මේක ඡන්දය කල්දැමීමේ ආණ්ඩුවේ උපක්‍රමයක් – පාර්ලිම්න්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ

50

පළාත් පාලන මැතිවරණයට විවිධ දේශපාලන කණ්ඩායම් මේ වනවිට සූදානම් වුවද එය නිශ්චිතවම පැවැත්වේ යැයි කිව නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ආණ්ඩුව පාර්ශ්වයෙන් සිදුකරන ප්‍රකාශනයන් ඊට හේතුවයි. මැතිවරණයක් පැවැත්විය හැකි ආර්ථික පසුබිමක් තවමත් රටේ නොමැති බවයි ආණ්ඩුව පවසනුයේ. ඒ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතත් පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත විය. එම පනත ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන්නැයි විපක්ෂය ඉල්ලා සිටියද ඊට ආණ්ඩුව එකඟ වූයේ නැත. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙයි ද? ඊට සජබය සූදානම් ද? මැතිවරණය නොපැවැත්වුවහොත් සජබය ක්‍රියාකරන්නේ කෙසේද? යන්න පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිම්න්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග කළ කතාබහයි මේ.

ප්‍රශ්නය – ආණ්ඩුව පළාත් පාලන ඡන්දය ප්‍රකාශ කළත් ඡන්දය කල් දැමීම සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කරන බව විපක්ෂය චෝදනා කරනවා. නමුත් විපක්ෂය ඡන්දයක් ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්න බවක් පේනවා…

පිළිතුර – ආණ්ඩුව කරන හැමදේකින්ම අපිට පේන්නෙ ඡන්දය කල්දාගන්න උත්සාහ කරන බවයි. ඔව්… අපි කෙසේ හෝ මැතිවරණය පැවැත්වෙයි කියන සුබවාදී සංකල්පයේ තමයි ඉන්නෙ.

ප්‍රශ්නය – මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ගැන සමගි ජනබලවේගයේ මතය මොකක් ද?

පිළිතුර – මම නම් හිතන්නෙ මේකත් ඡන්දය කල්දැමීමේ ආණ්ඩුවේ උපක්‍රමයක්. ඒක නිසා තමයි අපි මේකට එකඟවෙන්නෙ නැත්තෙ. හැබැයි පක්ෂයේ නෙමෙයි, මගේ මතය නම් මම කැමැතියි ඒ පනතට.

ප්‍රශ්නය – ඇයි ඔබතුමිය මේ පනතට කැමැති වෙන්නේ…?

පිළිතුර – මේ පනත හොඳයි කියන්නෙ, අපි දන්නව මැතිවරණ කරද්දි කොහොමද මුදල් වියදම් කරන්නෙ කියල. ඒ වියදම හැම කෙනෙක්ටම ඔරොත්තු දෙන, හැම කෙනෙක්ටම කරන්න පුළුවන් දෙයක් නම් කමක් නෑ.

ප්‍රශ්නය – මේ පනතේ බොහෝ හිඩැස් තියෙන බව පෙනෙන්න තිබෙනවා. විශේෂයෙන් යම් අපේක්ෂකයෙක් කරන වියදම් තමන් වියදම් නොකළ විදිහට පෙන්වීමට හැකි නම් ඒ තුළින් රිංගා යෑමට අවස්ථාවක් පනත ඇතුළෙ තියෙනවා නේද?

පිළිතුර – පනතෙ අඩුපාඩු තියෙනව. මම කියන්නෙ මෙවැනි ක්‍රමවේදයක් තියෙන එක හොඳයි කියල. පනතෙ අඩුපාඩු නිසා තමයි අපි ඡන්දය නොදුන්නේ සහ මේ පනත මේ වෙලාවෙ ගේන්නෙ වෙනත් අරමුණු මුල්කරගෙන. මම කියන්නෙ පනතට වඩා ක්‍රමවේදය හොඳයි කියල. ක්‍රමවේදය කියන්නෙ එහෙම නියාමනයක් තියෙන එක හොඳයි.

ප්‍රශ්නය- කෙසේ හෝ අවසානයේදි මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කළොත් එය දිනා ගැනීම සඳහා විපක්ෂය ලෙස ගන්නා ක්‍රියාමාර්ග කෙසේද?

පිළිතුර – මේක අපේ මැතිවරණ ක්‍රමය ඇතුළෙ තියෙන පහළම ස්ථරයේ මැතිවරණයනෙ. ඒ මැතිවරණය ඇත්තටම ගමේකමට, ගමේ මිනිස්සුන්ගෙ මැතිවරණයක්. මේ සම්බන්ධයෙන් අයිතියක්, උරුමයක් තියෙන අය හැම පක්ෂයකම ගම්වල ඉන්නව. අපි ඒ අයගෙ අවශ්‍යතා වෙනුවෙන් මේ වැඩේ කරන්න ඕන. සජබය තමයි මේ රටේ තියෙන ළාබාලම පක්ෂය. කෙටි කාලයක් තුළ රටේ ප්‍රධාන විපක්ෂය බවට පත්වුණු පක්ෂය. අද සජබය ගැන රටේ බහුතරයක් බලාගෙන ඉන්නව. විශේෂයෙන් මම නියෝජනය කළ නිවිතිගල ආසනය ගත්තොත් මම දන්නව පක්ෂය වෙනුවෙන් කැපවෙච්ච අය කවුද කියල. ඒ වගේම අපි ගත්ත තීරණත් එක්ක එකතුවෙලා පක්ෂය වෙනස් කළේ කවුද කියලත් අපි දන්නව. ඉතින් ඒ සියලුදෙනා එකතුකරගෙන ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළක් තමයි අපිට අවශ්‍ය වෙන්නෙ.

ප්‍රශ්නය – ඇත්තටම සමගි ජනබලවේගයට පළාත් පාලන ආයතන බහුතරයක් ජයගත හැකි යැයි විශ්වාසයක් තියෙනව ද?

පිළිතුර – මම හිතන්නෙ පුළුවන්. අපි තමයි ගමේ මිනිස්සුන්ගෙ අයිතිය වෙනුවෙන් හිටගත් පක්ෂය. හැමදාම ගමත් එක්ක හිටපු පක්ෂය. ඒ නිසා අපේ ජය දැනට තහවුරු කරල තියෙන්නෙ. අවුරුදු දෙකහමාරකට පෙර මේ රටේ ජනතාවට නොයෙක් පොරොන්දු, බලාපොරොත්තු දුන්න අය අද පළාතකවත් නෑ. ඒ නිසා පොදුජන පෙරමුණට මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නවත් කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.

ප්‍රශ්නය – අපි මේ මොහොතේ මේ රටේ දේශපාලන භූමිය ඇතුළෙ දකින දේ තමයි ප්‍රධාන පක්ෂ බිඳවැටී නව සන්ධාන බිහිවීම. සජබ කොටස් පවා යම් යම් කොටස්වලට එකතුවෙමින් තියෙනව. උදාහරණයකට පාඨලී චම්පික රණවක මහතා කුමාර වෙල්ගම මහතා සමඟ සන්ධානගතවෙලා. පක්ෂය ඇතුළෙ කණ්ඩායම් ගොනු කරගන්න බැරි තත්ත්වයක් ඇතුළෙ ඔබ ඔය කියන ජයග්‍රහණ ලබාගන්න පුළුවන්ද?

පිළිතුර – ඔවුන් මතක තියාගන්න ඕන දේ තමයි ඔවුන් පත්වුණෙ සජබ මන්ත්‍රීවරු විදිහට. පාඨලී සහ වෙල්ගම මන්ත්‍රීතුමන්ල දෙන්නම සජබ අයනෙ. මම දන්නෙ නැහැ පක්ෂයත් එක්ක කුමක් හෝ විසඳගන්න බැරිවුණු ප්‍රශ්නයක් තිබුණද කියල. කොහොමද වුණත් තීරණයක් ගනිද්දි ඒ ගැන පක්ෂයත් එක්ක කතාබහ කරල තීරණයක් ගත්ත නම් තමයි වඩා වැදගත් වෙන්නෙ.

ප්‍රශ්නය – අපි හිතමු ඉදිරියෙදි එන මහ මැතිවරණයකදි සජබ ප්‍රමුඛ ආණ්ඩුවක් බිහිවෙනව කියල. මොනවද තියෙන විසඳුම් මේ ආර්ථික අර්බුදයට?

පිළිතුර – කවුරු ජනතාවට බොරු කියල ජයග්‍රහණය කරන එක නෙමෙයි වැඩේ. සජබය විදිහට අපිට වැඩපිළිවෙළක් තියෙනව. ඒක ක්‍රියාත්මක කරන්නෙ රට ගැන හිතල. අපි රජයක් විදිහට කටයුතු කරද්දි කටයුතු කරන්නෙ රටේ මිනිස්සුන්ගෙ බදු මුදල්වලින් කියල අවබෝධ කරගන්න ඕන. ඒත් මේ ආණ්ඩුව කරන්නෙ මොකක්ද? අපි දැක්ක පසුගිය දවසක ආයෙත් අලුතෙන් ඇමැතිවරු පත්කරනව. මේ දරුණු අගාධයකට පත්වෙලා තියෙන මොහොතක ඇමැතිවරු පත් කළා කියල රටේ ප්‍රශ්න විසඳෙනවද? අපි සජබය විදිහට කියන්නෙ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය පළමුව විසඳන්න ඕන.

ප්‍රශ්නය – ආර්ථික ප්‍රශ්නය විසඳන්න ඕන එක හරි. කොහොමද ඒක කරන්නේ… මේ ආණ්ඩුව අනුගමනය කරනව වගේ බදු පිට බදු ගහලද ඒක කරන්නේ ?

පිළිතුර – නෑ… අපි එහෙම බදු අය කරනව කියල තීරණය කරල නෑ. අපේ වගේ රටවල ආදායම තියෙන්නෙ බදු මගින්. බදුගෙවන්න පුළුවන් කොටසක් රටේ ඉන්නව. ඒ අය කවුද කියල පළමුව හඳුනගෙන ඒ අයගෙන් බදු අය කරගන්නවා හැර, අහිංසක සාමාන්‍ය මිනිස්සු කන බොන දේවලට බදුගහන එක වැරැදියි. මංගල සමරවීර හිටපු මුදල් ඇමැතිතුමා අපට ගැළපෙන බදු ක්‍රමයක් හඳුන්වල දීල තිබුණ. ඒත් ගෝඨාභය රාජපක්ෂ දිනුවට පස්සෙ ඒ හැමදේම නැතිකරල දැම්ම. අවසානයේ අද කොටසක් සන්තෝෂ කරන්න ගිහින් රටම අගාධයකට ඇදල දැම්ම.

ප්‍රශ්නය – ඔබතුමියගෙ පැරැණි නායකයා තමයි දැන් රටේ ජනාධිපති. එතුමා යාපනයේ ගිහින් 13 වැනි සංශෝධනය බලාත්මක කරන බව සඳහන් කළා. 13 ගැන සජබයෙ ස්ථාවරය මොකක් ද?

පිළිතුර – 13 බලාත්මක කරනවා කීමෙන් එතුමා මොකක් අදහස් කළාද කියල දන්නෙ නෑ. මම එජාපයේ හිටපු කෙනෙක් විදිහට එදා එජාපයේ තිබුණු මතය තමයි සියලු ජාතීන් භේදයක් නැතිව එක්සත්ව රට නොබෙදා බලය බෙදන තත්ත්වයට යා යුතුයි කියන එක.

ප්‍රශ්නය – එජාපයයි සජබ යයි එකතුවෙලා ගමනක් යන්න අදහසක් නැද්ද?

පිළිතුර – එකතුවීමේ අවශ්‍යතාව මුලින්ම මතු කළේ මම. ඒ 2020 මහ ඡන්දයෙ ඉවරවෙලා මුලින්ම රනිල් වික්‍රමසිංහ මහතා බලන්න ගිය වෙලාවෙ. අපේ මහ ලේකම්තුමා එක්කත් අපි මේ ගැන කතා කළා. අපි කොච්චර කතා කළත් එහෙම එකතුවීමකට මේකෙ නායකයින්ට වුවමනාවක් තියෙන්න ඕන.

ප්‍රශ්නය – ඇත්තටම ඔබතුමියට ජනාධිපතිතුමා කතා කළේ නැද්ද ඇමැතිකමක් බාරගන්න කියල…

පිළිතුර – එතුමා මාව දන්නව. එතුමා දන්නව මම කෙළින් කතා කරන, තනතුරුවලට වැනෙන්නෙ නැති කෙනෙක් කියල. පුද්ගලයෙක් විදිහට මම එතුමට ගරු කරනව. මාත් එක්ක එතුමා කතාබහ කළාට කිසිම දවසක ඇමැතිකම් දෙන්නවත්, පක්ෂයට එන්න කියල මට ආරාධනා කරලත් නෑ. එහෙම කරනවා නම් එතුමාගෙ න්‍යාය පත්‍රයකට අනුව ඒක කරයි.

ප්‍රශ්නය – ජනාධිපතිවරයා රට තුළ ගෙන යන වැඩපිළිවෙළ ගැන මොකද හිතන්නේ…

පිළිතුර – එතුමාව ජනාධිපති බවට පත්කළේ රට බංකොලොත් කරපු කණ්ඩායමනෙ. එදා එතුමට බැංකු හොරා කියපු අය තමයි එතුමාව පත් කළේ. එතුමගෙ දේශපාලන අද මේ ඉන්න ක්‍රමයට වඩා වෙනස්. මට නම් හිතෙන්නෙ පොහොට්ටු කණ්ඩායම ඔවුන්ගෙ පැවැත්මට රනිල් වික්‍රමසිංහ මහත්තයව පාවිච්චි කරනව කියල.

ප්‍රශ්නය – අයිඑම්එෆ් ආධාර ගැන බලාගෙන හිටියත් තාමත් ඒක ලැබෙන පාටක් නෑ. මොකක්ද මේ වෙන්නේ…

පිළිතුර – කොහෙන් හරි මේ රට ගොඩයන්න ඕන. එදා අපිට රට විකුණනව කියල කෑගහපු අයම අද රජයේ ලාබ ලබන ආයතන විකුණනව.

ප්‍රශ්නය – ඇතැම් දේශපාලන පක්ෂ දේශපාලනය වෙනුවෙන් ආගම, ජාතිය භාවිතා කරන බව යම් පිරිස් චෝදනා කරනවා. ඒ පිළිබදව ඔබතුමියගෙ අදහස මොකක් ද?

පිළිතුර – මම නම් පෞද්ගලිකව සම්පූර්ණයෙන්ම ඒකට විරුද්ධයි. අපි උපතින්ම ගේන දේ තමයි ජාතියයි, ආගමයි. හැබැයි හැමතිස්සෙම මැතිවරණයක් ඉදිරියෙදි මේ ආගම, ජාතිය අවභාවිත වෙනව. මම දැක්ක කැලණිය නයි ගෙන්නපු කෙනා පසුගිය දවසක තෛපොංගල්වලට ගිහින් පහනක් පත්තු කරනව. මේ රටේ මාධ්‍ය ආයතන මිනිස්සුන්ගෙ ආගම්වාදය, ජාතිවාදය අවුස්සන්න පෙනී හිටියෙ තමන්ගෙ ප්‍රතිලාභය වෙනුවෙන්. ඔවුන්ගෙ ව්‍යාපාර වෙනුවෙන්. චරිත වෙන්න. වැඩිය ඕන නෑ අප ඉන්න ආරක්ෂක ලේකම් ගන්නකො. ඔහු පොත් ලිව්වනෙ. ඒ වගේ කෙනෙක්ට මේ රටේ ආරක්ෂක ලේකම් වෙන්න පුළුවන්ද? ඒ නිසා ජාතිය හෝ ආගම පදනම් නොවී ඒ පටු අදහස්වලින් බැහැරවෙලා දූපත් මානසිකත්වයෙන් මිදිල ලෝකයම එක ගම්මානයක් විදිහට සලකල සියලු දෙනාම එකට ජීවත්වෙන්න ඕන තැන ඉඳගෙන කටයුතු කරන්න ඕන. ඔබට මතක ඇති මංගල සමරවීර ඇමැතිතුමාට එදා බැන්නා එතුමා බෞද්ධයන්ට අපහාස කරනවා කියල.

එහෙම තමයි පිරිසක් ආගම, ජාතිය තමන්ගෙ දේශපාලනය වෙනුවෙන් යොදාගත්තෙ. පුද්ගලයෙක්ට නැති දේවල් හදල, ඒවාට ගහල, අපහාස කරල රටේ මතයක් හදල ජයග්‍රහණය කරල රට බංකොලොත් කරන එක නෙමෙයි වැඩේ. පසුගිය අවුරුදු 20 ඇතුළත රත්නපුර දිස්ත්‍රික්කයේ කැබිනට් ඇමැතිවරු හිටිය. හැබැයි යහපාලන කාලයෙ ඒ අවුරුදු විස්සට කරන්න බැරිවුණ දේවල් අපි රත්නපුර දිස්ත්‍රික්කයට කළා. කවුරු වුණත් රටක් කරනවා නම් සැලසුමක් තියෙන්න ඕන. විෂයානුබද්ධ දැනුමක් තියෙන්න ඕන. නිකං ඇමැතිකම් අරන් වැඩක් නෑ. ජනාධිපතිතුමාට කියන්න තියෙන්නෙ එක එක්කෙනා සන්තෝස කරන්න නෙමෙයි වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටික ඉදිරියට අරගෙන කටයුතු කරන්න කියල. අපි දන්නව තාමත් මේකෙ හොරකම් වෙනව. තාම තෙල් මිල පාලනය කරන්න බැරි මොකද කියල අපි දන්නව. ඒ නිසා ඒවා වෙනුවෙන් හරි වැඩපිළිවෙළක් එතුමා ක්‍රියාත්මක කරන්න ඕන.

සාකච්ඡා කළේ- සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment