පාර්ලිමේන්තුවට එක්වන බව ද පෙන්වාදී තිබේ. එය ප්‍රජාතන්ත්‍රවාදී සියපත විකසිත වීමක් ලෙස පිළිගත හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී හා මානුෂවාදී දේශපාලන සංස්කෘතියක් උදෙසා කෙරෙන යෝජනාවලියක් රටට අවශ්‍යය. ජනතාවාදී පාලනයක මූලධර්ම විනාශ කළ රාජපක්‍ෂවරුන් යළි ඒවා බලාත්මක කිරීමට පෙළඹී ඇත්තේ ගාලු මුවදොර විරෝධතාවට ප්‍රතිචාර දැක්වීමටය. ප්‍රජාතන්ත්‍රවාදී උල්පත්වලට අවහිර කළ 20 වැනි සංශෝධනය ඉවත් කිරීම ප්‍රබල දේශපාලන පියවරක් ද වේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන සටන් පාඨය විපක්‍ෂ නායක සජිත්ගේ අතේද තිබෙන්නකි. එහෙත් මේ 21 ගැන ඔහු තුළ පැහැදීමක් නැති බවද පෙනේ. එසේම පොහොට්ටුවේ ලේකම්වරයා පසුගිය දිනක පවසා තිබුණේ මේ වෙලාවේ ප්‍රමුඛතාව දිය යුත්තේ ආර්ථික අර්බුදය විසඳාලීමට බවය. ඔහුගේ කටහඬ අපට මතක් කළේ බයිබලයේ එන ‘අත ඊසොප්ගේ වුවද හඬ ජාකොබ්ගේය’ යන පාඨයයි.

මේ සම්බන්ධයෙන් සජබ හර්ෂ ද සිල්වා ද පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවකදී කරුණු දක්වා තිබුණි. තම පක්‍ෂය විසින්ද 21 සංශෝධනයක් යෝජනා කළ බවද ඔහු සඳහන් කර ඇත. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙන්ම එම ධුරයෙන් වත්මන් ජනාධිපතිවරයා ඉවත්වන කාල වකවානුවක් ගැන විමසූ බවද ඔහු පවසා තිබුණි. තමන් ඇතුළු කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න හා රංජිත් මද්දුම බණ්ඩාර ද ජනාධිපතිවරයා සමග දීර්ඝ සාකච්ඡාවක් කර තිබියදී ඒවා නොතකා පස්සා දොරෙන් රනිල් අගමැති කළ බවට ඔහු චෝදනාවක්ද කර ඇත. රනිල් කිසිදු කොන්දේසියක් නොමැතිව එම ධුරයට පත්වූ බවද හර්ෂගේ තවත් විවේචනයකි. ඔහුට අනුව නම් රනිල් යනු රාජපක්‍ෂ රූකඩයකි. මේ සියලු වාතාවරණය තුළ 21 අනාගතය ද රැඳී තිබෙන බව පැහැදිලිය.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment