මේක ජනතාවට බයේ හැංගෙන ආණ්ඩුවක්…පාර්ලිමේන්තු මන්තී‍්‍ර සමගි ජන බලවේගයේ මහලේකම් – රංජිත් මද්දුම බණ්ඩාර

120

කෝටි ගණන් හොරකම් කරපු අය අද ඉන්න තැන අපි දන්නවා

ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් තැබීමට ආණ්ඩුව තීරණය කර ඇත. එම තීරණය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන පසුබිම පිළිබඳව අප සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විමසා සිටියෙමු. ඒ සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා දැක්වූ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – ලබන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා. එම තීරණය පිළිබඳව සමගි ජන බලවේගයේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – මේ අය අපේ ආණ්ඩුව පැවති කාලයේදී කෑගැසුවා මැතිවරණ පවත්වන්නේ නැහැ කියලා. පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දාලා තිබෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර තුනකින් ප‍්‍රමාද වී තිබෙනවා. ආණ්ඩුව කටයුතු කළ ආකාරය නිසා අද ඡන්දවලට බයේ පරාජයට බයේ මේ ආකාරයට කටයුතු කරනවා. ජනතාවට මුහුණ දෙන්න බැරිව හැංගෙනවා. ආණ්ඩුව ලැජ්ජාවිය යුතුයි ඡන්දයකට බයේ මේ ආකාරයට කටයුතු කරන්න සිද්ධවීම පිළිබඳව.

ප‍්‍රශ්නය – පසුගිය පළාත් පාලන මැතිවරණය පැවැත්වූ ක‍්‍රමය නිසා අස්ථාවර පළාත් පාලන ආයතන ඇතිවන බවත් එම ක‍්‍රමය නිසා මන්තී‍්‍රවරු සංඛ්‍යාව පවා අසාමාන්‍ය ලෙස වැඩිවී ඇති බවත් එම නිසා එම ක‍්‍රමය නිවැරදි කර ඉදිරියේ්දී පළාත් පාලන මැතිවරණය පවත්වන බවත් ආණ්ඩු පාර්ශ්වයෙන් ප‍්‍රකාශ කර තිබෙනවා. පවතින පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය පිළිබඳව සමගි ජන බලවේගයේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – පවතින ඡන්ද ක‍්‍රමයේ යම් වැරදි තිබෙන බව අපි පිළිගන්නවා. ඒ පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කළා. එම කම්ටුව කිහිප සැරයක් රැස්වූවා. ඒ සඳහා යෝජනා ඉදිරිපත් වූවා. ඡන්දය පවත්වන්න අවශ්‍යතාවක් තිබෙනවා නම් සුදුසු ක‍්‍රමයක් සකස්කර ගන්න එක ඒ තරම් අපහසු නැහැ. මෙතන තිබෙන්නේ ඡන්ද ක‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි. ආණ්ඩුවේ ඔය කතාවත් නටන්න බැරි මිනිහා පොලව ඇදයි කිව්වා වගේ කතාවක් තමයි.

මේ ආණ්ඩුව ඡන්දවලට බයේ ජනතාව ඉදිරියට යන්න බයේ හැංගෙන ආණ්ඩුවක්. අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන්නම් පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා. එදාට මේ රටේ ජනතාව ආණ්ඩුව පිළිබඳව දක්වන අදහස කුමක්ද කියන එක බලාගන්න පුළුවන් වේවි.

ප‍්‍රශ්නය – පවතින ඡන්ද ක‍්‍රමයේ වැරදි තිබෙන බව ඔබ සඳහන් කළා. පවතින ඡන්ද ක‍්‍රමය නිවැරදි විය යුතු ආකාරය පිළිබඳව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කාරක සභාවට යෝජනා ඉදිරිපත් කළා ද? එම යොජනා මොනවාද?

පිළිතුර – ඔව් අපි යෝජනා ඉදිරිපත් කළා. අපි එක යෝජනාවක් ඉදිරිපත් කළා සරල අනුපාත ක‍්‍රමයට ඡන්දය පවත්වන්න කියලා. අපි යෝජනා කළේ මීට පෙර පැවති සමානුපාතික ක‍්‍රමය. එම ඡන්ද ක‍්‍රමයට අනුව ලබාගන්නා ඡන්ද ප‍්‍රමාණයට අනුව මන්තී‍්‍රවරු පත්වෙනවා. ඒක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදීම ක‍්‍රමය. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හැර අනෙකුත් සියලූම පක්ෂ එම යෝජනාවට පක්ෂ වූවා. ඒ වගේම මේ රටේ තිබෙන පැෆරල් වැනි මැතිවරණ නිරීක්ෂණ සංවිධානත් එම යෝජනාවට එකඟ වූවා. එම යෝජනාව සම්මත කර ගැනීමට 2/3 ක ඡන්දයක් අවශ්‍ය නම් එය බලාදීමටත් අපි එකඟ වූවා. නමුත් එම යෝජනාව සරල බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට පුළුවන්.

ප‍්‍රශ්නය – පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම පිළිබඳවත් ඔබ සඳහන් කළා. එම මැතිවරණය නොපැවැත්වීම පිළිබඳව කතා කිරීමේ දී එහි වගකීම පැවති යහපාලන ආණ්ඩුව මතත් පැටවෙනවා නේද ?

පිළිතුර – අපේ කාලයේදී ත් ඔය චෝදනාව එල්ල වූවා. නමුත් අපේ කාලයේදී එම මැතිවරණය ප‍්‍රමාද වූයේ වසරකින් පමණයි. නමුත් අපට චෝදනා කළ අය මේ වන විට එම මැතිවරණය වසර දෙකකින් ප‍්‍රමාද කර තිබෙනවා. මට මතකයි බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී විමසා සිටියා පවතින ක‍්‍රමය වෙනස් කිරීම සඳහා විපක්ෂයේ සහාය දෙනවද කියලා. මට මතකයි සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සංධානයත් ඒ සඳහා කැමැත්ත ප‍්‍රකාශ කළා. ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීම සඳහා 2/3 ඡන්දයක් අවශ්‍ය නම් ඒ සඳහා අපගේ සහයෝගය ලබාදෙනවා. නමුත් සරල බහුතරයෙනුත් ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට පුළුවන්කම තිබෙනවා.

එහෙත් අද ප‍්‍රශ්නය වෙලා තිබෙන්නේ ඡන්ද ක‍්‍රමය නොවෙයි. අද වන විට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ගන්න ගෑස් ගන්න පෝළිම්වල ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ වන විට පොහොර නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අහස උසට ගිහිල්ලා. මෙම හේතු සාධකයන් නිසා ආණ්ඩුවට එරෙහිව විශාල ජනතා විරෝධයක් එල්ල වී තිබෙනවා. එම විරෝධයට බයේ තමයි ආණ්ඩුව ඡන්දය කල් දැම්මේ.

මේක ජනතාවට බයේ හැංගෙන ආණ්ඩුවක්…පාර්ලිමේන්තු මන්තී‍්‍ර සමගි ජන බලවේගයේ මහලේකම් - රංජිත් මද්දුම බණ්ඩාර

ප‍්‍රශ්නය – මේ වන විට දේශපාලන කරළියේ දේශපාලන සංධාන පිළිබඳව කතා බහ වෙනවා. ඉදිරි මැතිවරණවලදී සමගි ජන බලවේගය තරග කරන්නේ සංධානයක් ලෙසද එසේත් නොමැති නම් තනිවමද?

පිළිතුර – අපි අවස්ථානුකූලව එම කටයුතු කරනවා. මේ වන විටත් අපි පක්ෂ කිහිපයක් සමග සංධානගත වී සිටිනවා. මේ වන විට අපි මැතිවරණ කොට්ඨාස සියල්ලම සඳහා සංවිධායකවරුන් පත්කරගෙන යනවා. ඒ වගේම පළාත් කිහිපයකම සංවිධාන කටයුතුත් අපි කරමින් සිටිනවා.

ප‍්‍රශ්නය – මේ වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂත් ඔවුන්ගේ සංවිධන කටයුතු වේගවත් කර තිබෙනවා. ඒ වගේම ඔවුන් නව බලවේගයන් ගොඩනැගීම පිළිබඳවත් අදහස් දක්වා තිබෙනවා. එම පක්ෂ සමග සංධානගත වීමට සාකච්ජා කරනවාද?

පිළිතුර – මං හිතන්නේ සංධාන ගතවිය යුත්තේ මැතිවරණයකට මුහුණ දෙන්න බලාගෙන. මං හිතන්නේ හොඳම උපාය මාර්ගය තමයි පළමුව පක්ෂ වෙන වෙනම සංවිධාන ගතවෙලා මැතිවරණයක් ආසන්නයේ දී සංධාන ගතවීම. මීට පෙරත් අනුගමනය කළේ එම උපාය මාර්ගය තමයි.

ප‍්‍රශ්නය – ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා තවදුරටත් වසර තුනක පමණ කාලයක් තිබෙනවා. කෙසේ වුවත් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා සමගි ජන බලවේගය තුළ තරගයක් තිබෙන බව පේන්න තිබෙනවා. චම්පික රණවක 43 වන සේනාංකය නමින් සංවිධානයක් ගොඩනගාගෙන ඒ සඳහා සූදානම් වන බව පේන්න තිබෙනවා. සරත් ෆොන්සේකා වුවත් ජනාධිපති වීමේ අදහස අතහැර ඇති බව සිතන්න අපහසුයි.

එම පසුබිම තුළ ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයා තේරීමේදී සමගි ජන බලවේගය තුළ ගැටලූ සහගත තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා නේද?

පිළිතුර – එක්සත් ජාතික පක්ෂය වෙනත් පක්ෂවල අයට ජනාධිපති අපේක්ෂත්වය දීලා මෝඩ වැඩක් කළා. 2015 දී වෙනත් පක්ෂයක අයෙකු ජනාධිපති කරලා අපි හොඳ පාඩමක් ඉගෙන ගෙන තිබෙනවා. විපක්ෂයේ සිටින ප‍්‍රධාන පක්ෂය ලෙස අපගේ පක්ෂයේ නායකයායි ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ. එහි කිසිදු ගැටලූවක් නැහැ. මම දන්නා දේශපාලනයට අනුව අපේ පක්ෂයේ නායකයායි ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ.

එක එක පුද්ගලයන්ට ජනාධිපති අපේක්ෂකයා වීමට ආසාවක් ඇතිවන්න පුළුවන්. ඒක සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගේ ප‍්‍රශ්නයක්. එය කෙසේ වුවත් සමගි ජන බලවේගයේ ආශිර්වාදය හිමිවන්නේත් අපේක්ෂත්වය හිමිවන්නේත් එම පක්ෂයේ නායකයාට තමයි.

ප‍්‍රශ්නය – අපේක්ෂත්වය පිළිබඳව බලාපොරොත්තු තබාගෙන කටයුතු කරන පුද්ගලයන් එම බලාපොරොත්තු බිඳ වැටීමෙන් පසුව සජිත් පේ‍්‍රමදාස මහතා පරාජයට පත් කිරීම සඳහා කටයුතු කිරීමට ඉඩ තිබෙනවා නේද?

පිළිතුර – කාටවත් එහෙම දේවල් කිරීමට බැහැ. සමගි ජන බලවේගය විධියට අපි මේ වන විට ගම් මට්ටම දක්වා සංවිධාන කටයුතු කරමින් සිටිනවා. අමනෝඥ තීරණ මත කටයුතු කරන මේ ආණ්ඩුව පරාජය කිරීමට සියලූ දෙනා කටයුතු කළ යුුුතුයි. කවුරුවත්් එහෙම කකුලෙන් අදීවි කියලා මම නම් සිතන්නේ නැහැ. කවුරු හරි එහෙම කරනවා නම් ඔහු කටයුතු කරන්නේ මේ ආණ්ඩුව තවදුරටත් බලයේ තබා ගැනීමට. මම නම් සිතන්නේ කවුරුවත් එහෙම කරන එකක් නැහැ.

ප‍්‍රශ්නය – යතුරු පැදියක ගමන් කළ තරුණයෙකු අනතුරට පත් කළ බවට චම්පික රණවක මන්ත‍්‍රීවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. එම මන්ත‍්‍රීවරයා උසාවිය මගහරින බවට මේ වන විට චෝදනා එල්ල වී තිබෙනවා. සමගි ජන බලවේගයේ මහලේකම්වරයා ලෙස එම චෝදනාව පිළිබඳව කියන්න තිබෙන්නේ කුමක් ද?

පිළිතුර – චම්පික රණවක මහතා අපගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලූවා. එතුමා අපත් සමග සංධානගතවී සිටිනවා. එතුමා හොඳ දක්ෂ කි‍්‍රයාකාරී නායකයෙක්. මේ ආණ්ඩුව පෙරළීම සඳහා අපි පෙරමුණු කිහිපයකින් සටන් වදිනවා.

චම්පික රණවක මහතා සරපයෝ කෑවා කියලා උසාවි නොගිහින් සිටියේ නැහැ. ඒ මහතා බොරුවට රෝහල්වලට ඇතුළත් වූයෙත් නැහැ. යම් අසනීප තත්ත්වයක් නිසා තමයි වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙන්නේ. චම්පික රණවක මහතාට නම් චෝදනාව එල්ලවෙලා තිබෙන්නේ අනතුරක් සම්බන්ධයෙන්. නමුත් කෝටි ගණන් හොරකම් කළ මිනිසුන් හැංගුනේ කොහොමද කියලා අපි දැක්කා. චම්පික රණවක මහතා එහෙම හැංගිලා නැහැනේ.

සාකච්ජා කළේ –
එරික් ගාමිණි ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment