මෙහෙයට දැක්වූ අවධානය තුළින් අභියෝගාත්මක 2021 සඳහා කොමර්ෂල් බැංකු සමූහයට ශක්තිමත් වර්ධනයක්

95

කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා (වමේ) සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී, එස්. රෙන්ගනාදන් මහතා.

මිශ‍්‍ර ආර්ථික ත්ත්වයක් පැවතුණු 2021 වසර අවසන් වනවිට කොමර්ෂල් බැංකු සමූහය රුපියල් බිලියන 163.675 ක දළ ආදායමක් වාර්තා කරමින් පෙර වසරට සාපේක්ෂව 7.70% ක වර්ධනයක් ලබාගත් අතර, පොලී ආදායම මෙම අගයෙන් 80% ක් නියෝජනය කිරීම කැපී පෙනේ.

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ ආයතන වලින් සමන්විත සමූහය 2021 දෙසැම්බර් 31 වනදා වනවිට රුපියල් බිලියන 132.818 ක පොලී ආදායමක් ලබාගත් අතර එය පෙර වසරට සාපේක්ෂව 7.04% ක වර්ධනයක් වේ. මේ අතර, සලකා බලන වසරේදී පොලී වියදම 9.31% කින් රුපියල් බිලියන 66.402 කට අඩුවීම හේතුවෙන් සමූහය විසින් රුපියල් බිලියන 66.416 ක ශුද්ධ පොලී ආදායමක් වසර තුළදී වාර්තා කර තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 30.56% ක වර්ධනයකි.

2021 අවසන් කාර්තුව තුළදී පොලී ආදායම 17.84% කින් වර්ධනය වී රුපියල් බිලියන 36.592 ක්වූ අතර සමූහයේ මාස තුනක දළ ආදායම වූ රුපියල් බිලියන 43.625 ක මුදලෙන් 83% කට වැඩි ප‍්‍රමාණයකට මෙම පොලී ආදායම මගින් දායකවී තිබේ. මෙම පොලී ආදායම 2020 හතරවන කාර්තුවට සාපේක්ෂව 13.76% ක වර්ධනයක් බව සමූහය සඳහන් කරයි. මෙම පොලී ආදායම් වර්ධනය වී තිබෙන්නේ පොලී අනුපාත වැඩි කිරීම නිසා හතරවන කාර්තුවේ පොලී වියදම 4.30% කින් රුපියල් බිලියන 17.709 ක් දක්වා වර්ධනය වී තිබෙන පසුබිමක බවද සමූහය සඳහන් කරයි.

මේ අතර, සලකා බලන වසර තුළදී සමස්ත මෙහෙයුම් ආදායම් 21.98% කින් රුපියල් බිලියන 93.598 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර සමූහයේ හානි පූරණ ගාස්තු සහ අනිකුත් අලාභ 17.37% කින් රුපියල් බිලියන 25.140 ක් දක්වා වර්ධනය වී තිබේ.

මූල්‍ය සේවා මත අගය එකතු කිරීමේ බදු පැනවීමට පෙර මෙහෙයුම් ලාභ කැපී පෙනෙන ලෙස 33.58% කින් රුපියල් බිලියන 38.801 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර වසර තුළදී සමූහයේ මූල්‍ය සේවා මත අගය එකතු කිරීමේ බදු 28.99% කින් රුපියල් බිලියන 5.845 ක් දක්වා වර්ධනය වී ඇත. මේ අතර, ආදායම් බදු වලට පෙර වසරේ ලාභය 34.41% කින් වර්ධනය වී රුපියල් බිලියන 32.957 ක්වී තිබේ. බැංකු සමූහය සඳහන් කරන්නේ සලකා බලන වසර තුළදී ආදායම් බදු අනුපාත අඩුකිරීම නිසා ආදායම් බදු ගාස්තු සාපේක්ෂ වශයෙන් අඩු අනුපාතයකින් හෙවත් 16.60% කින් වර්ධනය වී රුපියල් බිලියන 8.667 ක්වී තිබෙන බවයි. මේ නිසා, සලකා බලන කාලය තුළදී කොමර්ෂල් බැංකු සමූහය බදු වලට පසුව රුපියල් බිලියන 24.290 ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 42.16% ක වර්ධනයක් වේ. මෙම ශුද්ධ ලාභය වාර්තා කර තිබෙන්නේ යෝජනා කර තිබෙන අධිභාර බද්ද ගෙවීමට පෙර වන අතර මූල්‍ය වාර්තා ඉදිරිපත් කරන විටත් එම බද්ද පාර්ලිමේන්තුව විසින් අනුමත කර නොමැති නිසා, සලකා බලන වසරට එම බද්ද ඇතුළත් කර නොමැති බව කොමර්ෂල් බැංකු සමූහය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment