මෙහෙම ගිහින් උද්ධමනය කොහේ නතර වෙයි ද?

438

උද්ධමනය යනු අංක එකේ මහජන සතුරා ලෙස හැඳින්විය හැකිය. එයට හේතුව උද්ධමනය දිනෙන් දිනම මහජනයා පෙළමින් පීඩාවට පත්කරන බැවිනි. අපට ජීවත් වීමේ දී අනිවාර්යයෙන්ම විවිධ භාණ්ඩ හා සේවා රැසක් පරිභෝජනය කිරීමට දිනපතාම සිදුවේ. උද්ධමනය යන්නෙහි අදහස නම් අඛණ්ඩව සිදුවන සාමාන්‍ය මිල මට්ටමේ ඉහළ යෑමක් ලෙස නිර්වචනය කළ හැක. යම් කිසි කාලපරිච්ඡේදයක් තුළ ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනයයි. උද්ධමනය රටින් රටට වෙනස් ය. බොහෝ විට දියුණු රටවල උද්ධමනය සියයට 2 ක සියයට 3 ක පමණ අවම මට්ටමක පවතී. එය සාමාන්‍ය තත්ත්වයකි. එවිට බඩු මිල වැඩි වුවත් එය එතරම් ජනයාට දැනෙන්නේ නැත. ඒ නිසා අපත් හැකිතාක් උත්සාහ කළ යුත්තේ උද්ධමනය එවැනි ඉතාම අවම මට්ටමක රඳවා ගැනීමටය. එහෙත් අපගේ උද්ධමනය මේ දිනවල අහස උසට ඉහළ ගොස් තිබේ. මේ වැඩිවෙන උද්ධමනය තවත් වැඩි වී කොතැනක නතර වෙයි ද? මෙය බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයකි. අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ මේ කියන උද්ධමනයේ අනාගත හැසිරීම ගැනයි.

මෙහෙම ගිහින් උද්ධමනය කොහේ නතර වෙයි ද?

ආර්ථික අර්බුදය හමුවේ දිගින් දිගටම වැඩි වූ බඩු මිල නිසා ජීවත් වීම ඉතාමත්ම අමාරු තත්ත්වයට පත්ව ඇත. මේ නිසා අත්‍යවශ්‍ය නොවන වියදම් පමණක් නොව ආහාරපාන වියදම් ඇතුළු ඇතැම් අත්‍යවශ්‍ය වියදම් පවා සීමා කරමින් අපට කිසියම් වෙනස් අසීරු ජීවන රටාවකට හුරු වීමට සිදුව ඇත. කනබොන දේ පවා සීමා කරමින් වියදම් අඩු කර ගැනීමට ජනයාට සිදුව ඇත. මේ අනුව ආදායම් මට්ටම් එලෙසම තිබිය දී හෝ තවත් අඩු වී තිබිය දී ජීවන වියදම දිනෙන් දින ඉහළ ගොස් තිබේ. තවදුරටත් ඉහළ යමින් ද තිබේ. උද්ධමනය සැලකිය යුතු ලෙස වැඩි වීමෙන් සිදු වන්නේ බඩු මිල විශාල ලෙස ඉහළ යමින් තමන්ට ලැබෙන මුදලින් ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය දිගින් දිගටම සීමිත වීමයි.

පසුගිය කාලය පුරා මාසයෙන් මාසය අඛණ්ඩව සැලකිය යුතු ලෙස උද්ධමනය ඉහළ ගියේය. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද ගිය මස මහ බැංකු මාධ්‍ය හමුවේ දී කීවේ උද්ධමනය සියයට 70 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවයි. ඉදිරියේ දී උද්ධමනය අඩුවනු ඇති බවට වන අපේක්ෂා තිබේ. උද්ධමනය අඩුවීම යනු බඩු මිල අඩු වීම නොව බඩු මිල වැඩි වීමේ වේගය අඩු වීමයි. මේ නිසා අඩු වේගයකින් හෝ සිදු වනු ඇත්තේ තවදුරටත් බඩු මිල වැඩි වීමයි. ඉදිරි කාලයේ උද්ධමනය අඩුවිය හැකි වුවත් මේ වැඩි වූ බඩු මිල ගණන් අඩුවනු ඇතැයි සිතීමට අපහසුය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 ජූලි මාසය සඳහා පෙරේදා (23) නිකුත් කරනු ලැබීය. ඒ අනුව 2022 ජූලි මාසය සඳහා උද්ධමනය (Headline Inflation) සියයට 66.7 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2022 ජුනි මාසයේ උද්ධමනය සියයට 58.9 ක් ලෙස වාර්තා විය. ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 ජූලි මාසයේදී සියයට 82.5 ක් දක්වා ඉහළ ගිය අතර ඉකුත් ජුනි මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 75.8 ක් විය. ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 ජූලි මාසයේදී සියයට 52.4 දක්වා ඉහළ ගොස් ඇති අතර 2022 ජුනි මාසයේදී එය සියයට 43.6 ක් ලෙස ද වාර්තා විය. පසුගිය මාසය හා සංසන්දනය කළ විට, 2022 ජූලි මාසයේ ආහාර කාණ්ඩය යටතේ ඇති කිරිපිටි, සහල්, මාළු, බිස්කට් වර්ග, කුකුළුමස්, කරවල, පාන්, සීනි, මිරිස් කුඩු, පලතුරු, අර්තාපල්, ළදරු කිරිපිටි, ටින්මාළු, වියළි මිරිස්, හරක්මස්, අමුමිරිස්, තුනපහ කුඩු, බනිස් සහ බිත්තර ආදී ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වූ අතර එළවළු, පොල්තෙල්, පොල්, ලොකුලූනු, රතුලූනු සහ දෙහි මිලෙහි අඩුවීමක් වාර්තා වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

තත්ත්වය මෙසේ වුවත් උද්ධමනය ඉහළ යෑමේ වේගය අපේක්ෂා කළාට වඩා මන්දගාමී වී ඇතැයි මහ බැංකුව පවසයි. මහ බැංකුව නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ මේ අනාගත උද්ධමන අපේක්ෂා ගැන සඳහන් වන්නේ මෙසේය.

‘මතුපිට උද්ධමනය මෑත මාසවලට සාපේක්ෂව 2022 ජුලි මාසයේ දී අඩු වේගයකින් ඉහළ ගියේය. එවැනි මන්දගාමී වීමක් ඉදිරි කාලයේ දී අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමගින් මෙයට පෙර සිදුකළ පුරෝකථනයන්ට සාපේක්ෂව 2022 වසර අවසාන වන විට උද්ධමනය අඩු මට්ටමක පවතිනු ඇත. ඒ අනුව පරිපාලිත මිල ගණන් අඩු කිරීම සහ ඒවායේ දෙවන වටයේ බලපෑම මෙන්ම ඇතැම් ආහාර මිල ගණන් පහළ යෑම සහ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය හේතුවෙන් පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයට සාපේක්ෂව උද්ධමනය පිළිබඳ නවතම නුදුරු කාලීන පුරෝකථන මගින් උද්ධමනය වේගවත් ලෙස මන්දගාමී වීමක් පෙන්නුම් කරයි. දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වයන් හේතුවෙන් සමස්ත ඉල්ලුම් පීඩන අඩු වීම, ගෝලීය ආහාර සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩ මිල ගණන්හි අපේක්ෂිත පහළ යෑම් සමග දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වැඩිදියුණු වීම් සහ අහිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම් හේතුවෙන් මතුපිට උද්ධමනය ඉදිරි කාලයේ දී අඩුවනු ඇතැයි අපේක්ෂා කරන අතර මැදි කාලීනව අපේක්ෂිත පරාසය තුළ ස්ථාවර වනු ඇතැයි පුරෝකථනය කෙරේ.’

මේ අනුව පැහැදිලි වන්නේ උද්ධමනය තවමත් වැඩි වෙමින් තිබුණත් ඒ වැඩිවෙන වේගය අඩුවෙමින් පවතින බවයි. මේ නිසා භාණ්ඩ මිල වැඩිවීම පාලනය වන නමුත් උද්ධමනය අඩු වීම යනු බඩු මිල අඩුවීම ලෙස වැරදි ලෙස තේරුම් නොගත යුතුය. කෙසේ වෙතත් නවතම තත්ත්වයන් අනුව උද්ධමනය එනම් බඩු මිල වැඩි වීමේ වේගය තව වැඩි වී අඩුවන ලකුණු පහළ වී ඇත. මේ උද්ධමනය පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මෙය අධිඋද්ධමන තත්ත්වයක් කරා වර්ධනය වුවහොත් ජනයාට ජීවත් වීමට මෙන්ම ව්‍යාපාර ප්‍රජාවට ව්‍යාපාර කිරීමට ද අපහසු තත්ත්වයක් උද්ගත වේ. ඒ නිසා රටේ ආර්ථික ක්‍රියාකාරකම්වලට අහිතකර බලපෑම් ඇති වුවත් උද්ධමනය මර්දනය කිරීම අත්‍යවශ්‍ය ප්‍රමුඛ කරුණක් බවට පත්ව ඇත.

පසුගිය කාලයේ කොරෝනා වසංගතයෙන් පසුව ආර්ථික අර්බුදයේ බලපෑම් නිසා රටේ ආර්ථික ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස අඩපණ වූ බව රහසක් නොවේ. ඒවායේ ප්‍රතිපල ඉදිරියේ දී ආර්ථික වර්ධන දත්ත මගින් නිරූපණය වනු ඇත. මේ අනුව දේශීය ආර්ථික කටයුතුවල මුලින් අපේක්ෂා කළාටත් වැඩි පසුබෑමක් වනු ඇතැයි දැන් අපේක්ෂා කෙරේ. විශේෂයෙන් මේ වසරේ (2022) දෙවන කාර්තුවට මේ බලපෑම් වැඩිවශයෙන්ම සිදුවනු ඇතැයි සිතිය හැකිය. දෙවන කාර්තුවේ සිට තෙවන කාර්තුවට ද මේ අහිතකර බලපෑම් විහිදී යනු ඇත. මේ අනුව මහ බැංකුව පවසන්නේ ප්‍රධාන වශයෙන් විදුලිබල සහ බලශක්ති හිඟය හේතුවෙන් අඛණ්ඩව පවතින සැපයුම් අංශයේ බාධාවන්ගේ බලපෑම සහ සමාජ – දේශපාලන ප්‍රවණතා හා සම්බන්ධ අවිනිශ්චිතතා 2022 දෙවන කාර්තුවෙහි ආර්ථික වර්ධනයට සැලකිය යුතු අහිතකර බලපෑම් ඇති කිරීමට හේතු වී ඇතැයි අපේක්ෂා කරන බවයි. දැනටමත් 2022 පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 1.6 ක ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. දෙවන සහ තෙවන කාර්තුවල ආර්ථික පසුබෑම මීට වඩා විශාල අගයක් ගනු ඇත. එසේම අපට තවදුරටත් ආනයන සහ නොයෙකුත් රාජ්‍ය මූල්‍ය වියදම් සීමා පනවමින් ඉදිරි කාලයේ පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදුවන අතර මේ දැඩි ප්‍රතිපත්ති නිසා මේ වසරේ (2022) මුර්ත ආර්ථික ක්‍රියාකාරකම්වල අපේක්ෂිත ප්‍රමාණයටත් වඩා විශාල සංකෝචනයකට හේතුවනු ඇත. පසුගිය කාලයේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අදහස් දැක්වීමක දී ප්‍රකාශ කළේ මේ වසරේ (2022)දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 7 කින් පමණ ඍණ අගයක් ගනු ඇති බවයි. එහෙත් මේ අලුත්ම තොරතුරු අනුව අපට වැටහෙන්නේ සියයට  7 කටත් වැඩි ඉතිහාසයේ දරුණුතම ආර්ථික පසුබෑම මේ වසරේ (2022) සිදුවනු ඇති බවයි. කෙසේ වෙතත් මේ තත්ත්වය නිවැරදි කර ගැනීමට කාලයක් ගත වනු ඇත. ඒ සඳහා බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට ද අපට සිදුවනු ඇත. මේ අනුව මහ බැංකුවේ අපේක්ෂාව වන්නේ අපේක්ෂිත සාර්ව ආර්ථික තත්ත්වයන් ස්ථායි කිරීම සහ ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් සමග මුර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඉදිරි කාලය තුළ දී යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මේ කියන අපේක්ෂා එලෙස සිදු වීමට පෙර කී ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ රැසක් කිරීමට සිදුවනු ඇත. මේ නිසා අපට ඉදිරියේ ඇත්තේ හිතන තරම් ලෙහෙසි පහසු ගමනක් නොවේ. තවදුරටත් අප සැමට ගත කිරීමට වනු ඇත්තේ දුෂ්කර කාලයකි.

ආර්ථිකයේ පවතින තත්ත්වයන් සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගිය සතියේ (2022 අගෝස්තු මස 17 වැනි දින) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මෙම තීරණයට එළඹීමේදී, මුදල් මණ්ඩලය විසින් පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයට සාපේක්ෂව ආර්ථික ක්‍රියාකාරකම්වල අපේක්ෂිත ප්‍රමාණයට වඩා විශාල සංකෝචනයක් සහ අපේක්ෂිත ප්‍රමාණයට වඩා වේගවත්ව මිල පීඩන ලිහිල් වීම් පෙන්නුම් කරනු ලබන නවතම දත්ත පදනම් කරගත් පුරෝකථන සලකා බලන ලද බව මහ බැංකුව සඳහන් කරයි. දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම අත්‍යවශ්‍ය නොවන ආනයන වියදම් සීමා කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් නුදුරු කාලීනව පෞද්ගලික අංශයට ලබා දෙන ණය සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සේවා වියුක්තිය ඉහළ යෑමේ අවදානමක් ද පවතින බව මහ බැංකුව පසුගිය සතියේ නිකුත් කළ අගෝස්තු මස මූල්‍ය ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ සඳහන් වේ.

මීළඟට ලෝක ආර්ථිකයේ තත්ත්වය ගැන සඳහන් කරන්නේ නම් ලෝක ආර්ථික වර්ධනය ද මේ වසරේ (2022) අඩු වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත. එම අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලෝක ආර්ථික ඉදිරි දැක්මෙහි 2022 ජුලි මස වාර්තාවට අනුව ලෝක ආර්ථික වර්ධනය 2021 වසරේ වාර්තා වූ සියයට 6.1 සිට මේ වසරේ (2022) දී සියයට  3.2 ක් දක්වා සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයි අපේක්ෂා පළ කර ඇත. පසුගිය කාලයේ ලෝකය පුරා මහ බැංකුවලට දැඩි මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීමට සිදුවිය. එයට හේතුව වූයේ ඇති වූ උද්ධමනාත්මක පීඩන තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහාය. මෙලෙස ලෝකයේ විවිධ මහ බැංකු විසින් අනුගමනය කළ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම කොවිඩ් තත්ත්වයන් නැවත ඇති වීම නිසා චීන ආර්ථිකය පසුබෑමකට ලක් වීම ඇතුළු තවත් සාධක, රුසියා – යුක්‍රේන යුද ගැටුම් තත්ත්වයන් නිසා ඇති වූ අහිතකර බලපෑම් ද ලෝක ආර්ථිකයේ වර්ධන අපේක්ෂා මුලින් තිබූ අගයන්ගේ සිට පහත හෙළා ඇත.

●  ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment